2023 ජුනි 04 වන ඉරිදා

සර් මෙයා කන්නේ මීයෝ... දවසකට කිලෝ එකක් විතර ඕනෑ

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 60

 ලංකාවේ මී මස් හරි ගණන්. කිලෝ එකක් රුපියල් දෙදහස් පන්සියයක් 

YouTube - Inspire for Travel

මෙයා කළු ජාතිකයෙක්. 'ට්‍රුවල්' අයියා කෙනෙක්. පහුගිය දවස් ටිකේ ලංකාවේ හතර දිග්භාගෙම ඇවිද ඇවිද විඩියෝ කළා. මෙයාටත් හරි එක එක ආතල් වැඩ වුණා. ඒත් මෙයා දන්න අපි නොදන්න ආතල් වැඩක් ගැන තමා මේ අපි කියන්න යන්නෙ.

ඔන්න මෙයා ගියා දවසක් ගෝල්ෆේස් එකේ රවුමක් ගහන්න. ඔන්න ඇවිදන් යනකොට මෙයාට හම්බවුණා නයි නටවන, රිළවු නටවන අයියලා සෙට් එකක්. ඉතින් අපේ කළු ට්‍රුවල් අයියා තීරණය කළා නයි නැටුමක් බලන්න.

හායි නැටුමත් බලලා රිළවු ගැන විස්තර අහගෙන ඉන්න කොට මෙන්න බොලේ එතන ඉන්න අයියා කෙනෙක් පිඹුරෙක් ගත්තා බෑග් එකෙන් එළියට. අපිට නම් මේවා එච්චර දේවල් නෙවෙයි. ඒත් මෙයාට නම් මේක ටිකක් විතර මැජික් සීන් එකක් වුණා. 

වාව් මූ මාර සතෙක් කියලා අපේ අපේ ට්‍රුවල් අයියා පිඹුරා දිහා බලන්න ගත්තා. 

“සර් මූ කන්නේ මීයෝ කියලා" අයිතිකාර අයියා කිව්වා.

මේ පිඹුරු තඩියා ඉඹලා මෙයා කාවවත් කන්නේ නෑ, හරිම ෂෝයි කියලා පිඹුරු අයියා සහතික වුණා. එතකොට අර එහා පැත්තේ රිළවා අතේ තියාගෙන හිටපු අයියා තමා ආතල් කතාව කිව්වේ.

“සර් මෙයා කන්නේ මීයෝ. දවසකට කිලෝ එකක් විතර ඕනෑ වෙනවා. ලංකාවේ මී මස් හරි ගණන්. කිලෝ එකක් රුපියල් දෙදහස් පන්සියයක් විතර ඇති." 

ඒ කතාව අහලා "ඈ මීයන් වෙනුවෙන් එච්චර" කියලා ට්‍රුවල් අයියට කියැවුණත් මී කතාව දුරදිග ගියේ නෑ. එයා පිඹුරාව කරේ දාගෙන, මෙව්වා බලන්න ඕනෑ නම් කොළඹ එන්න කියලා කෑගගහා හිටියා.
ඒත් මේ අපි කල්පනා කළේ මී මස් කිලෝ එකක් රුපියල් දෙදහස් පන්සියයක් වුණොත්, ලංකාවෙ මීයන්ට වෙන දේ ගැන.

දඩිං බිඩිං ඩෝං ගාලා මඟ ඇදගෙන වැටුණයි
YouTube – Khizer

ලොව ටිකක් වෙනස් පෙනුමක් තියෙන කෙනෙක්. බමුණු වෙසින් ඉන්න මෙයා, මේ දවස්වල ගෑනු ළමයි දෙන්නෙක් එක්ක ලංකාව වටේ කරක් ගහනවා. ඔන්න පහුගිය දවසක ඇල්ල පැත්තේ ඉන්නකොට බයිසිකල් දෙකක් ගත්තා මෙයාලා දවසේ කුලියට. 

ඔන්න ගමන පටන් අරගෙන ටිකක් ඉස්සරහට යනකොට පිටිපස්සෙ හිටපු ගෑනු කෙනා  කියවන්න පටන් ගත්තා. ඒ අස්සේ අපේ බමුණු රුවුල් ට්‍රුවල් ලොක්කා බයික් එක පදිනවා. හැබැයි ඒ වැඩේ පොඩ්ඩක් කොට උඩ.
“ඔන්න බස් එකක්. මෙයා අපිව මරන්නද යන්නේ"

“මෙයා මම දැක්ක නරකම රියැදුරෙක්. මෙයාට කිසි මැනස් එකක් නෑ." 

“මට දැනෙන්නෙ අපි මැරෙන්න යන්නේ කියලා"

මඟ දිගටම ගෑනු ළමයා මේ වගේ කතා ගොඩක් කියව කියවා තමා ආවෙ. ඔහොම ඇවිල්ලා ප්‍රධාන පාරෙන් පොඩි කඩයක් තියෙන බෑවුමකට මේගොල්ලෝ බයික් එක හැරෙව්වා. 

දඩිං බිඩිං ඩෝන්... මුලින්ම වැටුණේ ගෑනු ළමයව. එයා පොඩ්ඩක් නැඟිටලා කැමරාව ඉස්සරහට හරවද්දී අර කොන්ක්‍රීට් පාර තියෙන චූටි පල්ලම ඉස්සරහට ගියපු අපේ බමුණු ට්‍රුවල් අයියාත් ඇදගෙන වැටුණා. බයික් එකේ පොඩි පොඩි කෑලි දෙක තුනකුත් කැඩිලා බිම වැටිලා තිබුණා ඒ අස්සේ.

මේ ජරමර අස්සේ එතැනට ආපු ශ්‍රී ලංකන් බලු මල්ලිලා ටිකකුත් බුරනවා ඉවරයක් නෑ. අපේ බමුණු රුවුල් අයියගේ අත ඌවා වෙලා. සුදු නංගියා ළඟ ඉඳගෙන "මම කිව්වනේ.. මම කිව්වනේ කියලා" කියනවා. එහි මෙහි කියලා ලොකු වෙනසක් නෑ ඉතින්. මේ අස්සෙ අපේ මාමා කෙනෙක් බැන්ඩේජ් එකක් දානවා රුවුල් අයියාට. 

මෙතනින් වීඩියෝ එක ඉවර වුණා. ඊළඟට මෙයාලට මොකද වුණේ කියලා අපි ලබන සතියේ කියන්නම්.

ත්‍රීවීල් එක දාලා යන්න බෑ
YouTube: The Bubbymoon

මේ දෙන්නා ආදරණීය කපල් එකක්. පහුගිය දවස්වල මෙයාලා ත්‍රීවීල් එකක් කුලියට අරගෙන තිබුණා. කොහොම හරි සංචාරය අවසන් අදියර විදිහට, නුවර ඉඳන් කොළඹට ත්‍රීවිල් එකේ එන්න තමයි මේ දෙන්නා තීරණය කළේ. ත්‍රීවිල් එක මෙයාට දුන්න කට්ටිය වේලාසනින්ම කිව්වා ලංකාවේ පාරවල්වල පරිස්සමෙන් යන්න ඕනෑ කියලා. ත්‍රීවිල් එක අතට එච්චර හුරු නැතිවුණත් මේ සුදු නෝනයි මහත්තයයි ගමන ආරම්භ කළා.

හරියට පණ ගන්වන්න බැරුව හිටපු ගමන් අවුල් යනවා ඔන්න. මඟ දිගට අපේ අයගේ පිස්සුවලට ටිකක් මෙයාලා බය වෙනවා. මේක මාර ආතල්. තෙල් ගහන්න සෙට් දෙකකට යන්න වුණා. ගෑනු ළමයට ෆලූඩා අයිස් එකක්ම කන්න ඕනේ වෙලා කඩවල් දෙක තුනකටත් ගියා. රුපියල් පනහකට මේ වගේ අයිස් එකක් කන්න පුළුවන් වෙච්ච එක ගැන මෙයාලා සෑහෙන්න පුදුම වෙලා හිටියෙ. 

“මේ තමා මම කැමතිම අයිස් ක්‍රීම් එක. ලංකාවෙන් ගියාම මේ අයිස්ක්‍රීම් මිස් වේවි"

එයාලා එහෙමත් කිව්වා. ඒ අස්සෙ මඟදී පොලිස් මාමා කෙනෙකුත් මෙයාලව නැවැත්තුවා. පොලිස් මාමා හලෝ කියද්දී මෙයාලා ආයුබෝවන් කියලා කිව්වා. බොහොම වැදගත් සුහදශීලී විදියට තමයි පොලිස් මාමා කතා කළේ. 
මෙතනදී එයාලා කිව්ව විදියට, එයාලා දකුණු අප්‍රිකාවෙ කට්ටිය. ගෑනු කෙනා ලී ඈන්, පිරිමි කෙනා ඩනියල්. කොහොම හරි මෙතැනදී ලියැකියවිලි පරීක්ෂාවක් නම් සිද්ධ වුණේ නෑ. ගම් පළාත් ගැන සංචාරයේ විස්තර ගැන කතා කරලා පොලිස් මාමා මෙයාලට යන්න දුන්නා.

“එයා මට ජීවිත කාලෙටම මුණගැහුණු මිත්‍රශීලීම පොලිස් නිලධාරියා" 

ගමන අතරතුර එහෙම කිව්වේ ලී ඈන්. මේ වගේ ගොඩක් කතාන්දර අස්සෙ මේගොල්ලන්ගෙ ගමන ඉවර වුණා. අවසානයේ මේ දෙන්නා ත්‍රීවිල් බදාගෙන ත්‍රීවිල් එකටත් ආදරේ ප්‍රකාශ කළා. ලී ඈන් නම් ත්‍රීවිල් එක දාලා බෑ කියලත් කිව්වා.

I චමිඳු නිසල්