2023 ජුනි 04 වන ඉරිදා

ඉතින් ආයුබෝවන්... සුබ සංසාර ගමනක්!

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 96

ජී.ආර්. පෙරේරා

දශක ගණනාවක් තිස්සේ දක්ෂ, ප්‍රවීණ කලාකරුවෙකු ලෙසින් කලා ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටු කළ ජී.ආර්. පෙරේරා පසුගියදා සිය ජීවන රඟ මඬලෙන් සමුගත්තේය. ජී.ආර්. පෙරේරා ලෙස කවුරුත් හඳුනන ඔහුගේ සැබෑ නාමය වන්නේ ගල්හේනගේ රත්නපාල පෙරේරාය. නමුත් කලා ලොව තුළ ඔහු ආදරණීය කලාවේදී ජී.ආර්. පෙරේරාය. 1939 අවුරුද්දේ නොවැම්බර් මස උපත ලැබූ ජී.ආර්. පෙරේරා මියයන විට වයස අවුරුදු 84 කි.

පවුලේ වැඩිමහල් දරුවා ලෙසින් උපත ලැබූ ජී.ආර්. පෙරේරා බාල සහෝදරියකගේ සහ සහෝදරයන් දෙදෙනකුගේ ආදරය ලැබූ වැඩිමහල් සහෝදරයෙකි. ජී.ආර්. පෙරේරාගේ මව ගුරුවරියක් ලෙසින් සේවය කළාය. කිරුළපන ප්‍රදේශයේ උපත ලැබූ ඔහු පසුව ජීවත් වූයේ බොරලැස්ගමුව ප්‍රදේශයේය. පළමුව රත්තනපිටිය ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ජී.ආර්. පෙරේරා පසුව වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ කොටහේන කුමර විදුහලෙනි.

''මගේ අම්මා හොඳට ඉගෙන ගත්තු කෙනෙක්. අම්මගේ මල්ලිලා හොඳට ඉංග්‍රීසි භාෂාව කතා කළා. අම්මා අපිට හොඳට උගන්වන්න මහන්සි ගත්තා. තාත්තා ඒ කාලේ රේස් දැම්මා. ඒ නිසා ගෙදර හැමදේම වැඩිපුරම හොයලා බලලා කළේ මගේ අම්මයි. අම්මා කාලයක් කඩයප්පන් පවා හදලා ඒවා විකුණලා අපිට ඉගැන්වුවා. ඒ කාලේ මෝදර ප්‍රදේශයේ මගේ ලොකු මාමා හිටියා. අම්මා මාව ලොකු මාමලාගේ ගෙදර නතර කරලා මට ඉගැන්වුවා. මාමාගේ ලොකු දුවත් ගියේ කොටහේන කුමර විදුහලටයි. ඉතින් මාත් අක්කා එක්ක මෝදර ඉඳන් බස් එකේ ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තා. කුමර විදුහලට යන්න කලින් අපි ගෙවල් ගාව හිටපු තිස්ස කියන පිරිමි ළමයා එක්ක හොඳ මිතුරුකමක් ඇතිකර ගත්තා. ඒ කාලේ එයා අපේ වත්තේ ළිඳෙන් නෑවා. අපේ වත්තේ කුරුම්බා කඩාගෙන කෑවා. කාලයකට පස්සේ මෝදර මාමලගේ ගෙදරින් ආයෙත් ගෙදර ආවා. ඒ කාලේ අර තිස්ස අබේසේකර කියන පිරිමි ළමයා ඉගෙන ගත්තේ පන්නිපිටිය ධර්මපාල විදුහලේ.''

ජී.ආර්. පෙරේරාගේ කලා ලෝකය ආරම්භ වන්නේ තිස්ස අබේසේකරගේ ඇසුරත් සමඟය. එකල නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ප්‍රමුඛ පිරිසක් විසින් 'අපේ කට්ටිය' නමින් නාට්‍ය කණ්ඩායමක් ආරම්භ කළහ. එම කණ්ඩායමට තිස්ස අබේසේකර, ධර්මසිරි වික්‍රමරත්න, රංජිත් තිලකරත්න, වික්‍රම බෝගොඩ ද එක්ව සිටියහ. ඔවුන් 'බෝඩිම්කාරයෝ' නමින් වේදිකාගත කළ නාට්‍යයට ජී.ආර්. පෙරේරා ද සම්බන්ධ විය. මෙය 1961 වසරේ පැවති රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය බවට පත්විය. ධර්මසිරි වික්‍රමරත්න විසින් 1962 වසරේදී අධ්‍යක්ෂණය කළ 'රන්තෝඩු' වේදිකා නාට්‍යයේද චරිතයක් රඟපෑමට ජී.ආර්. පෙරේරාට අවස්ථාව උදා විය.

ජී.ආර්. පෙරේරාගේ මුල්ම සිනමා රංගනය වූයේ ඩී.බී. නිහාල් සිංහ විසින් අධ්‍යක්ෂණය කළ 'වැලිකතර' චිත්‍රපටයයි. එය 1971 වසරේදී තිරගත කෙරිණි. එමෙන්ම මුල්ම ටෙලිනාට්‍ය රංගනය වූයේ තිස්ස අබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ 'තුන්කල් සිහිනය' නම් ටෙලිනාට්‍ය රංගනයයි. එතැන් සිට වේදිකාව, සිනමාව, පුංචි තිරය ඔස්සේ විවිධ චරිත තුළින් ජී.ආර්. පෙරේරාගේ රංගනය දැකබලා ගැනීමට රසිකයන්ට අවස්ථාව උදා වූහ.

1980 වසරේදී ඔහු රඟපෑ 'කරුමක්කාරයා' චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් විචාරක සම්මානයක් දිනාගැනීමටද ඔහුට හැකියාව ලැබිණි. එතැනින් ආරම්භ වුණු ඔහුගේ කලා ජීවිතය තුළ ඔහු විවිධ සම්මාන දිනාගත් අතර සම්මාන නිර්දේශ අතරට ද එක්විය.

දියණියන් දෙදෙනකු සහ පුතෙකුගේ ආදරණීය පියාණන් වූ ජී.ආර්. පෙරේරා කලා ලොවේ ආදරණීය කලාකරුවෙකි. වසර 84ක් පුරාවට ආදරණීයන්ගේ සිත් දිනාගත් මේ සොඳුරු මිනිසා මේ වනවිට ජීවන රඟ මඬලට සමු දී ඇතත් අදටත් ඔහු ගැන මතකය නොවෙනස්ව පවතී.

ක්‍රිස්ටෝපර් පෝල්

බෙල්ලෝ මුතු බෙල්ලෝ
අපි ගෝනි ගාණේ ගත්තා
නංගි පොඩි මල්ලී
අඩු ගාණේ දෙන්න එනවා

ඒ හඬ ක්‍රිස්ටෝපර් පෝල්ගෙනි. දශක ගණනාවක් තිස්සේ දෙස් විදෙස් සංගීත ලෝලීන් පිනවූ ක්‍රිස්ටෝපර් පෝල් වසර 87ක් ආයු ලබා පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ක්‍රිස්ටෝපර් පෝල් මොරටුව පුරවරයේ ජීවත් වුණු ආදරණීය  කලාවේදියෙකි.

 පාසලේ සංගීත ගුරුවරයකු ලෙසින් සේවය කළ ප්‍රුන්සිස් පෙරේරා නම් ගුරුතුමාට තම පාසලේ සිසුවකු වූ ක්‍රිස්ටෝපර්ගේ සංගීත හැකියාව සම්බන්ධයෙන් යම් ඉවක් දැනී තිබිණි. ඒ හැකියාව තව තවත් නංවාලීමට ප්‍රුන්සිස් පෙරේරා, මේ පාසල් සිසුවාව යොමු කළේ සුනිල් ශාන්ත නම් සංගීතඥයාගේ ඇසුරටය. 1958 වසරේදී ගුවන්විදුලි සරල ගී පරීක්ෂණයේදී ක්‍රිස්ටෝපර් පෝල් A ශ්‍රේණියේ ගායකයෙකු ලෙසින් සමත් වූයේ ඒ මඟපෙන්වීම හා සංගීත හැදෑරීමත් සමඟය. ක්‍රිස්ටෝපර් පෝල්ගේ මුල්ම ගීතය වූයේ 'පේනා විලේ මැද ඕලු මලේ' නම් ගීතයයි.

එතැන් සිට ක්‍රිස්ටෝපර්ගේ ගීත කෙමෙන් ගීත ගොන්නක් බවට පත් විය. ඔහු ගැයූ ගීත අතරින් ඉතා ජනප්‍රිය වූ මුල්ම ගීතය වූයේ 'බෙල්ලෝ මුතු බෙල්ලෝ' නම් ගීතයයි. 

එම වකවානුවේදී මඩකළපුවේ මුහුදු වෙරළට මුතු බෙල්ලන් ගොඩගසා ඒවා කොළඹට ගෙනැවිත් අලෙවි කිරීමේ ක්‍රමයක් විය. එම දසුන මුල්කර ගනිමින් මේ ගීතය නිර්මාණය වී තිබුණි. 

එයින් ඇරඹුණු ක්‍රිස්ටෝපර් පෝල්ගේ ගී නිර්මාණ අතර පෙම් ලෝකේ පුරා, රෝස මලක් දුටුවාම, මැණිකා, නා මල් පිපෙන්නේ, වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා, රුවන් තොරණ් තනා, ඇළ දොළ ගංගා වැනි ගීත ඉතා ජනප්‍රිය විය. එකල නිරන්තරයෙන්ම ඔහු ගීත නිර්මාණයට හා ගායනයට සිත යොමු කළ අතර දෙස් විදෙස් සංගීත ප්‍රසංගවලට එකල නැතිවම බැරි ගායනවේදියෙක් විය. තම දරුවන්ගේ ආදරය සෙනෙහස මැද ජීවත් වුණු ක්‍රිස්ටෝපර් පෝල් මියයන විට වයස අවුරුදු 87 වියේ පසුවිය.

ටෝනි හසන්

හින්දී ගීතයෙන් ශ්‍රී ලාංකික රසික සිත් සැනසූ ජනප්‍රිය ප්‍රවීණ කලාවේදියකු වූ ටෝනි හසන් පසුගියදා සිය ජීවන ගමනට සමු දුන්නේය. ඔහු මියයන විට වයස අවුරුදු 73 කි. තම මාමා කෙනෙකුගේ මූලික මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ටෝනි හසන් වැඩි ඇල්මක් දැක්වූයේ හින්දී ගී ගායනයටය. සරල ගී ගායකයකු වූ තම මාමාගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසි ටෝනි හසන් තම මාමා ද සමඟ ගුවන්විදුලියට සම්බන්ධ වී අත්වැල් ගායනයට එක් විය. කාලයක්ම අත්වැල් ගායනයට සම්බන්ධව කටයුතු කළ ටෝනි ඒ ඔස්සේ විශාල අත්දැකීම් ගොන්නක් තම ජීවිතයට එක්කර ගත්තේය. වයස අවුරුදු දහයක පමණ කුඩා කාලයේදීම තම මාමා සමඟ ගුවන්විදුලියට පිවිසුණු ටෝනිට ගුවන්විදුලිය අපූරු පාසලක් විය.

කුඩා කල සිටම ඔහු සංගීතයට, ගායනයට ඇළුම් කළේය. බොහෝ දිනවල රාත්‍රියට ඔහු නින්දට වැටුණේද ගීයක් මුමුණමිනි. නින්දේදීද ඔහු සිහිනෙන් ගීත ගායනා කළේය. ඒ අතර ඔහු එක අතක් උදරයටත් අනෙක් අත හිසටත් තට්ටු කරමින් ගීතයට සංගීතය සැපයුවේය. ඒ තද නින්දේ සිටියදීය. පහුවදා උදෑසන ටෝනි හසන්ට අම්මා බැණ වැදුණේ ''මොකක්ද ළමයො, ඊයෙ රූත් අපිට නින්දක් නැහැනෙ. හීනෙනුත් සින්දු කියවනවා.'' යැයි කියමිනි. ඔහුගේ ගීත ගායන හැකියාව මාමා දැනගත්තේද මවගේ බැණ වැදීම හේතුවෙනි.

එකල කොම්පඤ්ඤවීදියේ අබ්දුල් රහීම් විසින් වසරක් පාසා සංගීත ප්‍රසංගයක් පැවැත්වීය. ඒ එකල සිටි ප්‍රවීණ ජනප්‍රිය කලාවේදීන් එක්කර ගනිමිනි. ටෝනි හසන්ට මේ ප්‍රසංගයේ ගීතයක් ගායනා කරන්නට විශාල ආසාවක් විය. වසර දෙකක් තිස්සේ ඒ සඳහා උත්සාහ කළද අවස්ථාවක් නොවීය. නමුත් 1963 වසරේදී ඒ ආසාව ඉටු විය. ඒ ප්‍රවීණ කලාවේදී මිල්ටන් පෙරේරාගේ මැදිහත් වීමත් සමඟිනි. ඔහු එම ප්‍රසංගයේදී සිංහල ගීත හතක් පමණ ගායනා කළේය. එයට හොඳ ප්‍රතිචාරයක් ලැබිණි.
එතැනින් ඇරඹුණු ප්‍රසංග වේදිකා කලාවට ටෝනි හසන් නැතිවම බැරි ගායකයෙක් විය. පසු කාලයේදී ටෝනි හසන් වැඩි කැමැත්තක් දැක්වූයේ හින්දී ගීත ගායනයටය. සංගීත ලෝලීන්ද ටෝනි හසන්ගෙන් ඉල්ලා සිටියේ හින්දී ගීත ගායනයන්ය.
එවන් ප්‍රවීණ කලාවේදියකුගේ නික්ම යාම පසුගියදා සනිටුහන් විය. දශක ගණනාවක් රසිකයන් පිනවූ ටෝනි හසන් නම් කලාවේදියා ජීවිතය හැර ගියද ඒ ගීතවත් හඬ සැමදා රසික සිත්වල රුඳෙනු ඇත.

I දිශානි