2023 අප්‍රේල් 30 වන ඉරිදා

මේ කෙල්ල හරි ලස්සනයි ලොකු වුණාම නිළියක් කරන්න කියලා කීවේ ආන්නද සමරකෝන් - ස්වර්ණා මල්ලවආරච්චි

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:01 375

ආත්මයම විනිවිද කතා කරන ඒ අමුතු ඒ තියුණු මුවැත්තියකගේ බඳු පුදුම ඇස්, ඒ ඇස්වලට සෙවණ දුන් දිගැටි ඇහිබැම අංජන ගල්වා හැඩ කර නොතිබුණි. හැඩ කරන්නටද දෙයක් නොතිබුණි. ළා දුඹුරු පාට තද දිගැටි කම්මුල් මතද පියරු බිඳක්වත් ගල්වා තිබුණේ නැත. ඒත් ඒ දිලිසෙන දුඹුරු පාට සරාගිම කම්මුල් මනරම්ය. දිගැටි නැහැ තුඩ හැඟීම් සිත්තම් කරන කැඩපතක් වන් ඒ මුහුණ තවත් අමුතුම ලස්සනකින් සරසා තිබුණි. කඩා හැලුණු කොණ්ඩය හරි දිගය. ඇට පෑදුණු බෙල්ල කෙට්ටු දිග අත  පය උරහිස් අමුතුම සරාගීම සෞන්දර්යාත්මකම මුදු බවක් සේම සොඳුරු රළු බවක්ද සම්මිශ්‍රණය කළ මන බඳින වෙනස්ම පෞරුෂයක් ඇයට දායාද කර තිබුණි. ඒ සියල්ල තුළ ඇය එදා මෙන්ම අද ද ඇයම වූවාය. මුදුන් කර බැඳි මල් ගවසාලූ, කොණ්ඩ මෝස්තර දැමූ, පුයර තැවරූ වටිනා දිලිසෙන සාරි ඇඳගත් සුදු පාට, රෝස පාට මුහුණු ඇති අභරණින් සැරසුණු යුවතියන් මහ ගොඩක් අතරෙහි අමුතුවෙන් හැඩ නොවූ ඇය සත් සමුදුරෙහි සෝමා ලෙස විවරණය ලබන්නට වරම් ලද්දේ ඇයි?

ඇගේ සිනමාරූපී අනන්‍යතාව පෞරුෂත්වය සහ විරල සෞන්දර්යාත්මක සුන්දරත්වයෙන් ගැවසුණු පරිපූර්ණ ස්ත්‍රීත්වයේ දිශානතීන් හා මානයන් කියවන්නට ඉසියුම් ඉවක් මහාචාර්ය සිරි ගුණසිංහයන්ට සහ වසන්ත ඔබේසේකරයන්ට තිබූ නිසාම නොවේද? 

සත් සුමුදුරෙන් පටන්ගෙන මේ මොහොතේ දඩඉම දක්වාත්.... සිරි ගුණසිංහයන්ගෙන් පටන්ගෙන නෙඔමාල් පෙරේරා දක්වාත් විවිධ අධ්‍යක්ෂ භූමිකාවන් ඇසුරෙහි තම අප්‍රමාණ සහ අසමාන රංග ප්‍රතිභාව විදාහල ඇය... සිංහල සිනමාවේ සදාතනික රෝස කුසුම ලෙස මගේ සම්භාවනාවට පාත්‍ර වන ඇය... ඔව් ඇය... ඇය ස්වර්ණා.

ස්වර්ණා මල්ලවආරච්චි... මගේ විචාරය සහ සිනමාමය ගවේෂණය තුළ එදා මෙදා තුර සිංහල සිනමාවේ මා දුටු ස්වභාවික ලස්සනක් ඇති සුන්දරම නිළිය ඇයයි. අසමාන රංග කෞෂල්‍යයක් හා ආකර්ෂණීය පෞරුෂයක් ඇති නිළිය ඇයයි. එහෙත් මම ඇය රැජනක් ලෙස නොදකිමි. මක් නිසාද යත් රුජනකට විල්ලුද පලස් මත මිස මහ පොළොවක පය තබා ඇවිද යන්නට බැරි හෙයිනි. සත් සමුදුරේ සෝමාගේ පටන් දඩඉමේ රෝහිණී දක්වා ඇය මහ පොළොවේ දෙපා තබා ඇවිදිමින් සිනමා වියමන් ඔස්සේ ජීවිතයට කතා කළ අප්‍රමාණ ගැහැනියකි. දුප්පත් රළු බිමක ඉපදී දිළිසෙන පලස් මත ඇවිදින්නට මඟ හදාගත් ගැහැනියකි. ගැහැනියක රළු විය යුතු තැන රළු විය යුතු බවත්, මෘදු විය යුතු තැන මෘදු විය යුතු බවත් තම ජීවිතය ඇසුරෙන් කියා දුන් ගැහැනියකි. ස්වර්ණා ඔබ ඔබම මිස කිසිවකුත් නොවේ. ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, OCIC සම්මාන, දෙස් විදෙස් කවර බුහුමනකට සම්මානයකට පාත්‍ර වුවත් ලාංකික සිනමාවේ රැජන ලෙස ඔබ ලඝුකරණය නොකර ලාංකික සිනමාවේ ගැහැනිය ලෙස අප්‍රමාණත්වයේ සම්භාවනාවට මා ඔබ පාත්‍ර කරන්නේ එබැවිනි. ස්වර්ණා ඔබ වෙනුවෙන් මේ අපේ ආදරයේ මුද්‍රාවයි. 

එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, මහගම සේකර, ජී.බී. සේනානායක, මඩවල එස්. රත්නායක ආදී ලේඛකයන්ට පාසල් වියේ සිටම ආදරය කළ ඔබ මහාචාර්ය සිරි ගුණසිංහ නවක නිළියක් තෝරාගැනීම සඳහා පළ කර තිබූ පුවත්පත් දැන්වීමක් දැක එහි සම්මුඛ පරීක්ෂණයට ගියේ ඔහු ලියන දේවල් කියවා තිබූ නිසා ඔහු කවුදැයි බලන්නට තිබූ ආසාවටයි. ඒ ගිය ගමන සිංහල සිනමාවට අනාගත සිංහල සිනමාවේ ගැහැනිය නිර්මාණය කළ දිගු ගමනේ සමාරම්භයයි. යමුද අතීතයට?

ඉස්කෝලේ යන කාලෙ චිත්‍රපට බලන්න ආසාව තිබුණට රඟපාන්න කියලා ආසාවක් තිබුණෙ නෑ. පත්තරේ දැන්වීමක් දැක්කා චිත්‍රපටයකට අලුත් නිළියක් ගන්නවා කියලා. ඒකට ඉල්ලුම් කරලා එන්න කියලා තිබුණා. ගියා. ගියේ සිරි ගුණසිංහ කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා බලන්න තිබුණු ආසාවට. මොකද ඒ කාලේ සිරි ගුණසිංහ ලියන දේවල් කියවලා තිබුණට කොයි වගේද දැකලා නෑ පින්තූරයකින්වත්. යාළුවෙක්ගේ අම්මා කෙනෙක්ගෙන් ඉල්ලා ගත්ත සාරියක් ඇඳගෙන මේක්-අප් තියා මූණෙ පියරු ටිකක්වත් නැතුව ගියේ. මට මතකයි මම ඇඳගෙන ගියේ ''බේජ්'' පාට සාරියක්. දුඹුරු පාටින් මොනවද මෝස්තර දාපු සාරියක්. සාරි හැට්ටය කොහෙන්ද හොයා ගත්තෙ කියලා දැන් මතකත් නෑ. කොණ්ඩය එක කරලකට ගොතාගෙන ගියා. මොකද මට ඕනෑ වුණේ සිරි බලන්නනේ. යද්දි වටේටම ගෑනු ළමයි ගොඩක් ඉඳගෙන හිටියා. ඉස්සර කාලේ කොණ්ඩ උඩට කරලානේ බැන්දේ. එහෙම කොණ්ඩ දාලා මේක්-අප් දාගෙන එයාලා හිටියේ. මට ටික වෙලාවක් යද්දි හිතුණා අර අච්චර ලස්සනට ඇඳලා කරලා ඇවිත් හිටිය ළමයි අතරේ ඕන නෑ දැන් ඇති මෙතන හිටියා. අපි යමු නේද කියලා මාත් එක්ක ගිය නැන්දට මම කියද්දිම මගේ නම කියලා කතා කළා. වසන්ත ඔබේසේකර, සිරි ගුණසිංහ වගේ පිරිසක් මේසයක් වටේට පුටු තියාගෙන ඉඳගෙන හිටියා. මට හිතුණා නිකම් වැරුද්දක් කරපුවාම ඉස්කෝලෙ ටීචර් කතා කරනවා වගේ කියලා. මේසෙ ඉස්සරහ ඉඳගන්න පුටුවක් තිබුණා. මගෙන් ඇහුවා ඇයි චිත්‍රපටවල රඟපාන්න එන්න හිතුණෙ, මොනවද කරන්නෙ ඇහුවා. මම කිව්වා උසස් පෙළ කරනවා කියලා. එහෙනම් නිළියක් වෙන්න යන්නෙ ඇයි ඇහුවා. මම කිව්වා මම ආවෙ නිළියක් වෙන්න නෙවෙයි, මම ආවෙ ඔබතුමා බලන්න කියලා. මම එහෙම කියද්දි එයාලා හිනා වුණා. ඔහොම කතා කරලා අන්තිමේදි කිව්වා අර එහා පැත්තෙ කාමරේ නිහාල්සිංහ මහත්තයා ඉන්නවා, එයා පොඩ්ඩක් කැමරා එකෙන් බලනවා එතෙන්ටත් ගිහින් එන්න කියලා. මම ගියා. මාසෙකට විතර පස්සෙ ලියුමක් ආවා මේකප් ටෙස්ට් එකට එන්න කියලා. හාරසීයක් විතර අතරින් මාවත් තවත් එක්කෙනෙකුත් තෝරාගෙන හිටියා. ඒ අනෙක් කෙනා බඳින්න හිටපු එයාගේ පෙම්වතා එපා කියලා එයා අවසානෙදි ආවෙ නෑ. සිරි බලන්න ආසාවට ගිය ගමන නතර වුණේ මම සත් සමුදුරේ සෝමා වෙලා. 

ඔබට ඇත්තටම මුලින්ම සිනමාවට ආරාධනා කළේ ධර්ම ශ්‍රී කල්දේරා. එතකොට ඔබ පාසල් වියේ යුවතියක්. මතකද මතකය?

ඒ.ඩී. රන්ජිත් කුමාර ඒ කාලේ මගේ යාළුවෙක්. අපි යනවා එහේ. එයාගේ මාමාගේ යාළුවෙක් තමයි ධර්ම ශ්‍රී කල්දේරා. මාව දැකලා මට කතා කළා එයාගේ සීතල වතුර කියන චිත්‍රපටයේ රඟපාන්න. මට අවුරුදු 15 ක් 16 ක් ඇති. මම ඒ වෙලාවේම කීවා අනේ බෑ මාමේ මම කැමති චිත්‍රපට බලන්න විතරයි කියලා. 

ස්වර්ණා කවදා හරි නිළියක් වෙයි කියලා මුලින්ම කියපු කෙනෙක් ඉන්නවද?

ඔව්..

කවුද ඒ?

ආනන්ද සමරකෝන්. එතකොට මට අවුරුදු පහක් විතර ඇති. මම පුංචි කාලේ හැදුණේ කොළඹ නගරයේ පුංචි පළාතක පොඩි ගෙදරක. පාවිච්චි කරන්න තිබුණේ පොදු වැසිකිළි එහෙම. මම මිදුලෙ සෙල්ලම් කර කර ඉද්දි ආනන්ද සමරකෝන් එතනින් ගියා. අපේ ගේ ළඟ හිටියා ඒ කාලේ බැනර්, පෝස්ටර් අතින් ඇන්ද කලාකරුවෙක්. අද වගේ ඩිජිටල් තාක්ෂණයක් නැති කාලේ. ඒ කලාව අද නෑ. ඒත් ඒ කලාවේ තියෙන අපූර්වත්වය අද ඩිජිටල් තාක්ෂණයෙන් අඳින පෝස්ටර්වල බැනර්වල ඇත්තෙත් නෑ. එවැනි කලාවක් නැතිවීම ගැන මට හරි දුකක් තියෙනවා. එයා හමුවෙන්න තමයි ආනන්ද සමරකෝන් එහෙ එන්නෙ. මම මිදුලෙ සෙල්ලම් කර කර ඉද්දි ආනන්ද සමරකෝන් මගේ ඔළුව අතගාලා මේ කෙල්ල හරි ලස්සනයි.. ලොකු වුණාම නිළියක් කරන්න හොඳයි කීවා.

විජය කුමාරණතුංග කියන ආදරණීය රංගවේදියා හා ඔබේ පළමු රංගනය සනිටුහන් වෙන්නේ හන්තානේ කතාව චිත්‍රපටය තුළ. සිහිපත් කරමු විජය ගැන මතක... හැබැයි ඔබ විජයව පළමුව දකින්නේ සත් සුමුදුරේ රූගත කිරීම්වලදියි. යමු ඒ අතීතයටත්?

ඒ කාලේ අද වගේ නෙවෙයි, චිත්‍රපටයක් රූගත කරද්දි බලන්න ලොකු පිරිසක් වටේට එකතු වෙනවා. සත් සමුදුර රූගත කරද්දි ඒ හිටපු අය අතරේ මම දැක්කා සුදු කමිසයක් ඇඳගෙන සුදු කොට කලිසමක් ඇඳලා රබර් සෙරෙප්පු දෙකක් දාලා හිටිය හීන්දෑරි කඩවසම් තරුණයෙක්. මතකයේ හිටින්න තරම්ම ලස්සනක් ඔහුට තිබුණා. ඊට පසුව මම ඔහු දැක්කෙ හන්තානේ කතාවෙදි. හන්තානේ කතාව පටන් ගන්න ඉස්සර 'Script reading' එකක් තිබුණා. එදා තමයි ආපහු විජය දැක්කෙ. දැක්ක ගමන් මතක් වුණා එදා සීදුවේදි දැක්කෙ මෙයා නේද කියලා. එදා මම අද මැජෙස්ටික් සිටි තියෙන්නෙ, එතන පාරෙන් පයින් ඇවිදගෙන යද්දි විජය හිටියා රතුයි කළුයි ඉරි ඉරි කමිසයක් ඇඳලා, අපි හම්බවෙනවනේ... ආය හම්බවෙමු කීවා එච්චරයි. ඒ කාලේ අපිට වාහන නෑ, බස්වල තමයි ගියේ. 

ඔබ වැනිම කියවීමක් හැදෑරීමක් තිබුණු නළුවෙක් නේද ගාමිණී ෆොන්සේකා. ඒ කාලේ ඔබේ කිට්ටුවන්ත මිතුරෙක්... කොහොමද ඔහු ගැන ආදරණීය මතකයන්?

ගාමිණී ෆොන්සේකාත් එක්ක කතා කරද්දි පුස්තකාලයක් එක්ක කතා කරනවා වගේ. මම පිටරට එහෙම යද්දි ඒ කාලේ මොනවද ගාමිණී ගෙනත් ඕනෑ කියලා අහද්දි පොතක් තමයි ගෙනත් දෙන්න කියන්නෙ. මම ගාමිණීට අන්තිමට ගෙනත් දුන්න පොත තමයි මාලන් බ්‍රුන්ඩෝගේ පොත. මම රටකට ගිහින් එද්දි එයාර්පෝට් එකේ ඉඳන් එහෙමම එයාගේ ගෙදර යනවා ගෙනාව පොත දීලා එන්න. මොන විෂයක් ගැන කතා කළත් ගාමිණීට පුදුම දැනුමක් තිබුණා. දේශපාලනය කතා කළත් සිංහල සාහිත්‍ය ගැන කතා කළත් ඒ දැනුම හරි නිවැරදියි. ඒ වගේම ගාමිණීට හොඳ මතකයක් වගේම අනික් කෙනා ගැන එයා හරිම සැලකිලිමත්. දවසක් අපි කෑමකට ගිය වෙලාවක ගාමිණී කියනවා එයාගේ මෙහෙකරුට මට රතු ලූනු ගෙනත් දෙන්න කියලා. ඊට කාලෙකට ඉස්සර මම කන්න ගිහින් රතු ලූනු ඉල්ලුවා. මම රතු ලූනුවලට ආසයි කියන මතකය ඊට පසු අපි හමුවූ වෙලාවෙත් එයාගේ මතකයේ තිබුණා. ඇත්තටම හුඟාක් අය හිතනවා ගාමිණී හරි ආඩම්බරකාරයෙක් කියලා. එයා එහෙම ආඩම්බරකාරයෙක් නෙවෙයි. හරි ලැජ්ජාශීලී කෙනෙක්.

රුක්මණී දේවිය මවකගේ චරිතය නිරූපණය කළේ පළමු වරට නිම් වළල්ල චිත්‍රපටයේ ඔබගේ මව ලෙස රඟපාමින්. රුක්මණී දේවිය ගැන ඔබේ සුන්දරම මතකයන් තියෙනවද?

එයා හරිම හොඳ සුහදශීලී කෙනෙක්. හරි හෙමින් කතා කරන්නේ. නිම් වළල්ල චිත්‍රපටය කරද්දි එයා මා එක්ක හුඟාක් යාළු වුණා. ඒ කාලේ එඩී ජයමාන්නත් මට හම්බවුණා. මම විදේශගතව ඉඳලා 1978 ලංකාවට එද්දි අරන් ආවා ඩේසි අක්කට 'ෆර්ෆියුම්' එකයි එඩී අයියාට 'ආෆ්ටර්ෂේව්' එකකුයි. ඩේසි අක්කට මම ඒක දුන්නේ බී.එම්.අයි.සී.එච්. එකේ මොකක් හරි වැඩසටහනකට ගිය වෙලාවේ. මම කීවා මට මතක් වෙලා ගෙනාවේ... මේක ඔයාටයි එඩී අයියාටයි කියලා. ඊට පසු අපි ආය හම්බවුණේ නෑ. හැබැයි දුරකථනයෙන් කතා කරද්දි මම කීවා ඩේසි අක්කා ඔයා 'ෂෝ' එකක් කරන්න ඕනෑ නේද කියලා, ඔව් ඔව් දැන් සංවිධානය කරගෙන යනවා කියලා කිව්වා. එයා ඉංග්‍රීසියෙන් ඔක්කොම වචන ලියාගෙන සිංහල සින්දු කිව්වෙ. ඒ කටහඬේ තිබුණේ ගෑනු පිරිමි මිශ්‍රණයක්. එහෙම කටහඬක් මෙතෙක් ඇවිත් නෑ. විලාපයක් වගේ අමුතු කටහඬක්. මම හරි ආසයි ඒ කටහඬට. මම අවුරුදු 17 – 18 කාලේ යනවා ගුවන්විදුලියට. මම ගියේ ළමා පිටියේ සින්දු කියන්න. ගිහින් ඉද්දි එහෙට එන සමහර ගායක ගායිකාවන් මා එක්ක හරි යාළුයි. දවසක් ඩේසි අක්කා ආවා මිල්ටන් පෙරේරා එක්ක සින්දුවක් කියන්න. ඒක පටිගත කරද්දි මට ඇතුළට යන්න අවසර දුන්නා. කොච්චර අලුත් සින්දු ඇහුවත් ඒ අතරේ හොඳ ගීත ඇහුණත් එදා ඒ අහපු ගීතවල තිබුණු රසය නම් අද ඇහෙන්නෙ නෑ. 

නිළියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ ටික කලකින් ඇයි ඔබ විදෙස්ගත වුණේ?

ඔව්.. විදෙස්ගතව අවුරුදු හතක් හිටියා. මම එංගලන්තයේ අවුරුදු පහක් විතර, ඔස්ට්‍රේලියාවේ අවුරුදු දෙකක් විතර, සත් සමුදුර, හත්නානේ කතාව, මාතරආච්චි, අහස් ගව්ව, තුන්මං හන්දිය, ඒ වගේ චිත්‍රපට කිහිපයක් කළාට පසුව ලංකාවෙන් ගියා. 

එච්චර ආත්මීය ආලයක් සිනමාවට තිබුණු ඔබ ඒ සියල්ල අතහැර ලංකාවෙන් යන්න හිත හදාගත්තෙ කොහොමද?

මට ඒ කාලේ ලොකු ඉල්ලුමක් තිබුණේ නෑ. මම හරි කෙට්ටුයි ඒ කාලේ. ඉල්ලුම තිබුණේ ඒ වගේ ඇඟකට නෙවෙයි. අනුලා කරුණාතිලක, සුමනා අමරසිංහ, සන්ධ්‍යා කුමාරි, විජිතා මල්ලිකා වැනි අයට, මාලනී ෆොන්සේකාත් ඒ සිනමාවට ආව මුල් කාලය ඇයටත් මට වඩා ඉල්ලුමක් තිබුණා. ඒ කාලේ අධ්‍යක්ෂවරු චිත්‍රපටවලට ගත්තේ දකුණු ඉන්දීය නිළියන්ගේ රූපයට සමාන මුහුණක් ඇඟක් රූපයක් තිබුණු අය. අර කවිවල තිබුණා වගේ ඉඟ සුඟ ගත හැකි මිටින වගේ, උකුල පළල් එහෙම නිළියන්. මට එහෙම ඉල්ලුමක් තිබුණේ නෑ. මාව කලින් කරපු චිත්‍රපට ටිකට ගත්තෙත් දැන හැඳුනුම්කම් නිසා. තුන්මං හන්දියට ගත්තේ මහගම සේකර. මා එක්ක හරි යාළුයි. හන්තානේ කතාවට ගත්තේ පත්තරේ ගිය මගේ පින්තූරයක් දැකලා. එයාට ඕනෑ වෙලා තිබුණේ කෙට්ටු නිළියක්. මම ඒ කාලේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බලලා නෑ. ඒ කාලේ ගෑනු අය තනියෙන් චිත්‍රපටයක් බලන්න යන්නෙ නෑ. නිෂ්පාදකවරයෙක්ගේ බිරිඳත් එක්ක ගිහින් ඒ ඉංග්‍රීසි චිත්‍රපටය බැලුවා ලිබර්ටි එකේදි. මොකද හන්තානේ කතාවට ඕනෑ වුණේ ඉංග්‍රීසි චිත්‍රපටවල ඉන්නවා වගේ කෙට්ටු නිළියක්. ඒ රඟපෑම් බලන්න ඕනෑ නිසා ඒ චිත්‍රපටය බැලුවේ. ධර්මසේන පතිරාජ අහස් ගව්වට මාව ගත්තෙත් අපි හොඳ යාළුවො නිසා. මාතරආච්චි චිත්‍රපටයට සතිස්චන්ද්‍ර මාව ගත්තෙත් දවසක් අපි කට්ටිය බස් එකක ගිහින් ඇතිවෙච්ච යාළුකමට... ඇත්තටම සත් සමුදුරෙන් පසු ඉල්ලුමකින් නෙවෙයි ඒ චිත්‍රපට ලැබුණේ. ඒ නිසා මම විදෙස්ගත වුණා.

නැවත ලංකාවට ආව පසු ඔබ යළි සිනමාවට එනවා. ඉන්පසු ඔබ ලාංකික සිනමාවට නැතුවම බැරි නිළියක් වුණා නේද?

ලංකාවට ආ පසු මගේ පෙනුමට චිත්‍රපට අධ්‍යක්ෂවරු කැමති වුණා. ලංකාවට ඇවිත් මම උප ප්‍රධාන චරිත කිහිපයක්ම රඟපෑවා. මම උප ප්‍රධාන චරිත බාරගත්තේ මට ඕනෑ වුණා අධ්‍යක්ෂවරුන්ට මාව දකින්න සලස්වන්න.

ඔබ ලංකාවට පැමිණි පසු ප්‍රධාන චරිතයක් රඟපෑවේ හංස විලක් චිත්‍රපටයේ නේද?

හංස විලක් චිත්‍රපටයට ආරාධනා කරද්දි මම ධර්මසිරි බණ්ඩාරනායකට බෑ කීවා. මම හිතුවා මාව ගොඩනැගෙද්දි කළු චරිතයක් රඟපෑවොත් මාව ප්‍රතික්ෂේප වෙයි කියලා. ධර්මසිරි කීවා.. නෑ ඔයා මේක කරලා බලන්න. මම කළුයි සුදුයි කියලා චිත්‍රපට හදන්නෙ නෑ කියලා. ඊට පසු මම කළා. ඇත්තටම එය ඉතා සාර්ථක වුණා. මුහුදු ළිහිණි, මායා, සාගර ජලය, දඩයම, සුද්දිලාගේ කතාව... මේ ආදී චිත්‍රපට එක දිගට මට ඉන්පසු කාලයකදි ගලාගෙන ආවා. අනන්ත රාත්‍රිය, චන්න කින්නරී, භව දුක, භව කර්ම, කැඩපතක ඡායා ආදී චිත්‍රපට ඉන්පසු එක දිගටම මට ලැබුණු චිත්‍රපට. ඇත්තටම ඉන්පසුත් තව හුඟාක් චිත්‍රපටවල මම රඟපෑවා.

අනන්ත රාත්‍රිය 1996 ජපානයේ පැවති ෆුකෝකා අන්තර්ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කළා. අනන්ත රාත්‍රිය නැරඹූ ලෝක පූජිත සිනමා විචාරක ඩොනල්ඩ් රීච් ස්වර්ණාගේ රඟපෑම් ගැන කතා කළේ ප්‍රශංසනාත්මකවයි?

එදා ඒ සම්මාන උළෙලෙන් පසු රෑ සාදයක් තිබුණා. ඩොනල්ඩ් රීච් අපට කතා කළේත් මොකුත් නෑ.. ගියා. පසුවදා උදේ හෝටලයේ මගේ නමට ඩොනල්ඩ් රීච් ලියුමක් තබා ගොස් තිබුණා. Like your extra ordinary performance කියලා ඔහු ලියලා තිබුණා. එදා රැයෙන් කාලයකට පසු මම චිත්‍රපට උළෙලක විනිශ්චය මණ්ඩලයේ ඉද්දි ඔහු හමුවුණා.

රඟපෑම කියන්නෙ සුවිශේෂ විදිහට චරිතයේ ආත්මය ප්‍රකාශ කිරීමයි. ඔබ ලාංකික සිනමාවේ ගැහැනිය යන සම්භාවනාවට පාත්‍ර වුණේ හැම චරිතයක් එක්කම ඒ තරම් ආත්මීය ආලයකින් හුස්මක් ගත්ත නිසා කියලා මට හිතෙනවා?

මම හුඟාක් චිත්‍රපට බලලා ස්වයං හැදෑරීමක් කරන කෙනෙක්. අදටත් ඒක එහෙමයි. චිත්‍රපට රංගනය උගන්වන්න බෑ. වේදිකාවෙ රංගනය යම් යම් දේවල් උගන්වන්න පුළුවන්. ඒත් සිනමාව කියන්නෙ ඊට එහා ගිය හුඟාක් ගැඹුරු, සියුම් සෞන්දර්යාත්මක මාධ්‍යයක්.

චිත්‍රපට රංගනය කියන එක, භාව ප්‍රකාශනය ආත්මීයව එන්න ඕනෙ දෙයක්. රංගනය කියන දෙය ඍජුවම ඒ මොහොතේ ආධ්‍යාත්මිකව මනසත් එක්ක සම්බන්ධයි. මනසේ හැඟීම් මනස තුළ ගොඩනගන චරිතය තමයි භෞතිකව භාව ප්‍රකාශන ඔස්සේ එළි දක්වන්නෙ. ආත්මයෙන්ම චරිතයට කිඳා බැහැලා චරිතය එක්ක හුස්ම ගන්න හැමෝටම බැහැ. ඇත්තටම කැමරාව ඉදිරියේ දෙබස් කියන එක නෙවෙයි රංගනය කියන්නෙ. එය ඉතා ගැඹුරු, සියුම් ආත්මීය ප්‍රකාශනයක් වගේම රිද්මයත් ශක්තියත් ප්‍රකම්පනයත් එක් වූ තැනක්.

ඔබට තියෙන්නෙ රංගනය සම්බන්ධයෙන් කවර ප්‍රමිතියක් හරහා එළඹි ප්‍රතිපත්තියක්ද? හොඳ තිර රචනයක්, හොඳ අධ්‍යක්ෂකවරයෙක් නොලැබුණොත් රඟපාන්නෙ නෑ කියන ප්‍රමිතිය තුළ මම හිතන්නෙ ඔබ වඩාත් ආකර්ෂණීය අනන්‍යතාවයක් නිර්මාණය කරගත් නිළියක්?

සමහර චිත්‍රපට අධ්‍යක්ෂවරු චිත්‍රපටය තිර පිටපත ලියන්න ඉස්සර මාත් එක්ක කතා කරලා තියෙනවා. අනන්ත රාත්‍රිය කරන්න ඉස්සර ඒ අධ්‍යක්ෂවරයා මා එක්ක පැය ගණන් කතා කළා. රූප රාමුවෙන් රාමුවට විස්තර කළා. මම හුඟක් කරලා තියෙන්නේ දරිද්‍රතාවයෙන් මිරිකෙන ගැහැනුන්ගේ චරිත. දඩඉමේ චරිතයට මම හුඟාක් ආසයි. ඒ චරිතය වෙනස්. ඇත්තටම එකිනෙකට වෙනස් චරිත රඟපාන්න මම හරිම ආසයි. පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරා අධ්‍යක්ෂණය කළ දඩඉම චිත්‍රපටයේ රෝහිණී තුළින් මා දකින්නේ ප්‍රේමණීය මෙන්ම රළු විය යුතු තැන රළු වෙන, මෘදු විය යුතු තැන මෘදු වෙන අභිමානවත් පෞරුෂයක් සහිත ආකර්ෂණීය ගැහැනියක්.

ඔව් ඇය තමන්ගේම කරගත්, ඒත් තමන්ගේ නොවන පුතාට දක්වන ආදරය විස්මිතයි. ඒ ආදරණීය ගැහැනිය තමන්ගේ සහෝදරියගේ ජීවිතය විනාශ කළ පිරිමියා තවමත් ජීවතුන් අතර බව දැනගත් විට ඇගේ හැසිරීම ඊට ඉඳුරාම වෙනස්. ඈ එතනදි අරගල කරන්නෙත් තමන්ගේ පුතා වෙනුවෙන්. ස්ත්‍රීත්වයේ සෞන්දර්යාත්මක ප්‍රේමණීය හැඩතල සේම ශක්තිය, අරගලකාරී දැඩි බව සියල්ල රෝහිණී තුළින් විද්‍යමාන වෙන හැටි ඇත්තටම හරි අපූරුයි. මම ඒ චරිතයට හරි ආදරෙයි. දඩයම චිත්‍රපටයේ ප්‍රියංකර ජයනාත්ගේ චරිතය ගැන කතා කරද්දි රවීන්ද්‍ර අහනවා මීට වඩා අපරාධකාරයෙක් ඉන්නවාද කියලා. රත්මලීට එදා දඩයම තුළ ඉටු නොවුණු සාධාරණය දඩඉම තුළ ඉටු කරනවා. පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරා දැවුණු රත්මලීගේ ආත්මයට සැනසිල්ලක් දඩඉමේ රෝහිණීගේ ප්‍රේමණීය අරගලය ඔස්සේ ගෙන එනවා.

සිනමාව තුළින් ස්වර්ණා මල්ලවආරච්චි, ලාංකික සිනමාවේ ගැහැනිය ඉදිරියේදිත් හමුවීම මගේ පැතුමයි. ලාංකික සිනමා ප්‍රේක්ෂකාගාරයේ පැතුමයි?

පීඩිත ගැහැනිය සමඟම සිනමාවේදී හුස්ම ගත්ත මට ඉන් එහා විවිධ චරිත ඔස්සේ රංගනයේ යෙදෙන්න ආසයි. දඩඉමේ රෝහිණී වැනි විවිධ චරිතත් එක්ක රංගනය තුළ හුස්මක් ගන්න ලැබුණොත් ඔව් මම කැමතියි.

♦ සංජීවිකා
සේයරූ I දයාන් විතාරණ