2023 අප්‍රේල් 23 වන ඉරිදා

විජය සේතුපතිට මරණ තර්ජන අරන් ආව 800 කරළියට

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 91

ලෝකයේ මෙතෙක් බිහිවූ සුපිරිතම දඟපන්දු යවන්නා අපේ මුත්තයියා මුරලිදරන්ය. ඒ පිළිබඳ කිසිම සැකයක් නෑ. අදටත් ඔහුගේ වාර්තාව සමකරන්න පුළුවන් කෙනෙක් පෙනෙන තෙක් මානෙක නෑ. ටෙස්ට් කඩුළු 800ක් ඔහු නමින් ලියැවිලා තියෙනවා. එක්දින එක්දින කඩුලු 534ක් හා විස්සයි විස්ස කඩුලු 13ක් දවාගත්ත මුරලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දවාගෙන ඇති මුළු කඩුළු සංඛ්‍යාව 1,247 ක්.

ඇත්තටම ඔහුගේ ජීවිත කතාව සිනමාපටයකට නැගීමට තරම් අපූරු එකක්. මීට කාලෙකට කලින් ඒ පිළිබඳ ඒ පිළිබඳ කතිකාවක් නිර්මාණය වුණා අපිට මතකයි. ඒත් එක්තරා කනගාටුදායක සිදුවීම් පෙළක් සමඟින් ඒ කතාව යටපත් වුණා. ඔන්න දැන් නැවතත් මුරලිගේ චිත්‍රපට පිළිබඳ සංවාදය කරළියට ඇවිල්ලා. ඒකට හේතුව මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සහිත සිනමා පටයේ නිල මෝෂන් පෝස්ටරය අප්‍රියෙල් 17 වැනිදා නිකුත් වීම.

අපේ මුරලිගේ උපන් දිනයට සමගාමීව තමා සෝනි මියුසික් සවුත්හි නිල ට්විටර් ගිණුම හරහා මේ පෝස්ටරය නිකුත් කළේ. මෙම සිනමා සිත්තම නම් කරලා තියෙන්නේ Eight Hundred ''800'' කියලා. මුරලිගේ ටෙස්ට් කඩුළු අටසීයේ වාර්තාව තමා ඒකට හේතුව. මේ සිනමා පටයට ලබාදීලා තියෙන්නෙත් බොහොම අපූරු තේමාවක්. ''The untold story of a legend who spun his way to the top.'' මේ තේමාව යටතේ තමා ''800'' සිනමාපටය නිකුත් වෙන්න යන්නෙ.

මේක ඉන්දීය කොලිවුඩ් චිත්‍රපටයක්.  Eight Hundred චිත්‍රපටය අධ්‍යක්ෂණ කරන්නේ එම්.එස් ශ්‍රීපති විසින්ය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා මුත්තයියා මුරලිදරන් ලෙස මධුරර් මිට්ටල් (Madhurr Mittal) රංගන දායකත්වය සපයනවා.  ඔබට මතක ඇතිනම් ''ස්ලිම්ඩෝග් මිලියනර්'' චිත්‍රපටයේ සලීම් මලික් චරිතය, ඉන්දියාවේ සහ ලෝකයේ අතිශය ජනප්‍රියත්වට පත්වුණු එම චරිතයට පණපෙව්වේ මධුරර් මිට්ටල් කියන රංගන ශිල්පියා. මෙම සිනමා සිත්තමේ සංගීත නිර්මාණ කටයුතු කරන්නෙත්  ඉන්දීය සිනමා සංගීතයේ  බොහොම ජනප්‍රිය චරිතයක් වන ජිබ්‍රාන් (Ghibran) විසින්.

දැනට දැනගන්න ලැබෙන විදියට මේ චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් නිපදවන්නේ. ඒත් නිෂ්පාදකයින් මේ වනකොටත් සැලසුම් කරලා තියෙනවා මේ ඓතිහාසික සිනමා පටය දෙමළ, තෙළිඟු සහ හින්දි යන භාෂාවලින් සිනමා ශාලාවල නිකුත් කරන්න. කොහොම 2023 නොවැම්බර් මාසයේදී තමා Eight Hundred ''800'' අපිට දැක බලා ගන්න ලැබෙන්නෙ. ඉන්දියාවට අමතරව එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවලිනුත් මේ සිනමා පටයට විශාල ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

කොහොම වුණත් අපි මුලින් කිව්ව විදියට මේ සිනමාපටය රූගත කිරීම් ආරම්භ වෙන්න නියමිත වෙලා තිබුණේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ. නමුත් මතභේදාත්මක සිදුවීම් පෙළක් නිසා මෙම නිර්මාණයේ කටයුතු ඇනහිටියා. මේ සිනමාපටය සඳහා මුලින්ම රංගන දායකත්වය සපයන්න සූදානමින් සිටියේ කොලිවුඩයේ සුපිරි නළු විජය සේතුපති. ඇත්තටම දැන් නිකුත් කරලා තියෙනවා වගේ පෝස්ටරයක් පවා 2020 වසරේදී නිකුත් වුණා. නමුත් ඒ දෙමළ ජාතිකවාදීන්ගේ සහ තමිල්නාඩුවේ සිනමා පෞරුෂයන්ගෙ වගේම තමිල්නාඩු දේශපාලනඥයින් කොටසකගේත් දැඩි විරෝධක් සේදුපතිට එල්ල වුණා.

විරුද්ධවාදීන් කියා සිටියේ මුරලිදරන් එල්ටීටීඊය සමඟ පැවති සිවිල් යුද්ධයේදී ලංකාණ්ඩුව පැත්ත ගනිමින් දෙමළ ජනයාට සහාය නොදැක්වූ බවයි. මේක නිකම්ම නිකම් විරෝධතාවයක් වුණේ නෑ. ඇත්තටම ඒ විරෝධය කොච්චර භයානක වුණාද කියනවා නම්, මරණ තර්ජන වගේ බරපතළ අනතුරු ඇඟවීම් දක්වා කතාව දුරදිග ගියා. සමහරු ඔහුගේ දියණිය අපයෝජනය කරන බවට පවා තර්ජනය කරලා තිබුණා. ඒ වගේම විජේ සේතුපති මුරලි ලෙස මේ සිනිමා පටයේ රඟපාන්නට ගියහොත් ඔහුගේ දේපළ ගිනිබත් කරන බවට දෙමළ ජාතිකවාදීන් ප්‍රසිද්ධියේ අනතුරු ඇඟෙව්වා.

අපේ මුරලි අවස්ථා කිහිපයකදීම තමන්ගේ නිර්දෝෂී බව පැහැදිලි කරන්න උත්සාහ කරා. මුරලි කිව්වා අහිංසක දෙමළ ජනතාව ඝාතනය කිරීම හෝ පීඩාවට පත් කිරීම කෙරෙහි තමා කිසි විටෙකත් එකඟ නොවන බව. කොහොම නමුත් ජාතිකවාදී පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී හිටපු පිරිස මුරලිට ඇහුම්කන් දුන්නේ නෑ. ශ්‍රී ලාංකික ජාතික සමගිය කෙරෙහි සන්නාමයක් බවට පත්වූ මුත්තයියා මුරලිදරන් ප්‍රතිරෑපයට ඇත්තටම ඔවුන් බයවෙලා හිටියේ.

තත්ත්වය නරක අතට හැරෙද්දී අවසානයේ මුරලි, විජය සේතුපතිට ලිපියක් පවා ලිව්වා. සේදුපතිට ''800'' රංගනයෙන් ඉවත්වෙන්න කියලා මුරලි ඒ ලිපියෙන් ඉල්ලීමක් කරලා. තම ජීවිත කතාව අළලා නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ රඟපෑම සම්බන්ධයෙන් තමිල්නාඩු ජනතාවගෙන් එල්ල වී ඇති විරෝධය හේතුවෙන් මෙම ඉල්ලීම කරන බවත්, මේ මගින් විශිෂ්ට කලාකරුවකු වන විජේ සේදුපතිගේ අනාගතය විනාශ කිරීමට බලාපොරොත්තු නොවන බවත්, මුරලි එහි ලියලා තිබුණා.

නිහතමානී මිනිසෙක් වුණු අපේ මුරලි ට්විටර් පණිවිඩයක් පවා තබමින් මේ ඉල්ලීම ප්‍රසිද්ධියේම විජය සේතුපතිගෙන් කළා. සේතුපතිත් ඊට ස්තුතිය පලකළා. අවසානයේ ඔහු මෙම නිර්මාණයෙන් ඉවත් වීමේ තීරණය ගත්තා. ඇත්තටම සේතුපතිගේ සිනමා ජීවිතය අවදානමට ලක් වෙලා තිබුණේ. ඒ නිසාමයි ඔහු ඒ තීරණය අරගත්තේ. ඒ අනුව ''800'' සිනමා පටයේ රෑගත කිරීම් 2020 උපස්තරය අතරමගදී නතර වුණා.

අවසානයේ ජනප්‍රිය නළු මධුරර් මිට්ටල් (Madhurr Mittal) මේ අභියෝගය බාරගත්තා. මට්ටල් ඉන්දියාවේ ආග්‍රාහී උපත ලැබූ තිස් දෙහැවිරිදි සම්මානනීය නළුවෙක්. 2008 විකාශය රෑපවාහිනී කතා මාලාවක් හරහා තමා ඔහු ඉන්දියාවේ ජනප්‍රිය වුණේ. කොහොම හරි මුරලි ලෙස රඟපාන තමන්ගේ රුව රුගත් සිනමාපටයේ පෝස්ටරය instragram වෙත මුදාහැරීමට පවා මධුරර් මට්ටල් පහුගියදා කටයුතු කරලා තිබුණා. ඔහු එහි සටහනක් තබමින් කියා තිබුණේ මුරලිදරන් ලෙස රඟපෑමට ලැබීම තමන්ට ගෞරවයක් බව. 

මේත් එක්කම අපි හැමෝගෙම තව තවත් කිසි වෙන්න ගිය බව කියන්න ඕනෑ. ඒ කොහොම නමුත් තාමත් මේ චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳ සැලකිය යුතු තරම් අනාවරණයක් සිද්ධවෙලා නෑ. කොලිවුඩයේ ආරංචි අනුව මුරලි ලබාගත් සන්ධිස්ථානය කඩුලු කිහිපයක් මේ සිනමාපටය තුළ නිරෑපණය කෙරෙන බවත් කියවෙනවා. ඉතින් අපිට බලාගෙන ඉන්න වෙනවා නොවැම්බර් මාසේ වෙනකම් මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න. මොන දේ කොහොම සිද්ධ වුණත් මේ සිනමාපටය රටක් ලෙස අපි හැමෝම ආඩම්බරයට පත් කරාවි.

I නිසල්