2017 ජුනි 03 වන සෙනසුරාදා

පබිලිස්ගෙන් අමුතු කෑම

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 416

කරපිංචා දලු ආනම

කරපිංචා දලු ග්‍රෑම් 300
රතු ලූණු ග්‍රෑම් 50
හොඳින් සෝදාගත් කූනිස්සෝ මේස හැඳි 02
සියඹලා ඉස්ම මේස හැඳි 01
මිරිස් කුඩු තේ හැඳි 01
තෙලේ බැදගත් බැදපු කරි කුඩු මේස හැඳි 01
කහකුඩු තේ හැඳි ¼
තෙල් මේස හැඳි 02
දෙකට පලාගත් අමුමිරිස් කරල් 04
කුරුඳු පොතු කැබැල්ලක්
රම්පෙ
කරපිංචා
වතුර
ලුණු අවශ්‍ය තරමට

සාදන ක්‍රමය
කරපිංචා දලු සෝදා දිය බේරෙන්නට තබන්න.
භාජනයක් ළිප තබා එයට තෙල් වක්කර ලුණු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු දමා බැදෙන්නට හරින්න.
බැදීගෙන එනවිට කරිකුඩු, මිරිස් කුඩු, කහ, ලුණු, කූනිස්සන්, අමු මිරිස් දමා තරමක් බැදෙන්නට හරින්න.
එයට සියඹලා ඉස්ම එක්කර වතුර ස්වල්පයක් දමා හොඳින් හිඳීගෙන එනවිට කරපිංචා දළු ටික දමා කලවම් කර ළිපෙන් බා ගන්න.

කොල්ලු ආනම

අවශ්‍ය ද්‍රව්‍ය -
කොල්ලු ග්‍රෑම් 300
පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 30
රතුලූණු ග්‍රෑම් 30
කරි කුඩු මේස හැඳි 1 ½
අබ තේ හැඳි ½
කහ කුඩු තේ හැඳි ¼
අමු මිරිස් කරල් 3
සුදුලූණු බික් 2
රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු කැබැල්ලක්
තෙල් මේස හැඳි 2
වතුර
ලුණු අවශ්‍ය පමණට

සාදන ක්‍රමය
කොල්ලු ගරා සෝදා බැද පියලි කර පොතු ඉවත් කරගන්න.
බ්ලෙන්ඩරයකට දමා කුඩා කැබලි සේ කුඩුකර ගන්න.
එයට වතුර දමා අබ සහ තෙල් හැර අනෙකුත් සියලු දේ දමා නොකඩවාම හැඳිගාමින් තම්බන්න.
තෙල් ටික භාජනයකට දමා එය රත්වූ පසු අබ දමන්න. අබ පුපුරද්දී කොල්ලු ටික දමා තෙම්පරාදු කරගන්න.

එළවළු ආප්ප

අවශ්‍ය දේවල්
හාල්පිටි ග්‍රෑම් 500
ගාගත් කැරට් ග්‍රෑම් 100
බිත්තර 01
ආප්ප සෝඩා තේ හැඳි 2
සීනි තේ හැඳි 01
පොල් ගෙඩියක වතුර
මිටිකිරි අඬු කෝප්ප 01
ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය
පිටි හොඳින් හලාගන්න.
එයට සීනි, ආප්ප සෝඩා, ලුණු, පොල් වතුර දමා අතේ නොඇලෙන පදමට අනාගන්න.
විනාඩි 45 පමණ පිපෙන්නට තබන්න.
එයට මිටිකිරි සහ බිත්තර වත්කර පදම සාදාගන්න.
තෙල් තාච්චායක් ළිප තබා තෙල් ටිකක් තාච්චියේ ගා ගන්න.
එයට ආප්ප මිශ්‍රය දමා රවුමට කරකවා සිහින්ව ලියාගත් කැරට් එක්කර වසා ටික වේලාවකින් ආප්ප හැන්දකින් ගලවා ගන්න.

දෙල් ගැට පස්තෑල

කුඩාවට කපාගත් දෙල් ගැට ග්‍රෑම් 500
ඉදුණු තක්කාලි ග්‍රෑම් 50
මිරිස් කුඩු තේ හැඳි 01
අමුමිරිස් කරල් 3
කරපිංචා කිනිත්තක්
කූනිස්සන් මේස හැඳි 01
දියකිරි අඬු කෝප්ප 02
තෙල් තේ හැඳි 02
කරිකුඩු මේස හැඳි 01
කහකුඩු තේ හැඳි ½
ගම්මිරිස් කුඩු තේ හැඳි ½
කුරුඳු පොතු කැබැල්ලක්
රම්පෙ
ලුණු අවශ්‍ය තරමට
දෙහි

සාදන ක්‍රමය
දෙල් ගැට කපා දෙහි කහ මිශ්‍ර වතුරේ සෝදා මිරිකාගන්න. 
භාජනයක් ළිප තබා තෙල් හැඳි දෙකක් දමා ලූණු අමුමිරිස් රම්පෙ කරපිංචා කුරුඳු පොතු දමා බැදෙන්න හැරෙන්න.
එයට කූණිස්සන්, මිරිස්කුඩු, ගම්මිරිස්, කහ, කරිකුඩු ලුණු වත්කොට මඳ ගින්නේ පිසගන්න.
තක්කාලි, දෙහිගැට දමා දිය කිරෙන් තැම්බෙන්න හැර දිය හිඳුනු විට මිටිකිරි එකතුකර හින්දාගන්න.
මේ පස්තෑල පිරවුම පසෙකින් තබා පිටි මිශ්‍රණය සකසා ගන්න.
පස්තෑල පිටි මිශ්‍රණය තුනීකර හතරුස් කෑලි කපා මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා බිත්තර සාරු තවරා පිරවුම එළියට නොඑන සේ තදකර ගැඹුරු තෙලේ බැදගන්න.

► Text :- Jayamali