2023 අප්‍රේල් 02 වන ඉරිදා

හෙට දවසක සුපිපෙන සිහින නෙළුම් මල්

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 87

සහන් සහ නයෝමි කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයක කුලී නිවසක ජීවත් වන තරුණ යුවළකි. මොවුන් දෙදෙනා ආදර සම්බන්ධතාවයක් මත සිය කැමැත්තෙන් විවාහ ගිවිසගෙන ඇති අතර, මේ වන විට ඔවුන්ගේ විවාහයට වසර 06 ක් පමණ වෙයි. එකිනෙකා හා ඉතා ආදරයෙන්, අවබෝධයකින් ජීවත් වුවද, තවමත් දරුවෙකු නොමැති ප්‍රශ්නය හමුවේ ඔවුන් දෙදෙනා දැඩි මානසික පීඩනයකට මුහුණ දෙයි. හදිසියේම නිවසට ගොඩවන වැඩිහිටි නෑයෙකු දරුවෙකු ගැන අසන ප්‍රශ්න හමුවේ, ඉන් පලා යාමට නයෝමි දෙන පිළිතුරක් දුරදිග යාමෙන් අවසානයේ ඔවුන් දෙදෙනාට කෙසේ හෝ දරුවෙකුගේ  අවශ්‍යතාවය පිළිබඳ බලාපොරොත්තුව වෙනුවෙන් කැපවෙන්නට සිදුවෙයි. මෙම අභියෝගය ජය ගැනීමට ඔවුන් දෙදෙනා දරන උත්සාහය සහ අවසානය ප්‍රස්තුත කර ගනිමින් නිමැවෙන සිහින නෙළුම් මල් චිත්‍රපටයේ මුහුරත් උළෙල ඉකුත් දවසක කොළඹ Cinnamon Grand හීදී පැවැත්වුණා.

ප්‍රවීණ සිනමා නිළි ශ්‍රියානි අමරසේන, ප්‍රවීණ සිනමා නළු දයාදේව එදිරිසිංහ, හේමාල් රණසිංහ, උමාලි තිලකරත්න, දුශේනි මියුරංගි ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වන සිහින නෙළුම් මල් තිරය පිටුපස සිටින්නේ මෙන්න මේ අයයි. නිෂ්පාදනය වරුණ අරඹගේ, රචනය සහ අධ්‍යක්ෂණය ශමීර නාඔටුන්න, කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත, සංගීත අධ්‍යක්ෂණය මිලින්ද තෙන්නකෝන්, වේශ නිරෑපණය බුවනෙක රණවක, සංස්කරණය රවින්ද්‍ර ගුරුගේ, ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චි, නිෂ්පාදන කළමනාකරණය රොනිත් අධිකාරි, සහාය අධ්‍යක්ෂණය දමින්ද ඩී. මඩවල ඒ පිරිසයි.

හෙට දවසේ ලස්සනට පිපෙන්නට බලා හිඳින සිහින නෙළුම් මල් වෙනුවෙන් හදසර හදගැස්මේ හෘදයාංගම සුබ පැතුම්.

(මාධ්‍ය සම්බන්ධීකරණය - උපුල් නිශාන්ත) 

I සංජු