2017 ජුනි 03 වන සෙනසුරාදා

දැහැන

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

ලංකාවේ දේශපාලනඥයන් සියයට අනූනවයකට අදාළ පොදු ලකෂණ මොනවද කියලා කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් බයක් සැකක් නැතුව කටඇරලා කියන්න පුළුවන් පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමා හොරකම. ඒ හොරකමේ වපසරිය කොච්චරද කීවොත් ලෝකේ වැඩිපුරම සහ විවිධ ක්‍රම වැඩිම ගණනක් ඔස්සේ හොරකම් කරන අය ඉන්න කේෂ්ත්‍රය තේරුවොත් ආය දෙකක් නෑ ලෝකෙන් එක වෙන්ට ලංකාවේ දේශපාලනඥයන්ට පුළුවන්.

සීයට අනූනවයක් ලාංකික දේශපාලනඥයන් එහෙමයි. අනිත් එක තමා බොරුකීමට දක්වන සුවිශේෂී හැකියාව. ලංකාවේ දේශපාලනඥයන් තරම් බොරු පොරොන්දු දෙන සූර පප්පලා ලෝකෙ ආයෙ කොහෙද ඉන්නෙ? අනිත් එක තමා රංගනයට දක්වන උපන් හපන් සමත්කම. ලංකාවේ දේශපාලනඥයන් තරම් mood change කරන්ට දක්ෂ නළු නිළියො බොලිවුඩ් කොලිවුඩ් හොලිවුඩ්වලවත් නෑ. ඒකෙනුත් අංක එක. අනිත් එක තමා බොරු ෂෝ එක. තව තව ලක්ෂණ හුඟක් තියෙනවා. නිබන්ධයක් ලියන්ට තරම් ලාංකික දේශපාලනඥයන්ටම අනන්‍ය ලක්ෂණ තව හුඟාක් තියෙනවා. එහෙව් දේශපාලනඥයන් අතරේ භක්තිපූර්වක්ව සිහිපත් කරන්න පුළුවන් දේශපාලනඥයන් පස්දෙනෙක්වත් ලංකාවේ නෑ. තිස් වසරක් රට අමු සොහොනක් කරපු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ඉවරකරපු මහින්ද රාජපක්ෂ රට වෙනුවෙන් කළ ඒ මෙහෙවර හැමදාමත් ප්‍රසංශනීයයි. ඒ ඇරෙන්න කොඳුනාරටි සහිත දේශපාලනඥයන් ලංකාවේ හරි විරලයි.

ඒත් මේ සියලු යථාර්ථයන් තුළ ලංකාවේ දේශපාලනය කියන කුලකයට අයත් සුන්දර මනුස්සයෙක් ගැන ලියන්න මට හිතුණා. රබර් සෙරෙප්පු දෙකක්වත් කකුලෙ නොතිබුණාට, කැහැපට ගසාගත් සරමයි කමිසෙයි ඇරෙන්න Colours පෙන්නන්න අතේ දා ගත්ත මුදු බ්‍රේස්ලට් කරේ දා ගත්තු කඹ සයිස් මාල නැතිවුණාට ගොන් ආතල්, ගොන් වීරකම් පෙන්නුවේ නැතිවුණාට විසල් මනුෂ්‍යත්වයක් සහ ජනතාවාදී උත්තුංග පෞර්ෂත්වයක් ඒ දේශපාලනඥයාගේ හදවත අස්සෙ කැකෑරෙන බව අපට දැනුණා.

පාලිත තෙවරප්පෙරුම ඒ දේශපාලනඥයායි. ගංවතුරෙන් උඩුයටිකුරු වෙච්ච ජීවිතත් එක්ක අන්ත අසරණ වූ ජනතාවකට ඔහු දෙවියෙක් වුණා කීවොත් අසාධාරණ නෑ. ඔහු තමන්ගෙ අත්දෙකින් ගංවතුරෙන් මැරුණු මිනිස්සුන්ගෙ මළකඳන් ඉස්සුවා. පාලිත තෙවරප්පෙරැම එහෙම කළේ media එකට මගේ පස්සෙන් වරෙන් කියලා නෙවෙයි. තමන්ගෙ වටේ ඉන්න හෙන්චයියලාට මම එහෙම කරද්දී උඹලා photo ගනින් video කරපන් ඊට පස්සෙ ඒවා web site වලට දාපන්, fb දාපන් media වලට යවපන් කියලා දුක සහ මරණය campaign එකක් කරගෙන නෙවෙයි. පපුවෙ රෝමයි මාලයි පේන්න බොත්තම් දෙක තුනකුත් ඇරගෙන ඇඟ පේන කමිස ඇඳගෙන මිනිස්සුන්ගේ දුක දකින්න ගිය සමහර ඇමැති සයිස් කට්ටිය රුපියල් තිහේ බිස්කට් පැකට් දීලා. ඒවගේ පිංතුරත් අපිට email කරලා තිබුණා. ඇත්තටම ලැජ්ජයි. සමහර මාධ්‍ය ලේකම්වරු එහෙව් පිංතුර දහය පහළොව හතර වටේට යවලා ඉල්ලන්නෙ publicity. සමහරු ඒ අස්සෙ රට සවාරි. ශෝකය ප්‍රකාශ කරාට මිනිස්සුන්ගේ දුක් කඳුළු බඩගිනි නොනිවෙන බව ජන මන අසංවේදී සමහර දේශපාලනඥයන්ට තේරුම් ගන්න බෑ. පුළුන් උඩ හැදුණු සමහර දේශපාලන බබාලට ඒ දුක බඩගින්න දැනෙන්නෙත් නෑ. තෙවරප්පෙරුම වගේ ප්‍රායෝගික දේශපාලනඥයෙක්ගේ වටිනාකම රටේ මිනිස්සුන්ට ඒත්තු ගියේ මේ වගේ පසුබිමක.

අග මුල මතකයෙන් ගිලිහුණු, පොළොවෙ ඉඳන් අහසට පයින් ගහන මිනිස්සු අස්සෙ මළකඳන් ඉස්සුව ඒ අත්දෙක සුවඳයි. පපුවට හලාගත්තු brand Perfume සුවඳට වඩා පොළොවෙ පයගහපු ඒ ආත්මීය මනුස්සකම සුන්දරයි.
වැස්සෙන් හෙම්බත් වුණු ජීවිතත් එක්ක දුක බෙදාගන්න ගමන් මෙවන් ජන සුසුම් දැනෙන හදවත් ඇති ජනතා නියෝජිතයන්ට අපේ උත්තමාචාර!
I sanju