2017 ජුනි 10 වන සෙනසුරාදා

දැහැන

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

අහස සැහැසිකම් කරද්දී මනුෂ්‍යත්වයේ සොඳුරුතා ගංවතුරටත් වඩා වේගයෙන් ගලා බැස්සා. මිනිසුන් වෙසින් මිනිසුන්ට දයාව පෑමට නෑදෑකම් අවැසි වූයේ නෑ.හිත මිතුරුකම් අවැසි වූයේත් නෑ. සොබාදහම පෙරළා දුන් දඬුවම් හමුවේ මිනිසුන් දුප්පත් පොහොසත් කුල මල භේදවලින් වියුක්තව අන්ත අසරණ වෙද්දී හැකි මිනිසුන් හැකි උපරිමයෙන් උන්ගේ බඩගින්න ඇතුළු සකල විධ අවශ්‍යතා පූරණය වෙනුවෙන් කැපවූයේ මනුෂ්‍යත්වයේ සේයාවන් තවමත් සිරිලක ශේෂව ඇති බැව් පසක් කරමින්. ඇත්තටම මේ රටේ ඇතැම්  විද්‍යුත් නාලිකා, විශේෂයෙන්ම පෞද්ගලික නාලිකා නොවන්නට ගංවතුරෙන් අසරණ වූ මිනිසුන් බහුතරයක් අදටත් බඩගින්නේ. හුඟක් තැන්වලදී රජය ඇත්තටම අකාර්යක්ෂම වුණා. ආපදා කළමනාකාර ඇමැති රටේ හිටියෙත් නෑ. පාලිත තෙවරප්පෙරුම, නාමල් රාජපක්ෂ වගේ එක්කෙනෙක් දෙන්නෙක්  හැරෙන්න ලංකාවේ හුඟක් දේශපාලනඥයන් මේ කම්පිත ඛේදවාචකයෙදී හැසිරුණු අයුරු ගැන අපි කතා කරලා වැඩක් නෑ. සමහරැන්ට ඕන වුණේ නම හදාගන්න විතරයි.

එහෙත් මේ නස්පැත්තියේදී වදනින් තක්සේරු කළ නොහැකි තරමේ අසීමාන්තික මෙහෙවරක් කළ තවත් පිරිසක් ඉන්නවා. ඒ තමා රණවිරුවන්. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය මේ දෙරණින් තුරන් කරන්න වීරෝධාර මෙහෙයක් කරපු ඒ හමුදාව ඒ මානුෂීය මෙහෙයුමේදීත් දමිළ සිවිල් වැසියන් වෙනුවෙන් දැක්වූ මනුෂ්‍යත්වය ගංවතුරෙන් අනාථ වූ ජනතාව වෙනුවෙනුත් එහෙමම දැක්වුවා. තමන් කරන්නෙ තමන්ගෙ රස්සාව කියන හැඟීම ඔවුන් තුළ කොයි මොහොතකවත් තිබුණෙ නෑ. ඉන් එහා ගිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පිරි මනුෂ්‍යත්වයක් පරර්ථකාමීත්වයක් ඒ විරුවන් තුළ නිසඟයෙන්ම තිබුණා.

පහුගිය කාලේ දෙකේ කොලේට දාලා පාච්චල් කරපු, අට පාස් උන්කියලා කෙනහිලිකම් කරපු, විලංගු දාලා හිරගෙදරට දක්වපු රණවිරුවන්ගේ අගය මීතොටමුල්ල කුණු කන්ද ඛේදවාචකයේදී වගේම ගංවතුර විපතේදීත් මිනිස්සුන්ට හොඳ හැටි දැනුණා. ඒ ස්නේහේවන්ත මනුස්සකම මිනිස්සු සිත්පුරා විඳගත්තා. පහුගිය කාලය මුළුල්ලේම මිනිස්සුන්ට රණවිරුවන් අමතක වෙලා තිබුණට තමන්ගෙ පිහිට අවැසි මොහොතේදී උන් මිනිස්සුන්ව අමතක කළේ නෑ. රණවිරුවන් සහ විද්‍යුත් නාලිකා සහන යාත්‍රා නොතිබෙන්න ගංවතුර ඛේදවාචකයෙන් බේරුණ මිනිස්සු මැරෙන්නෙ බඩගින්නෙන් සහ පිපාසයෙන්. ඇමැතිලා රට සවාරි ගිහින් එනකම් උන් කන්න බොන්න හිටියනම්, මාධ්‍ය සාකච්ඡ තියලා තීන්දු තීරණ අරන් සහන දෙනකම් බලාගෙන හිටියනම් අද කඳවුරුවල ඉන්න හුඟක් දෙනා මළවුන්ගේ ලෝකයේ. 

රණවිරුවන් ගැන ගංවතුරත් එක්ක හිතට දැනුණු අගේ යුද්ධයෙන් පස්සෙ උන් අමතක කළා වගේ ඔයාට අමතකවෙලා යන්න පුළුවන්. ඒ අපේ රටේ මිනිස්සුන්ගේ හැටි. ඒත් මනුෂ්‍යත්වයේත් කාය ශක්තියේත් අනුහසින් දෙවිවරු වෙසින් මේ පොළොවත්, මේ පොළොවේ මිනිසුනුත් රැකගත් ඒ රණවිරුවන් හෙට ඔයාගේ මතකයෙන් ඈතකට විසිකරලා දාන්න එපා. මොකද රට වෙනුවෙන් සහ මිනිසුන් වෙනුවෙන් එදත් අදත් ඔවුන් කළේ එහෙම අමතක කරන්න පුළුවන් මෙහෙවරක් නෙවෙයි 

ජාත්‍යන්තර බලපෑම් සහ මහින්ද රාජපක්ෂට පෙර රට භාරගත්ත දේශපාලන නායකයින්ගේ තිබුණ දුර්වලකම් නිසා අවුරුදු තිහක් යනකම් ඉවරයක් කරන්න බැරිවුණු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ඉවර කරන්න දියත් කළ මානුෂීය මෙහෙයුමේදී අපේ හමුදාව අවංකවම කළ මෙහෙවර වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. එහෙව් හමුදාවට මීට පෙරත් හමුදාව බල්ලට දාලා කතා කරපු දේශපාලන කට්ටියගේම කෙනෙක් ආයෙමත් ඊයේ පෙරේදා කීවා හමුදාවේ ඉන්න සමහරු මීහරක් කියලා. ඒ මීහරක් කතාව පාර්ලිමේන්තුවේදී කීවේ මේ ළඟදි වූ ඇමැති මාරුවේදී රටේ තීරණාත්මක අමාත්‍යංශයක් බාර ගත්ත ඇමැති කෙනෙක්. හමුදාවේ ඉන්න සමහරු මී හරක් කියලා ඒ ඇමැති කීවේ යහපාලන ආණ්ඩුවෙන් හිරගෙදරට දක්වපු බුද්ධි අංශ නිලධාරීන් ගැන පාර්ලිමේන්තුවේ මතු වෙච්චි කතාවකදී. බුද්ධි අංශ නිලධාරින් යුද්ධය වෙනුවෙන් කරපු මෙහෙය කොහොමද වචනවලට එකතු කරන්නේ. ආණ්ඩු මාරු වුණාට උන්ව හිරගෙවල් වලට දක්වන්න මොළයක් තියෙන කවුරුත් තීරණය කරන්නෙ නෑ. අද ඒ නිලධාරීන්ට මී හරක් කියන සමනල ඇමැතිවරු අද මේ විදිහට කට මැත දොඩවන්නෙත් ඒ මී හරක්ට පින් සිද්ධ වෙන්න තමයි. මෙහෙම පසුබිමක කළගුණ අපේක්ෂා කරන්න අපට බෑ. ඒත් අතීතය හා වර්තමානය මතක තියෙන සුළුතරයක් හරි මිනිස්සු මේ රටේ ඉන්නවනම් ඒ මිනිසුන්ගෙන් අපි කියන්නේ හෙට දවසේත් රටක් ජාතියක් බේරගත්ත හමුදාවට ඔබේ උත්තමාචාරය පිරිනමන්න. ඒක විය යුතු දෙයක් කියලයි.

Sanju