2023 අප්‍රේල් 09 වන ඉරිදා

ආදරණීය අවුරුද්දක්!

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 104

සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ පුංචි කාලේ ඉඳන් අපි හරිම ආසාවෙන් බලාගෙන හිටපු දෙයක්. පොඩි කාලේ අලුත් අවුරුද්ද සමරපු විදිහ මතක් කරද්දී අදටත් මට හරි ආසා හිතෙනවා. අපේ ගෙදර අවුරුද්දට කිරි උතුරවන වැඩේ බාර ගත්තේ අපේ තාත්තා. (ගිරිරාජ් කෞෂල්‍ය) අම්මා කිරිබත් උයන්න ළිප ලෑස්ති කරගන්නා අතරේ තාත්තා කිරි උතුරවන්න ලෑස්ති වුණා.... අක්කයි මායි අලුත් අඳුමක් ඇඳන් කෑම මෙසේ පිළියෙළ කළා. අක්කයි මායි පුංචි කාලේ අවුරුදු සමරන්න හරි ආසා කළා. අවුරුදු ලබලා, ආහාර අනුභවය කරන නැකැත ආවට පස්සේ අක්කයි මායි කෑම පිඟන් අරගෙන වටපිටාවේ ඉන්නා නෑදෑ හිතමිත්‍රාදීන්ට මේ රසකැවිලි අරගෙන ගියා. ඒකත් සංස්කෘතික වශයෙන් හරි වටිනා දෙයක්. මේ කාලේ වෙද්දී ඒ දේවල් ටික ටික අඩුවෙලා තියෙද්දී අපි පොඩිකාලේ හරිම ආසාවෙන් ඒ දේවල් කළා. 

මේ අවුරුද්දේ මගේ විවාහය නිසා මගේ සැමියා එක්ක වෙනමයි පදිංචිවෙලා ඉන්නේ. රටේ යම් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් පවතින කාලයක තමයි මේ අවුරුද්ද අපිට සමරන්න වෙලා තියෙන්නේ. සමාජීය හා මානසික වශයෙන් මිනිසුන්ට ප්‍රශ්න, අර්බුදකාරී තත්ත්වයක අපි හිටියත් අපිට හැකි පමණින් අපේ මේ සංස්කෘතික අංශය සමරන්න එකතු වෙන්න කියල ආරාධනා කරනවා. සමහරවිට මේ අවුරුද්දේ අපේ නිවාසවලට පිඟන් බෙදන්නට අපිට ආර්ථික අපහසුකම් තියෙන්න පුළුවන්. ඒවගේ ආර්ථික ශක්තියක් අපිට නැතිවේවි. නමුත් එකම වෙලාවට හැමෝම එකතුවෙලා සිදුකරන මේ නැකැත් කටයුතු දරුවන් එක්ක එකතු වෙලා අපි කරමු. ඊළඟ පරම්පරාවටත් බලාගන්න, ඒ දේවල් සතුටින් සමරමු. අපේ රටේ තිබෙන මේ ගැටලු නැතිවී පවුල් වශයෙන් තනි පුද්ගලයින් වශයෙන් අදට වඩා හොඳින් අපි ලබන අවුරුද්ද ගත කරන්නට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු. සියලුම ශ්‍රී ලංකාවාසීන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

♦ අමන්ද්‍යා උත්පලී

මම ගොඩක් ආසා කරපු සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ අපේ තාත්තා නැතිවෙන්න කලින් අවුරුද්දෙයි. ඒ අවුරුද්ද කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. එදා අපේ බාප්පලා හතර දෙනාගේ පවුලේ හැමෝම අපේ ගෙදර ආවා. හැමෝම එකතුවෙලා හරි ලස්සන අවුරුද්දක් එදා ගතකළා. අපේ වත්ත පිටිපස්සේ ලොකු අඹ ගහක් තිබුණා. එදා ලොකු ඔංචිල්ලාවක් ගැටගහලා අපි එදා ඔංචිලි පැද්දා. අපි අලුත් අවුරුදු උත්සවයක් තිබ්බා. එදා අපි කනාමුට්ටි බින්දා. අලියට ඇහැ තිබ්බා. ඒක හරි අපූරු අවුරුදු කාලයක්. අදටත් ඒ කාලේ මතක් වෙද්දී හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා. මේ වසරේදී හැමදෙනාටම කිරියෙන් පැණියනේ ඉතිරෙන වාසනාවාන්ත අවුරුද්දක් වගේම ඒ හැම දෙනාගේම හිත්වල ආදරය වැඩි වැඩියෙන් වැඩිවේවායි මම ප්‍රාර්ථනා කරනවා.

♦ අශිකා මතසිංහ

සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ හරි අපූරු කාලයක්. මතක ගොඩාක් එකතු වුණ කාලයක්. සෑම අලුත් අවුරුද්දකම අපි පවුලේ අය සමඟ කිරිබත් කැවිලි මේසය ලෑස්ති කරලා පහන දල්වලා ඒ මොහොත සමරනවා. පවුලේ හැමෝම එකතුවෙන හරි අපූරු සුන්දර කාලයක්. පුංචි කාලේ අලුත් අවුරුදු කාලයට අපි සහෝදර සහෝදරියන් වගේම අහල පහල ළමයි එකතුවෙලා සෙල්ලම් කළා. අපිට හරි ලස්සන තෑගි බෝග ලැබුණා. එය ඉතාමත් ලස්සන කාලයක්. අදටත් වඩා ඒ කාලේ අපි සිංහල අලුත් අවුරුද්ද හොඳින් සැමරුවා. ඉතින් මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

♦ දිනාරා පුංචිහේවා

සිංහල අලුත් අවුරුදු කාලයේදී ගස්වල ගෙඩි ඵල දරනවා. මල් පිපෙනවා. ඒ කාලය හරියට වසන්තය ආවා වගෙයි. ඒ නිසාම මිනිස්සු හැමෝම එකතු වෙනවා. මිනිස්සු ආදරය කරනවා. මිනිස්සු එකිනෙකාගේ ගෙවල්වලට යනවා. එකතුවෙලා සතුටින් ඉන්නවා. මේක තමයි අවුරුද්ද වෙන්නේ. මම දකින්නේ එහෙමයි. දැන් වෙනකොට මේ පවතින තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට එහෙම කාලා බීලා සතුටින් ඉන්න විදිහක් නැහැ. ගස්වැල් කෙරෙහි මිනිසුන්ට අවධානයක් යොමු කරන්න කාලයක් නැතිවෙද්දී ගස් වැල් එහෙම පලදරන්නේත් නැහැ. ඒ නිසා මේ ගස්වැල් පලදරන්නට නැති විශ්වාස තැබිය හැකි සිංහල අලුත් අවුරුද්දක් වේවායි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.

♦ සමන් කෝරලගේ

කාලය මුදල්වලට පත්වෙලා තියෙන වර්තමාන පරපුරත් එක්ක බලද්දී මගේ ළමා කාලයේදී සිංහල අලුත් අවුරුදු කාලයේදී නිදහස, විනෝදය, බැඳීම හොඳටම දැනුණ කාලයක් කියලයි මට හිතෙන්නේ. අපිට ඒ නිදහස උපරිමයෙන් විඳින්න අපේ දෙමව්පියන් ලබලා දුන්නා. අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර බෙදාගන්න, යාළුවෝ එක්ක විනෝද වෙන්න උපරිම නිදහස ඔවුන් අපිට ලබලා දුන්නා. අපි ඒ කාලේ යාළුවෝ එක්ක කැට ගැහුවා. අලුත් ඇඳුම් අඳලා අලුත් අවුරුදු උත්සවවලට සහභාගි වුණා. ඒ තරගවලට සහභාගි වුණා. නෑදෑ ගෙවල්වලට ගියා. මේ දේවල් අපූරුයි. ඒ අවුරුද්ද පුරාවට අපේ බැඳීම් අලුත් කරගන්න ඒක ඉවහල් වුණා. අදටත් ඒ මතකය හරි සුන්දරයි. අද කාලේ බොහෝ අයට නැතිවෙලා, අමතක වෙලා තියේනනෙත් ඒ අතීතයම තමයි. අද සමහරුන්ට නෑදෑයින්ට, යාළුවන්ට අමතක වෙලා. ඔවුන්ට සිංහල අලුත් අවුරුද්ද කියන්නේ තවත් එක් දවසක් විතරමයි. නමුත් අපේ ජීවිතවලට ඒ බැඳීම් අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ අලුත් අවුරුද්දෙදි අපි හැමෝම එකතුවෙමු. ආදරයෙන් සහෝදරත්වයෙන් ඒ දවස සමරමු. ඒ වෙනුවෙන් කාලය කෙසේ හෝ යොදවලා අප සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපේ බැඳීම් අලුත් කරගමු. එයයි මගේ පැතුම.

♦ අමිල කරුණානායක

I දිශානි