2023 අප්‍රේල් 30 වන ඉරිදා

මළහිරු බසිනා ගීතය මගේ ජීවිතය වෙනස් කළා... - ක්‍රිශාන්ත එරන්දක

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 54

අද වනවිට නිතර ඇහෙන ගීත අති විශාල සංඛ්‍යාවක් අතරේ අප සොයා ගොස් අහන ගීත ගණනාවක හිමිකරුවෙකු සමඟයි අප හදසර ''My Story'' අපේ කතාබහ. ඔහුව මෙරට ගීත ලෝකයට හිමිවන්නේ නුවර කලාවියෙන්ය. අනුරාධපුර තුන්වැනි පියවර යනු ඔහු උපන් ගම නොව හැදී වැඩී උස් මහත්වූ ප්‍රදේශයයි. ඔහු උපන්නේ යටියන්තොටය. මව පද්මා මාලනී වූ අතර පියා ඒ.ජී. සුමනසිරි නම් විය. නැගණියන් දෙදෙනකුගේ අයියා ඔහුය. වත්සලා වින්ද්‍යානි හා සුලානි උපේන්ද්‍රා නැගණියන් දෙදෙනාගේ වැඩිමල් සොයුරා වූ ඔහු ක්‍රිශාන්ත එරන්දක නමින් අප කවුරුත් ආදරය කරන හඬක් හිමි කලා ශිල්පියාය.

''මගේ ආදරණීය අම්මා තමයි මගේ ගායන හැකියාව දැන සිටියේ. ඇය තමයි මාව රජරට සේවයට කැඳවාගෙන ගියේ. මම එතරම් කැමති වුණෙත් නැහැ. නමුත් අම්මා මාව ඉදිරියට ගෙන ගියා. මම ශාන්ත ජෝශප් මහා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදී තමයි ප්‍රථම සමස්ත ලංකා සහතිකය ලැබුණේ. පද්‍ය ගායනා තරගයකින්. එතකොට නම් මම ත්‍රිකුණාමලයේ පාසල් ගියේ. පසුව තමයි ශාන්ත ජෝශප් විද්‍යාලයට ආවේ. තමරා මිස් සහ කරුණා අතුකෝරල මිස් ඇතුළු මගේ ගුරුවරුන් මට නිවැරදි මඟ පෙන්වූවා. පාසලේ තිබුණ සියලුම සංගීත වැඩවල මම හිටියා. පාසල් ගීතය, ජාතික ගීය ගැයුවා. තූර්යවාදක කණ්ඩායම නියෝජනය කළා. දිස්ත්‍රික් මට්ටමින් වගේම සමස්ත ලංකා තරගවලදීත් මට පාසල නියෝජනය කරමින් ඒ තරගවලට එක්වුණා. ඒ කාලය අදටත් සිහි කරන්නෙ හරිම ආදරයකින්. පාසල් යද්දිම තමයි මා රජරට සේවයේ කටහඬ පරීක්ෂණයට සහභාගි වුණේ. 1979, 1980 කාලයේදී. ළමයින් තුන්දහසක් පමණ අයදුම් කර තිබුණා. එයින් විසිහත් දෙනෙකු තමයි තෝරා ගත්තේ. මාවත් තේරුණා. මා සමඟ තේරුණ අනිත් අය අතරේ හිටියා නාලක අංජන කුමාර ඇතුළු පිරිසක්. ඒ අත්දැකීම අපිට ඉතාම නැවුම් සුන්දර අත්දැකීමක් වුණා. අපි 27 දෙනාව හයදෙනා බැගින් සෑම ඉරිදාවකම රජරට සේවයට කැඳෙව්වා. අලුත්ම ගීත පටිගත කළා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ, සේන නානායක්කාර ඇතුළු සැමගේ විශිෂ්ඨ වැඩක්. අදටත් රජරට සේවයේ ප්‍රචාරය වන ළමා ගීත විසිපහක් පමණ තියෙනවා මා ගැයූ ඒවා. පාසල් වියේදීම යම්කිසි ජනප්‍රියත්වයක් මට ලබන්න පුළුවන් වුණා.''

ක්‍රිශාන්ත තම අතීතය සිහිපත් කරමින් පවසයි. මවත් පියාත් දෙදෙනාම රුකියා කළ නිසාම නැගණියන් දෙදෙනාවද පාසල නිමවූ පසු නිවසට රුගෙන ඒමේ වගකීමද ඔහු ඉටු කළේය.

''නංගිලා දෙන්නා මට වඩා වසර හතකින්, හයකින් බාලයි. ඉතින් ඉස්කෝලේ ඇරිලා ඒ දෙන්නාවත් එක්කරගෙන තමයි මම ඉස්කෝලෙන් එන්නේ. චූටි නංගී සමහර දවස්වල නිදි. එතකොට එයාව වඩාගෙන තමයි බස් එකෙන් බැහැලා ගෙදර යන්න වුණේ. මාත් පාසල් නිල ඇඳුමින්ම. ගෙදර ඇවිත් අම්මයි, තාත්තයි එනකල් අපි තුන්දෙනා අපිවම බලාගෙන පාසලේ වැඩත් කරගෙන ඉන්නවා. හවසට ක්‍රිකට් සෙල්ලම් කරන්නත් යන්න අමතක කරන්නෙ නෑ. ඒක තමයි ඉතින් සතුට. ඒ කාලේ සමහරදාට වැවට යනවා. යාළුවො කට්ටියම එකතු වෙලා සෙල්ලම් ඉවරවෙලා ගෙදරට එන්නෙ තාත්තා වැඩ ඇරිලා එද්දි. වීර, පලු ගස් ගොඩයි. අපි වීර කන්න ගත්තම දත්වල කහට බැඳෙනකල් කනවා. අපේ බරට පලු, වීර කාලා ඇති. වැවට මේ පැත්තෙන් බැහැලා එහා පැත්තෙන් වැවෙන් එළියට එන්නේ. 

පුදුම සුන්දර කාලයක්. ඉස්කෝලේ හතර වසරේ ඉඳන් හිටිය යාළුවො අදටත් යාළුවොමයි. පසුකාලෙක මං කොළඹ පදිංචියට ආවට පස්සෙවත් ඒ සම්බන්ධතාවයේ වෙනසක් වුණේ නැහැ. මම සාමාන්‍ය පෙළ කළේ ^88 ^89 කාලයේ. කලබල කාලේ. තාත්තා මාව බාප්පා ළඟට එව්වා. ඒ ඇවිත් මම පරිගණක පාඨමාලාවක් හැදෑරුවා. ආයේ ගමට ගිහින් උසස් පෙළට මුහුණ දුන්නා. ජීව විද්‍යා අංශයෙන්. එක් වතාවයි විභාගය කළේ.''

විභාගයෙන් පසුව ක්‍රිශාන්ත තම මාමා කෙනෙකුගේ ව්‍යාපාර කටයුතු සමඟ එක්විය.

''මම මාමගේ කඩේ කැෂියර් එකේ හිටියේ. ඔය කාලේ බිරිඳත් එයාගේ අක්කාගේ කඩේ කැෂියර් එකේ හිටියා. එතකොට තමයි අපේ හිතවත්කම ඇතිවුණේ. ඔහොම ඉන්න අතරේ මට හිතුණා ආයෙම සංගීත පුහුණුවීම් කරන්න. කරුණාරත්න විජේවර්ධන එතකොට යොවුන් නිකේතනයේ පන්ති කරනවා. මාත් එතැනට ගියා. 1996දී මම ''තුරවිසර'' නම් වූ මගේ ප්‍රසංගය සංවිධානය කළා. යුග ගායනා සඳහා මාලනී බුලත්සිංහල මහත්මියව සම්බන්ධ කරගන්න ඉල්ලීමක් කරන්න කරුයි, (කරුණාරත්න විජේවර්ධන) මායි කොළඹ ආවා. මාලනී මිස්ට අපේ ඉල්ලීම යොමුකළාම මට මුලින්ම කිව්වා ගීතයක් ගායනා කරන්න කියලා. මම ගායනා කළේ ''මළ හිරු බසිනා'' ගීතය. ගීතය කොටසක් ගායනා කළාම එතුමිය සර්පිනාව වාදනය කරන්න පටන් ගත්තා. මට සම්පූර්ණ ගීතයම ගායනා කරන්න කිව්වා. සියල්ල අසා ඉඳලා අවසානෙට කිව්වා ජයේ (එච්.එම්. ජයවර්ධනයන්) එහා පැත්තේ ඉන්නවා කියන්න කියලා. එතැනයි ආරම්භය. මා කිසිදු ගීතයක් පටිගත නොකරලවත් නැති යුගයක එතුමිය කළ ඒ කැපකිරීම මා අදටත් කෘතවේදීව සිහි කරන්නේ.

ඒ ප්‍රසංගයේ මා අලුත්ම යුග ගී දෙකක් ගැයුවා. ඉන් එකක් තමයි ''මගෙ ආදර පවසට ඔබ...'' ගීතය. ඒ 1996දී. රෑපවාහිනියේ පැහැසර වැඩසටහනට ඒ යුග ගීතය පටිගත කළා. එරීන් ජයසේකර මහත්මිය ඒ වෙලාවේ ලොකු අවදානමක් ගත්තේ. මොකද මා එවිට ඉතා ආධුනිකයෙක්. ඒ ගීතය අතිශයින් ජනප්‍රිය වුණා. මහින්ද දිසානායක තමයි මගේ සිංහල ගුරුවරයා. සර් දවසක් මට හමුවුණා. ගීතයක් ලියලා දුන්නා. දීලා මට කිව්වා රඹුකන සිද්ධාර්ථ හිමියන් හමුවෙන්න කියලා. මම කෝච්චියේ නැගලා සිද්ධාර්ථ හාමුදුරුවන් හමුවෙන්න ආවා. ඒ ආ ගමන තමයි මේ. අදටත් අපේ ජීවිතවලට විශාල ආලෝකයක් උන්වහන්සේ.''

වසර ගණනාවක් ගීත ගායනයේ යෙදෙමින් තම රසිකයින් වෙත සොඳුරු ගී නිර්මාණ තිළිණ කරන ක්‍රිශාන්ත එරන්දක මේ වනවිට දෙදරු පියෙකි. කවිෂිකා ගීවින්දි, කවිත්මා ගීමාලි දියණියන් දෙදෙනා ආදරණීය බිරිඳ ඉනෝකා සහ ක්‍රිශාන්තගේ කැදැල්ල ආදරයෙන් පුරවයි. මේ ජීවන ගමන්මඟ තුළ හමුවූ කරුණාවන්ත පරිත්‍යාගශීලී සොඳුරු මිනිසුන්ට හදවතින්ම ස්තූතිවන්ත වෙන බවයි ක්‍රිශාන්ත එරන්දක සෙනෙහසින් පවසන්නේ. අර්ථවත් රසවත් නිර්මාණ තව තවත් තම රසිකයින් වෙත තිළිණ කරන්නට හැකිවේවායි හදසර අපද ඔහුට සුබ පැතුම් එක්කරමු.

I මොනිකා සේරසිංහ