2023 මැයි 07 වන ඉරිදා

අමතක නැති වෙසක් මතක

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 64

ඔළුබක්කෝ නටන්න ගිහින් පොලිසියෙන් ඇල්ලුවා

අපේ තාත්තා හරි සැරයි. හවස හයෙන් පස්සේ අපිට කොහෙටවත් යන්න දෙන්නෙ නැහැ. හවස හය වෙද්දි අනිවාර්යෙන් ගෙදර ඉන්න ඕනෙ. හැබැයි මම වෙසක් බලන්න හරි ආසයි. ඒ අතරේ 'ඔළුබක්කෝ' නටන්න පුදුම ආසයි. ගල්කිස්ස මගේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා. මගේ යාළුවගේ ගේ තිබුණේ ගල්කිස්ස හන්දියේ පොලිසිය ළඟමයි. එක අවුරුද්දක ඒ යාළුවගේ අම්මලා වෙසක් සතියේ නුවර ගියා. ගෙදර යාළුවයි එයාගේ බාප්පයි හිටියේ. ඒ බාප්පත් හරි ජොලි. ඉතින් අපි යාළුවෝ පිරිස එකතුවෙලා බැල්කනියේ කොඩි ටිකක් දාලා ලොකු රෙද්දක තීන්තවලින් %ඔළුබක්කන් සංදර්ශනය^ කියලා ලියලා ගේ ළඟ එල්ලුවා. හවස වෙද්දි සෙනඟ පිරුණා. යාළුවෝ විස්සක් විතර හිටියා. මගේ යාළුවගේ අම්මා අල්මාරිය වහලයි ගිහින් තිබුණේ. ඒ නිසා එළියේ තිබුණු අම්මගෙයි නංගිගෙයි සායවල් මගේ යාළුවෝ ඇන්දා. මට අඳින්න ඇඳුමක් තිබුණෙ නැහැ. ඒ නිසා මම ඒ නංගිගේ බ්‍රා එකක් ඇඳගෙන ඔළුබක්කන් නැටුවා. එතකොට අපිට වයස අවුරුදු දහයක් විතර ඇති. ටික වෙලාවක් ඔළුබක්කන් නටද්දි අපේ ඇඳුම් ගැලවුණා. ටික වෙලාවකින් පොලිසිය ඇවිත් අපිව අල්ලගත්තා. එදා නම් මම තාත්තගෙන් පුදුම විදිහට බැණුම් ඇහුවා. වෙසක් සතිය ළංවෙන හැම මොහොතකම මට ඔය ඔළුබක්කන් සිදුවීම නම් මතක් වෙනවා.

I සුරේෂ් ගමගේ

තොරණ් බලලා දන්සල් වඳිනවා

මම ඉගෙන ගත්තෙ රාවතාවත්ත වාමිස්සර දහම් පාසලෙයි. ඒක මොරටුවේ හරි ප්‍රසිද්ධ පන්සලක්. අපි පන්සලත් එක්ක හරි එකතුයි. හැම වෙසක් පෝයටම දහම් පාසලෙන් ලොකු බස් එකක් අරගෙන අපිව වෙසක් බලන්න එක්කගෙන ගියා. කොවිඩ්වලට කලින් හැම අවුරුද්දෙම අපි වෙසක් බැලුවා. අපි මොරටුවේ ඉඳන් කොළඹ අවට තිබුණු හැම තොරණක්ම බැලුවා. දන්සල්වලට ගියා. ඒකට තරුණ, බාල, මහලු හැමෝම එකතු වුණා. අපේ අම්මලා අපිව එහෙම වෙසක් බලන්න එක්ක යන්නෙ නැහැනෙ. ඉතින් දහම් පාසලෙන් එක්ක යන නිසා මේ ගමනට අම්මලත් එකතු වුණා. අවුරුදු ගාණක් මේ ගමන අපි ගියා. කොවිඩ්වලට ඒක නැතිවුණාට මේ අවුරුද්දෙත් ආයෙ අපි වෙසක් බලන්න යනවා. අපේ දහම් පාසල, දහම් පාසලකටත් වඩා ඉස්කෝලයක් වගේ තැනක්. පන්සලේ වැනිගල කස්සප හාමුදුරුවෝ තමයි අපිව හැම අවුරුද්දෙම වෙසක් බලන්න එක්කගෙන ගියේ. දහම් පාසලේ ළමයින් එක්දහස් පන්සීයක් පමණ ඉගෙන ගන්නවා. ඉතින් වෙසක් කාලයට මේ ගමන යන්න මම හරි ආසයි.

I ඩිලුෂි හංසිකා

අඹ තොගයක් හම්බවුණා අඹ අච්චාරු දන්සලක් දුන්නා

හැම වෙසක් පෝයටම අපි දන්සලක් දෙනවා. ගිය අවුරුද්දේ වෙසක් පෝයට අපි අඹ අච්චාරු දන්සලක් දුන්නා. ඒ කාලෙ අඹ වාරය. පුදුම විදිහට අඹ තිබුණා. අපිට අඹ ගොඩක් හොයාගන්න පුළුවන් වුණා. සමහරු ගෙදරටම අඹ ගෙනත් දුන්නා. ඒ නිසා ලොකු අඹ අච්චාරුවක් හදලා අපි දන්සලක් දුන්නා. මේ පාරත් අපි කලාකරුවන් කිහිප දෙනෙක් එකතුවෙලා පොල් රොටි දන්සලක් දුන්නා. හැම අවුරුද්දෙම දන්සල දීලා ඉවර වුණාට පස්සෙ අපි වෙසක් බලන්න යනවා. වෙසක් සතිය කියන්නෙ ආසාවෙන් බලාගෙන හිටපු සතියක්.

I ධනංජි තාරුකා

කූඩුව කැඩෙයි කෙල්ලනේ කියලා විල්සන් මාමා සැර කළා

අපේ ගම කලපලුවාව රුවන්පුරයි. ඒ කාලේ විල්සන් කියලා මාමා කෙනෙක් ලොකු කැරකෙන කූඩුවක් හැදුවා. ඒක දෙපැත්තට කැරකෙනවා. ඉතින් මායි අක්කයි තමයි වැඩිපුරම ඒක කැරකුවේ. අපේ අහළ පහළ යාළුවෝ, ඉස්කෝලෙ යාළුවෝ කූඩුව බලන්න ආවාම මායි අක්කයි අපේ වැඩ පෙන්නන්නත් එක්ක කූඩුව හයියෙන් කරකවනවා. &ඕක කැඩෙයි කෙල්ලනේ..* කියලා විල්සන් මාමා අපිට සැර කළා. ඒත් ටික වෙලාවකින් අපි ආයෙත් හයියෙන් කැරකෙව්වා. ඒ මතකය නම් හරි සුන්දරයි. අපි කූඩු තොරණ්වලට වඩා දන්සල්වලට යන්න තමයි ආසා කළේ. ඉස්සර එක දවසකට දන්සල් හතර පහකට ගිහින් කෑවා. හැබැයි දැන් අපිට තේරෙනවනෙ. දන්සල් දෙන්න ඕනෙ. හැබැයි මේ කාලවකවානුවේ කන්න නැති බොහෝ දෙනා ඉන්නවා. දන්සල්වලට එකතු කරන සල්ලිවලින් කන්න නැති දරුවන්ගේ බඩ පුරවන්න තියෙනවා නම් ඒක කොයි තරම් හොඳද? දරුවෙක්ට එක වේලක් කන්න දෙන්න බැරි පවුල් අනන්තයි. ඒ වගේම සතුන්ට කෑම ටිකක් දෙන්න පුළුවන්. ඉස්සර බලු කපුටු දාන දුන්නා. ඒ වගේ දාන පුළුවන් විදිහට අපි දෙමු. සතෙකුට කන්න දුන්නාම මනුස්සයෙක්ට කන්න දුන්නටත් වඩා කෙළෙහිගුණයක් තියෙනවා. සමහරු නිකම් දෙන කෑමවල ලුණු රස, හොඳ නරක බලනවා. සතුන් එහෙම නැහැ. දෙන දේ කාලා පැත්තකට වෙලා ඉන්නවා. මේ වෙසක් සතියෙ අපි ඒ අහිංසක සතුන් ගැනත් හිතමු. දන්සල්වලින් පෝසතුන්ගේ බඩ පුරවනවාට වඩා මේ අහිංසක මිනිසුන්ගේ, සතුන්ගේ කුසගින්න ගැන හිතමු.

I උදයකුමාරි

හැම වෙසක් පෝයකදිම තාත්තා මතක් වෙනවා

බෞද්ධයන් විදිහට අපි හැමෝම බුදුන්ගේ තෙමඟුල සිහිපත් කරන අපේ ජීවිතවලට බද්ධ වුණු දවසක් තමයි වෙසක් පෝය කියෙන්නෙ. ඒ වගේ උතුම් දවසක තමයි මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරය කරපු මගේ තාත්තා මට අහිමි වුණේ. ඒ දිනය මගේ ජීවිතේ මට ලොකු පාඩම් කියලා දුන්නා. මම ජීවිතේ වඩාත් ආදරය කරපු කෙනාගේ අහිමිවීම කොයි තරම් ලොකු දුකක්ද වේදනාවක්ද කියන එක වචනවලින් කියන්න තේරෙන්නෙ නැහැ. ඒ දේවල් එක්ක මම ජීවිතේ හිතන පතන විදිහ වෙන මාවතකට හැරුණා කියලා මට හිතෙනවා. හැම වෙසක් පෝය දිනකම මට තාත්තාව මතක් වෙනවා. මම තාත්තා සිහිපත් කරලා යමක් කරනවා. මම ජීවත්ව ඉන්න තාක් කල් ඒ දේ මම කරාවි.

I ආශා එදිරිසිංහ

 දිශානි