2023 මැයි 28 වන ඉරිදා

පැල ගිනි ගනිද්දි කෙල්ල ඇතුළේ කියලා ජැක්සන් සර් සහ හේමාල් අයියා කෑ ගැහුවා

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:01 228

හරිනි.. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය  කළ 'ක්ෂීර සාගරය කැලඹිණ' සිනමා පටය හරිනි රඟපෑ ප්‍රථම සිනමා පටය නෙමෙයි. එහෙම නේද?

ඔව්.. ඒ මම රඟපෑ තුන්වැනි සිනමා පටයයි. හැබැයි ප්‍රථමයෙන්ම තිරගත වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ 'ක්ෂීර සාගරය කැලඹිණ' චිත්‍රපටයයි. මීට ප්‍රථමයෙන් මම සුගත් සමරකෝන් සර් අධ්‍යක්ෂණය කළ 'යක්ෂා දේශය' චිත්‍රපටයට දායක වුණා. ඒක රූගත කිරීම් කරලා අවුරුදු අටක් විතර වෙනවා. ඊටපස්සෙ මට සුනිල් සර්ගේ 'කදිර දිව්‍යරාජ' චිත්‍රපටයේ වල්ලි මෑණියන්ගෙ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපටයේ රඟපෑමයි පෙනුමයි දැකලා නැවතත් මට සුනිල් සර් මේ චිත්‍රපටයේ දැරියගේ චරිතය රඟපාන්න අවස්ථාව ලබා දුන්නා.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මෙවැනි දැවැන්ත නිර්මාණයකට දායක වීමෙන් ලබපු අත්දැකීම් ගැන කිව්වොත්?

සුනිල් සර් කියන්නෙ අපේ රටේ සිනමාවේ විශේෂ සලකුණක්. දැවැන්තයෙක්. ඒ වගේම අපේ රටේ සිනමාවට අසමසම දායකත්වයක් ලබා දුන්න විශිෂ්ට අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ආරාධනා කිරීම වගේම මට රඟපෑම් කටයුතු කරද්දි ඔහු නිසා ලැබුණු අත්දැකීම් හරිම විශේෂයි. ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් අති විශිෂ්ටයි. ඔහු සමඟ කතා කළත් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයි. මේ චිත්‍රපටය මට රංගන පාසලක්.

ඔබට වැඩි කොටසක් රඟපාන්න තිබුණෙ ජැක්සන් ඇත්තනී මහතා සමඟයි?

ඔව්.. ඒ අත්දැකීමත් විශේෂයි. සුනිල් සර් සහ ජැක්සන් සර් කියන්නෙ මගේ වම් ඇසයි දකුණු ඇසයි වගෙයි. මම සිනමාකරණය ගැන ඉගෙන ගත්තෙ ඔවුන් දෙපළගෙනුයි. සුනිල් ආරියරත්න සර් මාව මෙහෙයවද්දි ජැක්සන් ඇත්තනී සර් සුනිල් සර් කියපු දේ හරියට කරන්න මට උදව් කළා. මම නවකයෙක්. ජැක්සන් සර් එක්ක රඟපාන්න මුලින් හරි බයෙන් හිටියෙ. හැබැයි ජැක්සන් සර්ගෙ දර්ශන වාර නොතිබුණත් මගේ දර්ශනවලදි ඔහු මම වෙනුවෙන් ඇවිත් මට රඟපෑම් කටයුතුවලට ගොඩක් උදව් කළා. සුනිල් සර් සහ ජැක්සන් සර් තමයි මගේ රංගනයේ ගුරු පියවරුන් වෙන්නෙ.  

දැරිය කියන්නෙ වෙනස්ම චරිතයක්. රඟපාද්දි ලබපු අත්දැකීම් බොහොමයක් ඇති?

අම්මෝ ඔව්.. හේමාල් අයියා දර්ශන තලයෙදි අශ්වයෙක් පැද්දා. මම ඊටපස්සෙ ආසාවට අශ්වයගෙ පිටේ ටික දුරක් ගියා. ඒක හරි අපූරු අත්දැකීමක්. රන්මිහිතැන්න ඇතුළෙ අපිට දින කිහිපයක්ම නිරෝධායනය වෙන්න සිද්ධ වුණා. ඒකත් වෙනස්ම අත්දැකීමක්.

ගහේ පැල ගිනිගත්තා කියලයි ආරංචිය?

ඔව්.. ඒ සිදුවීමනම් කිසිමදාක අමතක වෙන්නෙ නැහැ. චිත්‍රපටයේ අවසාන දර්ශනයේ ගහක උඩ පැලක දර්ශනයක් තියෙනවා. ඒකෙ පළවෙනි දවසේ රූගත කිරීම් දෙක තුනක් කළා. දෙවෙනි දවසේ රූ අපි රූගත කිරීම් කරද්දි ලොකු පහනක් දල්වලා තිබුණා. රූගත කරද්දි එකපාරටම තද සුළඟක් ආවා. ඒ ගිනි දැල්ලට උඩ පැල ගිනි ගත්තා. ඒ වෙලාවේ මමයි ජැක්සන් සර් සහ හේමාල් අයියා තමයි පැලේ හිටියෙ. ඒ දෙන්නම ඒ අය ගැන හිතන්නෙ නැතිව කෙල්ල ඇතුළෙ කියලා ඉක්මනට පහළට කෑගැහුවා. ''හරිනිව ඉක්මනට පහළට ගන්න කියලා'' කෑගැහුවා. හැමෝම ඉක්මනට මාව පහළට ගත්තා. ජැක්සන් සර් සහ හේමාල් අයියා පහළට එද්දි පැලේ ගොඩක් ගිනි අරගෙන තිබුණා. ඒ ළඟම ගඟක් තිබුණා. හැබැයි අපිට වතුර ගේන්නවත් කළුවර නිසා පේන්නෙ නැහැ. හැබැයි එතන හිටපු හැමෝම වතුර අරගෙන ඇවිත් ඉක්මනට පැලේ ගින්න නිව්වා. එහෙම නොවුණනම් ආයෙත් ඒ විදිහට පැලක් හදන්න වෙනවා. හැබැයි හැමෝගෙම උදව්වෙන් එදා ගින්න නිව්වා.

මේ චිත්‍රපටයේ ඔබට රඟපාන්න ලැබුණෙ ප්‍රවීණ නළු නිළි කැලක් සමඟයි?

ඔව්.. මම හැරුණාම අනිත් ගොඩක් අය ප්‍රවීණයන් තමයි රඟපෑවෙ. උදාරි අක්කා එක්කත් මම දර්ශන කිහිපයක රඟපෑවා. උදාරි අක්කත් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. කිසිම කෙනෙක් මම නවකයෙක් කියලා මට වෙනස් විදිහට සැලකුවෙ නැහැ. මට ඒ හැමෝම පුදුමාකාර සහයෝගයක් ලබා දුන්නා.

'ක්ෂීර සාගරය කැලඹිණ' චිත්‍රපටය වසර කිහිපයකට පසුව නරඹද්දි හරිනිට මොකද හිතුණෙ?

ඇත්තටම මට හරිම සතුටුයි. මට ඇඬුණා. මගේ අම්මටත් එහෙමයි. මාත් එක්ක හැම දර්ශන තලයකටම මගේ අම්මා ආවා. ජැක්සන් සර් දැන් රෝහල්ගතව ඉන්න නිසා ඔහුගේ වටිනාකම, අඩුව තව තවත් අපිට දැනුණා. ජැක්සන් ඇන්තනී සර් වගේ නිර්මාණවේදියෙක්, නවකයන්ට අත දෙන කලාකරුවෙක් ආයෙත් අපේ සිනමාවට ලැබෙන එකක් නැහැ. ඒ නිසා ජැක්සන් සර් ඉක්මනටම නැගිටින්න ඕනෙ. ඔහුගේ අඩුව ගොඩක් සංවේදී දෙයක් වුණා. මංගල දර්ශනය නරඹද්දි සුනිල් සර්ගේ චිත්‍රපටයේ මාව දකින්න ලැබීම මට ඇත්තටම හීනයක්. ඒ නිසා මාව මේ චරිතයට තෝරාගැනීම ගැන සුනිල් සර්ට මම ණයගැතියි. එදා මංගල දර්ශනයෙන් පසුව ඉතා හොඳ ආදරණීය ප්‍රතිචාර මට ලැබුණා. විශේෂයෙන් රවීන්ද්‍ර රන්දෙණිය සර්, සනත් ගුණතිලක සර්, ප්‍රීති රන්දෙණිය මහත්මිය, ප්‍රසන්න ජයකොඩි සර් ඇතුළු බොහෝ දෙනා මගේ රංගනය අගය කළා.

මීට පෙර ඔබ වේදිකා නාට්‍යවල රඟපාලා නැද්ද?

මංගල දර්ශනයෙදි බොහෝ දෙනා ඔය ප්‍රශ්නය ඇහුවා. පාසල් වේදිකාවෙ රඟපාලා තිබුණට ඊටපස්සෙ මම රඟපෑවෙ නැහැ. හැබැයි මගේ අම්මගේ පරම්පරාවේ බොහෝ දෙනා රඟපාපු අයයි. රූබන් මාස්ටර්, රූබන් පෙරේරා කිව්වාම රුක්මනී දේවි එක්ක ඒ කාලේ රඟපාපු ටවර් හෝල් රංගන ශිල්පීන්. ඒ නිසා රංගනයෙදි, දර්ශන තලවලදි මගේ අම්මගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. සුනිල් සර්, ජැක්සන් සර් මේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්න පෙර අපිට වැඩමුළු පැවැත්වුවා. මම ඉගෙන ගත්තෙ ගලහිටියාව හේමමාලි මහ විදුහලේ. ඒ පාසලේ නාට්‍ය හා රංග කලාවෙන් මම සම්මාන, සහතික දිනාගෙන තියෙනවා. ක්‍රීඩාවටත් සම්බන්ධ වුණා. ඒ හැර වේදිකා නාට්‍යවල රඟපෑවෙ නැහැ. මේ චිත්‍රපටයෙන් මුල් අඩිතාලම ලැබුණා. ඒක රංගන පාසලක්.

පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද?

එක එක කාලවලදි එක එක හීන තිබුණා. මගේ මාමලා බාප්පලා බොහොමයක් විදුහල්පතිවරු, ගුරුවරු. ඒ නිසා පුංචි කාලේ ගුරුවරියක් වෙන්න ආසා කළා. ඊටපස්සෙ උසස් පෙළ හදාරද්දි කළමනාකරණ උපාධිය ලබාගෙන ව්‍යාපාරයක් කරන්න හෝ බැංකුවක සේවය කරන්න ආසා කළා. මගේ පෙනුම නිසා ටික කාලයක් ගුවන් සේවිකාවක් වෙන හීනයක් තිබුණා. මම 2015, 2016, 2018 සහ 2019 'මිස් ශ්‍රී ලංකා' තරගයට සහභාගි වුණා. ඒ තරගවලින් විවිධ අංශ ජයග්‍රහණය කළා. මම ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව රටවල්වලට ගිහින් ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඒ අතරින් හොඳම ජාතික ඇඳුම ආදී විවිධ තරග ජයග්‍රහණය කළා. හොඳම පස්දෙනාට තේරුණා. ඒ ඔස්සේ අවුරුදු අටක් මම නිරූපණ ක්ෂේත්‍රය නියෝජනය කළා. ඊටපස්සෙ මට මේ චිත්‍රපටයේ රංගනයට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

චිත්‍රපටයේ මංගල දර්ශනය දකිද්දි හරිනිගේ හිත වඩාත් සංවේදී වුණු අවස්ථාව මොකක්ද?

ජැක්සන් සර් පැලෙන් වැටෙන අවස්ථාවක් තියෙනවා. ජැක්සන් සර් වැටෙන දර්ශනයෙදි මට ඇඬුණා. මේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළාට පසුව වැඩසටහන්වලට ඔහුත් සමඟ එකට සහභාගි වෙන්න මම ආසාවෙන් හිටියෙ. ''කෙල්ලෙ මට ඔයා ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. මම ඒක චිත්‍රපටය තිරගත වෙද්දි උඹ ඉස්සරහා කියන්නම්'' කියලයි කිව්වෙ. ජැක්සන් සර්ට ඉක්මනට සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔහු ඉතා දැවැන්ත නිර්මාණවේදියෙක්. ඒ වගේම අපූරු මනුස්සයෙක්. ඔහුව අපිට ආයෙත් ඕනෙ. ඉක්මනට නැගිටින්න සර්..

♦ දිශානි ජයමාලි
සේයාරූ I සුමුදු හේවාපතිරණ