2023 මැයි 07 වන ඉරිදා

මහ කැලේකට ගිහින් දවස් පහළොවක් මම භාවනා කළා... - දිනේෂ් විජේසිංහ (දින්නා)

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 247

ඒ තරම් පුළුවන්ද ඇස් දෙකකට කතා කරන්න.. ජීවිතයේ මා දුටු ලස්සනම පිරිමි ඇස් දෙකක අයිතිකාරයෙක් මගේ ඉදිරියේ ඉන්න මොහොතක හිතට ආව හිතුවිල්ල නිර්ලෝභීව ඔබට කියන්න මට හිතුණා... විසල් ඇස්... ළාවට කඳුළක් ඉහිරුණු කලෙක මෙන් දිලිසෙන ඇස්... දුක වේදනාව, බිය. සන්තාපය, අරුමය, ආදරය, ප්‍රේමය, අනුරාගය තවත් ඔව්... තව තවත් ඕනෑ තරම් හද සන්තානයේ උපදින අනේක මනෝභාවයන් ප්‍රතිමූර්ත කළ හැකි දෙනෙතක් යනු රංගවේදියෙකුට අමිල දියමන්තියක් හා සමානයි... මනෝභාවයන් ප්‍රකාශනයක් බවට පත් කළ හැකි කැඩපතක් වන් වත මඬලක් ඕනෑම රංගවේදියෙකුට අප්‍රමාණ වස්තුවක්... එවන් දෑසක් සහ වත මඬලක් ඔහු සතුයි... කේරළ සිනමාවට මගේ හදවතේ ඇති ආත්මීය ආලය තුළ කේරළ සිනමාවේ අමුතු සාර සොඳුරු අකුණු සර වන් රංගවේදීන් නිබඳ මගේ සම්භාවනාවට පාත්‍රවීමේ ශක්‍යතාවය තුළ ඒ සිනමාවට නෑදෑකමක් ඇත්දැයි සිතෙන තරමේ පිරිමි සුන්දරත්වයක් ඔහු සතුයි... ලාංකික සිනමාවෙන් ඔබ්බට දිනෙක කේරළ සිනමාවේත් ඉඩහසර ඔබ වෙනුවෙන් විවර වේවා යන ප්‍රාර්ථනාව දිනේෂ් විජේසිංහ... නොඑසේ නම් හුරුපුරුදු ආමන්ත්‍රණයෙන් දින්නා... ඔබ අභිමුව තබමු අපි...

දකු‍ණෙන් කොළඹට ආව...
සිනමාවට හැමදේටම වඩා පෙම් කරන දිනේෂ් විජේසිංහ...

'ගාන්ධි' ඉන්දියානු වාර්තාමය චිත්‍රපටය ඔස්සේ ඉන්දීය ප්‍රේක්ෂකාගාරය අමතනු පිණිස වරම් ලබන්නට තරම් වාසනාවන්ත වූ දිනේෂ්, සුමිත් කුමාර අධ්‍යක්ෂණය කළ සුබා තෙරණියෝ, අහස් පාලම වැනි සිනමා වියමන් ඔස්සේ මෙන්ම තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රෝහිත එදිරිසිංහගේ විවර්ණා චිත්‍රපටය ඔස්සේද තම රංගන කෞෂල්‍ය විදාහල රංගවේදියෙක්. විවර්ණා නුදුරේම ඔබ අභිමුවට සැපැමිණෙන්නට පෙරමං බලා හිඳින සිනමා වියමනක්.

කොළඹ අපි ආවා, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, සුද්දෙ, රාවණ හෝරාව, නේත්‍රා, අපේ ජනකතා, දේවිය සුගලා, අවසන් ඉණිම, හීන හොයන සමනල්ලු, මෝදර බඹරු ආදී පුංචි තිරය සරසාලූ ටෙලිනාට්‍ය ඔස්සේ තම රංගන පෞරුෂය, තම රංගන අනන්‍යතාව සහ ප්‍රතිභාව විදාහල ඔහු රංගන දායකත්වය ලබාදුන් මදර ගිර, හිතුමතේ, ආර්යවංශික, මනුසත් විමන, ඉරගිරි මද්දහන ආදී ටෙලිනාට්‍ය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

ඔබ කොළඹට ආවෙ කොහෙ ඉඳන්ද?

හම්බන්තොට මිද්දෙණියේ ගල්පොත්තයාය කියලා පුංචි ගමක ඉඳන් මම කොළඹට ආවෙ. 

පාසල් කාලයෙන් පසු ජීවිතය හොයාගෙන ගියේ කොහොමද?

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු මම ඉස්කෝලෙ ගියේ නැහැ. විභාගය සමත් වුණාට පස්සෙ මම ගුවන් හමුදාවට ගියා. සාමාන්‍ය පෙළින් පසු ඉගෙන ගන්න තරම් පසුබිමක් මගේ ජීවිතයේ මට තිබුණෙ නැහැ. 

ඇයි එහෙම කියන්නෙ?

මට අවුරුදු පහේදි අම්මා මාව දාලා ගියා. අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ආදරය, රුකවරණය මට පුංචි කාලෙදිම නැති වුණා. මම හැදුණෙ ආච්චි ළඟ. අක්කලා තුන්දෙනෙක් හිටියත් ඒගොල්ලො හිටියෙ එක එක තැන්වල. ආච්චියි සීයයි තමයි අම්මටයි තාත්තටයි හිටියෙ. අම්මගෙයි තාත්තගෙයි ආදරය, රුකවරණය අහිමි වෙච්ච සහෝදර සෙනෙහසක්, නෑදෑකමක් විඳින්න ඉඩක් නැති කෙනෙක්ගෙ ජීවිතය කොයිතරම් දුෂ්කරද? වේදනාත්මකද? හිස්තැන් ගොඩක්ද කියලා දන්නෙ ඒ අත්දැකීම එහෙමම වින්ඳ කෙනෙක් විතරයි. 

ඒ දුෂ්කර ගමන කොයිතරම් වේදනාත්මකද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒ ප්‍රශ්නවලට විසඳුමක් හොයාගෙන ගුවන් හමුදාවට බැඳුණු ඔබ නළුවෙක් වුණේ කොහොමද?

2009 දි මට අවුරුදු විස්සක් වෙද්දි තමයි ගුවන් හමුදාවට ගියේ. ඒත් පුංචි කාලෙ ඉඳන්ම ආසාව තිබුණෙම රඟපාන්න. ඒ හින්දම කරන්නෙ මොකක්ද කියලා කිසිම අදහසක් නැතුවම මම ගුවන් හමුදාවෙන් පැනලා ආවා. ඒත් අහුවුණා. ගුවන් හමුදා සෙල් එකේ දවස් පනහක් විතර ඉද්දි වරදක් කරලා අහුවුණු තව කෙනෙක් එතනට ආවා. එයාගේ අක්කා කෙනෙක් හිටියා රඟපාන. මම රඟපාන්න ආසයි කිව්වම එයා කිව්වා අක්කට කියලා රඟපාන්න අවස්ථාවක් හදලා දෙන්න බලන්නම් කියලා. මම සෙල් එකෙන් එළියට ආව ගමන් කළේ ඒ අක්කට කතා කරපු එක. එයා මට යන්න ඕනෙ පාරක් කියලා දුන්නා. 

දිනේෂ් නළුවෙක් වුණේ කොහොමද ඊටපස්සෙ?

කොළඹ අපි ආවා කියන නාට්‍යයේ රඟපාන්න අවසානයේදී අවස්ථාවක් හම්බවුණා. මම ඒකෙ රඟපෑවෙ සමනලී ෆොන්සේකාගේ පෙම්වතා විදිහට. ඒක කොටස් හතරක් පහක් විතර ගිය නාට්‍යයක්. 

කැමරාව ඉදිරියේ ඔබේ පළමු රංගනය ඔබ තුළ දැනවූයේ කොහොම හැඟීමක්ද? 

රඟපාන්න කොච්චර ආසා වුණත් කිසිම අදහසක් නැතුව කැමරා එක ඉස්සරහට ගියේ. කැමරාව ඉස්සරහදි අමුතුම බයක් හිතට ආවා. ඇත්තටම මම එදා කළේ රඟපාපු එක නෙමෙයි. කැමරාවක් ඉස්සරහ දෙබස් කියපු එක විතරයි කියලා හිෙතනවා. 

ගුවන් හමුදාවෙන් නික්ම ආවාට පසු අම්මා තාත්තා, සහෝදරයො, නෑදෑයො කාත් කවුරුත් නැති ජීවිතය දෙවුර දරාගෙන ජීවිතයත් එක්ක කොහොම අරගලයක්ද ඔබ කළේ?

ජීවත් වෙන්න මම කරපු නැති දෙයක් නැති තරම්. මේසන් වැඩ, අත්උදව් වැඩ, ඔය විදිහට නොකරපු වැඩක් නෑ. අව්වද වැස්සද කියලා වෙනසක් නෑ. ඒ අස්සෙ ටෙලිනාට්‍යයක් එහෙම ලැබුණොත් ඒකත් කළා. සමහර දවස් තිබුණා උදේට ෂූටින් යන්න ඕන. රූට අත්උදව් දෙන බිල්ඩින් එකේම නිදාගන්නවා. ෂූටින් යන්න ඇඳුමක් හෝදගන්න, වනාගෙන වේලගන්න තැනක් නෑ. සල්ලි අතේ තිබුණොත් බෝඩිමක ඉන්නවා. සල්ලි ප්‍රශ්න එද්දි ආයි බෝඩිමෙන් අයින්වෙලා වැඩ කරන තැනකම නිදාගන්නවා. බඩගින්නෙ හිටපු වාර අනන්තයි. යාළුවෝ විතරයි මාත් එක්ක හිටියෙ. ඒ වින්ඳ දුක් කන්දරාව ඇත්තටම කියලා ඉවර කරන්න බැරි තරම්. 

එහෙම ගලාගෙන ගිය ජීවිතය ආදරයෙන් හෝ ප්‍රේමයෙන් බෙදාගන්න කී දෙනෙක් ජීවිතයේ හමුවුණාද කියන එක පිරිමියෙකුගෙන් නොඇසිය යුතු ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරනවා. ඒත් මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. පසු කරගෙන ආව අතීතයේ ඔබේ පිරිමි පපුවට ගැඹුරින්ම දැනුණු, කතා කරපු කෙනෙක් හිටියද?

ඔව්.. අම්මා කෙනෙක් නැති මට අම්මා කෙනෙක් වගේ ආදරය කරපු, අම්මා කෙනෙක් වගේ මාව පරිස්සමෙන් බලාගත්ත, මගේ ජීවිතයට පුදුමාකර සහයෝගයක් දුන්න පෙම්වතියක් මට හිටියා. මගේ වැරුද්දක් නිසා එයා මට නැතිවුණා. එයාගෙන් වෙලාවකට ලැබුණෙ අම්මා කෙනෙක් දරුවෙකුට දුන්න ආදරයයි. 

ඇය අහිමි කර ගැනීමේ වේදනාව මේ මොහොතේත් ඔබට දැනෙනවද?

ඔව්.. මැරෙනකම්ම පපුව රිදෙන තැනක් තමයි ඒ. ඒක හැමදාම එහෙමමයි. මගේ ජීවිතේ මම යම් දෙයකට පසුතැවෙන තැනක් තියෙනවා නම් ඒ ඇය අහිමි කර ගැනීම පමණයි. අදටත් ඉඳහිට අපි කතා කරනවා. ඒත් එයාවත් මමවත් අද එතන නැහැ. ඒ අතීතයට අපි දෙන්නට ආයෙ යන්නත් බෑ. 

ඔබගේ පළමු නවකතාව ලියැවෙන්නෙත් ඇගේ සමුගැන්ම නිසා නේද?

ඇය මගේ ජීවිතයෙන් ඈතකට ගියාට පස්සෙ මට ඒක දරාගන්නම බැරි වුණා. මට ඕනෑ වුණේ ඒ වෙන්වීම දරාගන්න මාර්ගයක් හොයාගන්න. මම ඒ හින්දා අනුරාධපුරයේ මරදන්කඩවල ආරණ්‍ය සේනාසනයකට ගිහින් ඒ හාමුදුරුවරුන්ගේ මඟපෙන්වීම අනුව මහ කැලයකට ගිහින් දවස් පහළොවක් භාවනා කළා. දවස් පහළොවකට පස්සෙ මම ඒ මහ කැලෙන් එළියට ආවෙ අමුතුම මානසික සහනයකින් සහ වෙනසකින්. ඇවිත් මම ගියේ මගේ අක්කා කෙනෙක්ගෙ ගෙදරක. කැලයේ භාවනා කරද්දි ඉන් පිටස්තර ලෝකයත් එක්ක කිසිම සම්බන්ධයක් තිබුණෙ නැහැ. කැලෙන් එළියට එද්දි මම රඟපාමින් හිටපු නාට්‍ය සියල්ලෙන්ම මාව අයින් කරලා. ඒ නිසා මට කාලය තිබුණා. අක්කලාගේ ගෙදර හිටපු මාස එකහමාරක කාලය තුළ තමයි මම ඒහිපස්සිකෝ කියන මගේ පළමු නවකතාව ලිව්වෙ. 

දෙවැනි නවකතාවක් ඔබ අතින් ලියැවේවි කියන බලාපොරොත්තුවක් ඔබේ පාඨකයන්ට ඉතුරුවෙන තරමට ඔබේ පළවෙනි නවකතාව සාර්ථකයි. ආකර්ෂණීයයි. මොකක්ද දෙන උත්තරේ?

මට ලියන්න දුකක්, හුදෙකලාවක් වගේ හැඟීමක් දැනෙන්න ඕනෙ. ඇත්තටම මම දැන් මගේ දෙවැනි නවකතාව ලියාගෙන යනවා. 

නමකුත් තිබ්බද ඒ නවකතාවට?

පිරිමි පපුවක්.

චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ඔබ දැනට රඟපාලා තියෙනවද?

ඔව්.. ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කරපු විවර්ණා චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟපෑවා. චමීර ලියනගේ තමයි එහි උප ප්‍රධාන චරිතය රඟපෑවෙ. දමයන්ති ෆොන්සේකා, අනුරාධා එදිරිසිංහ, නෙතලි නානායක්කාර වැනි පිරිසක් එහි රඟපෑවා. හරිම ලස්සන චිත්‍රපටයක්. මාර්ෂල් ආට්, ජෙට් කුණ්ඩො වැනි සටන් කලාවන් මම ප්‍රගුණ කරලා තිබුණු නිසා එහි රංගනය මට හුඟාක් ලේසි වුණා. 

සිනමාව පිළිබඳව ඔබට ස්වයං හැදෑරීමක් තියෙනවද?

පුංචි කාලෙ මම චිත්‍රපට බලන්න පුදුම ආසා කරපු කෙනෙක්. ටෙලිනාට්‍ය, මියුසික් වීඩියෝස්වල රඟපෑවත් මගේ අරමුණ සිනමාව. මගේ සිහිනය, බලාපොරොත්තුව සිනමා නළුවෙක් විදිහට යන්න පුළුවන් උපරිම දුරකට යන එක. හොලිවුඩ් සහ බොලිවුඩ් සම්මිශ්‍රණයක් විදිහට හැදුණු ගාන්ධි කියන වාර්තාමය චිත්‍රපටයේ මට ගෝපිගෙ චරිතය රඟපාන්න ලැබුණා. මමත් බිමල් ජයකොඩිත්, යශෝධා විමලධර්මත් හැරුණුවිට එහි රඟපෑවේ එංගලන්තය සහ ඉන්දියාවෙ ඉඳන් ආව අයයි. ඉංග්‍රීසි සහ හින්දි භාෂාවලින් තමයි දෙබස් කළේ. අපිව තෝරගත්තෙ ෆිල්ම් ටීම් එකේ අයයි. අපේ වීඩියෝ අරගෙන ඒවා ඉන්දියාවට යවලා. මම ඒ චිත්‍රපටය නිසාම හින්දි භාෂාවත් ඉගෙන ගත්තා. හින්දි භාෂාව කතා කරන්න වගේම ලියන්නත් මට පුළුවන්. 

සිනමාවේදී අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව ඔබ නිර්වචනය කරන්නෙ කොහොමද?

චිත්‍රපටයක රඟපාන්න කතා කරද්දි ඒ අධ්‍යක්ෂකවරයා අපේ හදවතට හුඟාක් ළංවෙන කෙනෙක් නම් ඒක අපේ රංගනය උපරිමයෙන් මතු කර ගන්න ලොකු තල්ලුවක් වෙනවා. නළුවෙක් හෝ නිළියක් කැමතියි තමන් තේරුම් ගත් අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරන්න. අධ්‍යක්ෂකවරයෙකුට පුළුවන් වෙන්න ඕනෑ නළුවෙක් හෝ නිළියක් කැමරාව ඉදිරියේ තමන්ගේ හැඩතල අනුව හසුරුවන්න, පාලනය කරන්න. 

ඔබ අනුකරණය කරන නෙමෙයි, අධ්‍යයනය කරන නළුවන් ඉන්නවාද?

මට ඕනෙ මමම වෙන්න. ඔබ කිව්වා වගේම අධ්‍යයනය කරනවා මිසක් මම කිසිම කෙනෙක් අනුකරණය කරන්නෙ නම් නැහැ. ශ්‍රී ලාංකික සිනමාව තුළ ජෝ අබේවික්‍රම සහ කළණ ගුණසේකර කියන්නෙ මගේ ප්‍රියතම නළුවන් දෙදෙනෙක්. කේරළ සිනමාවට, විශේෂයෙන් මලයාලම් නළුවන්ටත් මම හරිම ආසයි. හොලිවුඩ් සහ කේරළ සිනමාවට විශේෂයෙන් මලයාලම් චිත්‍රපටවලට මම හරිම ආසයි.

නළුවෙක් ලෙස රංගනයේදි ඔබ කැමති රංගන භූමිකාවන් මොනවාද?

මම ආසයි චරිතාංග නළුවෙක් වෙන්න. ඕනෑම දුෂ්ඨයෙක්ට තමන් වීරයෙක්. එවැනි වෙනස් දුෂ්ඨයන්ගේ චරිත, මානසික ආතතියට ලක්වෙච්ච පුද්ගලයන්ගේ චරිත, සටන්කාමී අරගලකාරී චරිත, මේ විදිහට එක එක විදිහේ චරිත රඟපාන්න මම හරි ආසයි. ඕනම දුෂ්කරතාවයක් භෞතිකව හෝ මානසිකව දරාගන්න කෙනෙක්ට ජීවිතේදි පුළුවන් වෙන්න ඕන. ඇත්තටම ඒක එහෙම නොවුණොත්, මම දන්නවා නළුවෙක් ලෙස යන ගමනේදි ජීවිතයේ හැමදේම දෝතින් පිළිගන්වන්න අය ළඟ නැති මම වගේ කෙනෙකුට හරි අමාරුයි. 

ආත්මීය ආලයකින් චරිතත් එක්ක හුස්ම ගන්න, ඒ චරිතයට ආත්මයෙන්ම ආවේශ වෙලා ඒ චරිතයේ ආත්මය ප්‍රකාශ කරන නළුවෙක් වෙන්න හැමෝටම බැහැ. රංගධරයෙක්ගේ භූමිකාව ඔබ විවරණය කරන්නෙ කොහොමද?

නළුවෙකුට හෝ නිළියකට ජීවිතය ගැන දන්නෙ නැත්නම්, මේ මහ පොළොවෙ පය ගහලා ඇවිදින්න බැරිනම් ඔබ ඔය කියපු විදිහේ රංගධරයෙක් වෙන්න බෑ. ඒක ඇත්ත. තව කෙනෙක්ගෙ දුකක්, වේදනාවක්, කම්පනයක් තමන්ගේ කියලා දැනෙන්නෙ නැති කෙනෙක්ට දුක, වේදනාව, බඩගින්න දන්නෙ නැති කෙනෙක්ට මම විශ්වාස කරනවා එවැනි හැඟීමක් ආත්මීයව ප්‍රකාශ කරන්න අමාරුයි. පපුවටම නොදැනෙන දේවල් ප්‍රකාශ කරද්දි ඒවා හරි කෘත්‍රිමයි. මම දුප්පත්කම හින්දම ෂූටින් ගිහිල්ලා සමහර දවස්වල යන්න තැනක්, ඉන්න තැනක් නැතුව මහ පාරේ ඉඳලා තියෙනවා. බස් හෝල්ට්වල නිදාගෙන තියෙනවා. හැබැයි ඒ සියල්ල අත්දැකීම්. ජීවිතය තුළ හොඳ රස්තියාදුකාරයෙක් වෙන කෙනෙක් තුළින් ඔබ ඒ කියපු විදිහේ රංගධරයන් ඉස්මතු වෙන ඉඩහසර වැඩියි කියලා මට හිතෙනවා. 

දේශපාලනය ගැන ඔබට තියෙන්නෙ කොහොම දැනුමක්ද? අවබෝධයක්ද?

දේශපාලනය ගැන මට ලොකු දැනුමක්, අවබෝධයක් නැහැ. ඒත් මම මේ රටට ආදරෙයි.   

සිනමාවට ඔබේ තියෙන ආදරය එක වාක්‍යයකට ගොනු කරන්න ඔබට පුළුවන්ද?

මම හීනයක් දකිනවා නම් ඒ දකින හීනය සිනමාවමයි. ඇක්ෂන් කියන කාලය තුළ මම මිය යන දවසක මිය යනවා නම් ඒ තමයි මගේ පැතුම.

ඒ තරම්ම ආදරයක්! ඇත්තටම ඒක ඇත්තටම ආදරයක්ද?

මම තනියෙන් කොට්ටය බදාගෙන ඕන තරම් අඬලා තියෙනවා මගේ හීනයට මම යන්නෙ කවද්ද කියලා. සිනමාව කියන හීනය නිසා මගේ ජීවිතය විනාශ කර ගත්තද කියලා මට හිතුණු වෙලාවල් තිබුණා. ඒත් ඒ මොහොතෙම මම ආයෙත් හිතනවා, නෑ සිනමාව තමයි මගේ ආදරය, ජීවිතය සහ බලාපොරොත්තුව කියලා. මට ඕන මමම වෙන්න. මගේම ගමනක් යන්න. ජීවිතයේ කොයිතරම් දුෂ්කර මාර්ග පහුකරගෙන ආවත් පරාජිතයෙක් නොවී ජීවිතය දිනන්න සිනමාව තුළ හීන දකින්න සහ හීන හැබෑකර ගන්න මට ඕන. මම මහන්සි වෙන්නෙ ඒ වෙනුවෙන්. ඔව්.. ඒ තරම් ආදරයක්, ඇත්තටම ආදරයක් කලාව, සිනමාව සහ රංගනය ගැන මට තියෙනවා.

♦ සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ