2017 ජුනි 10 වන සෙනසුරාදා

සංගම් මලෙන් කෙළවුණා ඕයි.......

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

ලෝකේ කොයි කොහේ හිටියත් අපි ජාත්‍යන්තර මැසි සම්මේලනයට නොවරදවාම සහභාගී වෙනවාග අපි කිව්වට හැමෝම නෙමෙයි. සමහර ගඳ මැස්සො ඉන්නවා කවදාවත්  සමිති සමාගමකට එන්නෙ නෑ. හැබැයි  වැඩක් කෙලෝ වුණාට පස්සෙ එනවා තමන්ගේ අයිතිවාසිකම් හොයාගෙන. අපි කොහොම වුණත් ඒවා මඟ අරින්නෙ නෑ. මොකද අපිට නිතරම අවුල්වලට මූණ දෙන්න වෙනවනේ. ඒ නිසා අපි නිතරම ඔය සමිති සමාගම් එක්ක තමයි ජීවිතේ.

සම්මේලනයට සෑම මැසි පවුලකින්ම ප්‍රධානියා විතරක් එන්න කිව්වට අපේ උන්ට ඔය ප්‍රධානියා කියන වචනේ තේරෙන්නෙම නෑ. එකෙක් ආවා උගේ පවුලයි ළමයි 20යි. උන්ගේ කසාද ටිකයි ආච්චිලා සීයලයිත් අරගෙන. සම්මේලනේ ලොක්කට මල පැනලා ඌට කතා කළා.

මේ කවුද?
අපේ ගෙදර කට්ටිය සර්...
ගෙදර හැමෝටම එන්න කිව්වෙ නෑනේ අයිසේ...
මේකයි සර් එවලා තිබුණ ලියුමේ තිබුණෙ මේහ් තිබුණේ මේහ්...
ඔව් ඔව් මොනවද එවලා තිබුණ ලියුමේ තිබුණේ?
පවුලේ ප්‍රධානියා එන්න කියලා
ඉතින් තොපේ පවුලට ප්‍රධානියෝ කීයක් ඉන්නවද බොලව්?
මේකයි සර් අපිටත් ෂුවර් නෑ පවුලේ ප්‍රධානියා කවුද කියලා. අපි එක එක වෙලාවට එක එකා ප්‍රධානියෝ වෙනවා. ඒ නිසා අපි සේරම එක්ක ආවා සර්ලට හිතෙන විදිහට කැමති ප්‍රධානියෙක් තෝරගන්න...
මොකද්ද කියන්නෙ බොල...
ඔව්...
සම්මේලනයෝ ලොක්කා සම්මේලනය කල් දැම්මා දවස් හතරකට. මුලින්ම පවුල්වල එවුන් රුස් කරලා වෙනම සාකච්ඡාවක් දැම්මා. 
අපි අපේ සම්මේලනය දවස් කීපයකට කල් දාලා, තීරණය කළා පවුල්වල ප්‍රධානියා හඳුනාගන්න. එක එක්කෙනා මේ දේ අහගන්න. තමන්ගේ පවුලේ ප්‍රධානියා හරියටම දන්න අය මේ පැත්තට යන්න. අනික් අය අනික් පැත්තෙ නතර වෙන්න.
එහෙම කිව්වම මම නැගිටලා එක පැත්තකට ගියා. මොකද අපේ ගෙදර ඉතින් බොඩිමනේ. ඒ  නිසා මගේ ගෙදර ප්‍රධානියයි උප ප්‍රධානියයි සේරමට හිටියේ මම  විතරයි. හැබැයි ඒ පැත්තට ආවෙත් මම විතරයි. 
අනික් අය හැමෝටම ප්‍රශ්නයක් එතකොට මොකාද පවුලේ ප්‍රධානියා කියලා. එහෙම නේද?
අනේ ඔව් සර්..... 
අපේ ගෙදර නම් අම්මා...
අපොයි අපේ ගෙදර තාත්තා...
අපේ ගෙදර වෙලාවකට අම්මා වෙලාවකට තාත්තා
අපේ ගෙදර දෙන්නම ප්‍රධානියෝ. හැබැයි හිටපු ගමන් ආච්චි වැඩේ අතට ගන්න වෙලාවලුත් තියෙනවා
පොඩි උන් ටික සට සට ගාලා ඇත්ත කියන්න ගත්තා
අපේ ගෙදර සමහරක්  වෙලාවකට  අල්ලපු ගෙදර ඇන්ටිත් පවුලේ ප්‍රධානියා වෙනවා. මොකද අම්මා කරන්නෙම එයා කියන දේවල්. 
එක පවුලක සායම එවෙලෙම හේදිලා ගිය නිසා එයාලා සම්මේලනයටත් නොඉඳම නැවත ගුවන් ගත වුණා ගෙදර යන්න...
එතකොට මේ ගොල්ලො මොකද?
අපේ ගෙදර නම් පවුලේ ප්‍රධානියා මම තමයි සර්
එහෙනම් ඇයි මේ හැමෝම එක්ක ආවේ?
මේ අපේ දුවයි පුතයි වයිෆුයි අම්මයි තාත්තායි නැන්දයි මාමායි
ඔව් ඇයි සේරම ආවේ?
එයාලා කවදාවත් ගුවන් ගත වෙලා නෑ. ඒ කියන්නෙ ප්ලේන් එකක ගිහින් නෑ
ඉතින්...
ඉතින් අපි සම්මෙලනය පිට දාලා පවුලේ අයව පොඩි ට්‍රිප් එකක් තමයි එක්ක ආවේ.
තමුසෙලා හිතුවද පවුලේ උන්ට ආතල් දෙන්න අපි මේ වියදම් කරනවා කියලා
එහෙම හිතන්නෙ නම්  නෑ සර් හැබැයි හොර හොරාට හැමතැනම ඒක වෙන නිසා  අපිත් ඔය ඇඟ පණ නැති කරලා මේ වැඩේට බැස්සා. 
දැන් මාර වැඩක්නේ අයිසේ මේක. වැඩක් කරන්න බෑ ඒවයින් ආතල් ගන්න හොයනවා
අන්තිමට මැසි ලොක්කා මගේ පැත්තට හැරුණා.
අයිසේ මාධ්‍ය මැස්සා. මම තමුසෙගෙ කොළමක් යනවා ඒක කියවලා තියෙනවා
ඕව් සර්...
තමුසෙට මොනවද හිතෙන්නෙ මේ  සංගමේ ගැන?
හොදයි සර්...  මම  මේ කල්පනා කළේ සර්ගෙත් සායම හෝදන්නෙ නැතිව ඒක ඊළග පත්තරේ ලියන එක ගැන
මම අහන්නෙ සංගමේ ගැන අයිසේ?
මේ වගේ සංගම් තියෙන්න ඕන සර්. නැත්තම් අපි ගැන හොයන්න කවුරුත්ම නැතිව යනවනේ...
ඉතින් ඕයි දැන් බලනවකෝ වෙලා තියෙන දේ. අපි ගැන හිතලා සංගම් දැම්මට සංගම්  නිසාම අපිට කෙලවිලානේ...
කොතනත් ඕක තමයි සර් වෙන්නෙ. සංගම් කියන්නෙම ඇරියස් කවර් කරගන්න හදාගත්තු සංවිධානයක්. 
මම එහෙම කිව්වම ලොක්කා මගේ ගාවට ආවා. 
ඕක ලියනෝ ඕයි පත්තරේ...
ඇයි?
අපේ ගෑනිත් ආවානේ ළමයි බබයි සේරම එක්ක. ඒ මදිවට එහේ ගිහින් කියවන්න කියලා අල්ලපු ගෙදර ගෑනිත් එක්ක ආවා.
මට නිකං කලන්තෙ වගේ

මම 
හොස්ස ළඟින් ගිය මැස්සා