2023 අප්‍රේල් 02 වන ඉරිදා

තිගැස්මක් තිබුණා... ඒත් අපි දිනුවා... - ගජමෑන් අධ්‍යක්ෂ චානක පෙරේරා

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 45

ඉතා සාර්ථක ලෙස තිරගත වුණු 'ගජමෑන්' චිත්‍රපටය ප්‍රදර්ශනය අප්‍රේල් දෙවැනිදායින් අවසන් කරනවා. 'ගජමෑන්' අධ්‍යක්ෂකවරයා වන ශානකට අද මොකද හිතෙන්නෙ?

ඇත්තටම ලැබුණු ප්‍රතිචාර ගැන නම් පුදුමාකාර සතුටක් තියෙනවා. ලංකාවේ සිනමා රසික පිරිසක් නැහැ කියලා මතයක් ගොඩනැගිලා තිබුණා. බොහෝ අය හිතුවෙ ලංකාවෙ මිනිසුන් සිනමා නිර්මාණවලින් ඈත්වෙලා කියලයි. ලංකාවෙ මිනිසුන් ලාංකික සිනමා නිර්මාණ දකින්න කැමති නැහැ කියලයි බොහෝ දෙනා හිතුවෙ. ඒ නිසාම සිනමා කර්මාන්තය බිඳවැටිලා කියලයි සමහරු චෝදනා කළේ. එදා අපේ රටේ තිබුණු සිනමාහල් අඩුවෙලා අද වෙද්දි සීමිත සිනමාහල් ප්‍රමාණයක් ඇතිවී තියෙන්නත් ප්‍රධාන හේතුව මිනිසුන් සිනමා නිර්මාණවලින් ඈත්වීම කියලයි බොහෝ දෙනෙක් කිව්වෙ. නමුත් 'ගජමෑන්' ඒ මතය බොරුවක් කියලා කියන්න හොඳම උදාහරණයක් වෙනවා. සිනමා ලෝලීන්ට දකින්න, නරඹන්න හොඳ සිනමාපටයක් නොමැති වීමෙන් ඔවුන් සිනමාහල්වලින් ඈත්වෙනවා. ඒ නිසා 'ගජමෑන්' අද ඉතා සාර්ථක නිර්මාණයක් වීම ගැන මම ඇතුළු අපේ කණ්ඩායමට පුදුම සතුටක් තියෙනවා.

'ගජමෑන්' 2023 අවුරුද්දෙ තිරගත කරන්න කොයි තරම් කාලයක් තිස්සෙ සූදානම් වුණාද? 

'ගජමෑන්' නිර්මාණය කරන්න අපි 2010 අවුරුද්දෙ ඉඳන් 2019 අවුරුද්ද වෙනතුරු මහන්සි වුණා. නිර්මාණය අවසන් කරන්න අපි කිහිප වතාවක්ම කොටස් මාරු කළා. කොහොම වුණත් 'ගජමෑන්' නිර්මාණය කරලා අවසන් කරලා ඒක තිරගත කරන්න අපිට වසර කිහිපයක්ම බලාගෙන ඉන්න සිදු වුණා. හැබැයි ඒ කිසිම මොහොතක අපිට චිත්‍රපට පෝලිම්වල ඉන්න සිදු වුණේ නම් නැහැ. අපි ඉල්ලන කාලෙකදි අපිට ඒ චිත්‍රපටය ඕනෑම සර්කිට් එකකින් තිරගත කරන්න අවස්ථාව ලබා දීලා තිබුණා. නමුත් නිර්මාණය සූදානම් වුණත් ඒක තිරගත කරන්න ඒ වෙද්දි සුදුසු වාතාවරණයක් රට තුළ තිබුණෙ නැහැ. පාස්කු ප්‍රහාරය, ජනාධිපති මැතිවරණය, කොවිඩ් වසංගතය ඇතුළු රට තුළ පැවැති විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා ඒක තිරගත කිරීම කල් ගියා. නමුත් අවසානයෙදි තිරගත කළා. ඒ වෑයම සාර්ථක වුණා.

මෙවැනි ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයක් කරන්න අදහසක් ඇතිවුණේ කොහොමද?

ඒක මට පොඩි කාලෙ ඉඳන් තිබුණු ආසාවක්. සාමාන්‍ය පෙළ විභාගය කරන කාලේ ත්‍රිමාණ චිත්‍රපට බලලා මටත් ඒ වගේ නිර්මාණයක් කරන්න ආසා හිතුණා. ඒ අනුව තමයි මේ නිර්මාණය කරන්න හිතුණෙ. මුල් කාලෙදි මේ චිත්‍රපටය මේ තරම් ජනප්‍රිය, සාර්ථක නිර්මාණයක් වේවි කියලා නම් හිතුවෙ නැහැ. ඒ වෙද්දි රට තුළ සිනමාවට තිබුණු තැනත් එක්ක ඒ ආකල්පය මගේ හිතේ ඇතිවුණා. හැබැයි 2019 අවුරුද්ද වනවිට ඒ අදහස වෙනස් වුණා. එතැන් සිට චිත්‍රපටය තිරගත කරන තුරු ඒ ධනාත්මක සිතුවිල්ලෙන් තමයි මම ජීවත් වුණේ. ටිකෙන් ටික රට තුළ ඇතිවුණු ගැටලු සහගත තත්ත්වයත් එක්ක පොඩි තිගැස්මකුත් මගේ හිතේ තිබුණා. නමුත් මම මගේ නිර්මාණය විශ්වාස කළා. ඒ අනුව අපිට අවසානයෙදි ඉතා හොඳ සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණා. මේක ත්‍රිමාණ චිත්‍රපටයක්. මේ නිර්මාණයත් එක්ක අපේ රටේ ඉතා දක්ෂ නළු නිළි පිරිසක් සම්බන්ධ වුණා. මේ චරිතවලට රංගනයෙන් දායක වුණු රංගන ශිල්පියාගේ පෞරුෂත්වය හා ඒ කටහඬ නිර්මාණයට ඉතා වැදගත් වුණා. ඒ නිසා මෙයට සම්බන්ධ වුණු හැම ශිල්පියෙක්ම චිත්‍රපටයේ සාර්ථකත්වයට ලොකු ශක්තියක් වුණා.

'ගජමෑන්' ඉතා සාර්ථකව අවසන් වුණා. ඔබගේ ඊළඟ වෑයම මොකක්ද?

අද වෙද්දි අපි ළඟ ව්‍යාපෘති දෙකක් තියෙනවා. 'ගජමෑන්' 2010 අවුරුද්දෙ නිර්මාණය කරන්න පටන් ගත්තට 2018 අවුරුද්දෙ මුල්ම හඳුන්වා දීමේ ප්‍රචාරක පටය නිර්මාණය කළත් අපි ඒක පෙන්නුවෙ නැහැ. ඒ නිසා ඊළඟ නිර්මාණය සම්බන්ධයෙන් අනාවැකි කියන්න මේ සුදුසු කාලය නෙමෙයි. 'ගජමෑන්' චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු අපි පිළිවෙළට කරගෙන ගියා. නිවැරදි අවස්ථාවෙදි අපි ඒ ගැන මුලින්ම මිනිසුන්ට කිව්වා. ඒ නිසා මේ ඊළඟ කටයුත්ත ගැන කියන්න සුදුසු කාලය නෙමෙයි. සමහරු මගෙන් ''ගජමෑන් දින කීයක් තිරගත වුණාද?'' කියලත් අහනවා. නමුත් චිත්‍රපටයක් තිරගත කරද්දි තිරගත වන දින ගණන මට නම් අදාළ වෙන්නෙම නැහැ. මම ඒ ගැන හිතන්නෙ නැහැ. 'ගජමෑන්' ඉතා අඩු දින ගණනකින් සියලුම ආදායම් වාර්තා බිඳ දැමුවා. ආදායම් වාර්තා තැබුවා. ඒ වෙනුවෙන් තිරගත වුණු දින ගණන අදාළ වුණේ නැහැ. 

චිත්‍රපටයක් ආදායම් වාර්තා බිඳ දමන්න, එය සාර්ථක නිර්මාණයක් වෙන්න ඊට දායක වුණු අය වගේම සිනමා ලෝලීනුත් වැදගත් වෙනවා. 'ගජමෑන්' අධ්‍යක්ෂ ලෙසින් ඔවුන්ට යමක් කියන්න ඇති?

මුලින්ම චිත්‍රපටය නරඹන්න ගිය හැම දෙනාටම ආචාර කරනවා. නිර්මාණයක් සාර්ථක වෙන්න රංගනයෙන් දායක වුණු ශිල්පීන්, කාර්මික ශිල්පීන් ඇතුළු මුළු කණ්ඩායමේම එකතුව වැදගත් වෙනවා. අපි එක කණ්ඩායමක් විදිහට හරිම සහයෝගයෙන් වැඩ කළා. ඒ අනුව අවසානයෙදි සාර්ථක නිර්මාණයක් බිහි වුණා. නිර්මාණයක් බිහිවුණාට වැඩක් නැහැ, එය නරඹන්න ප්‍රේක්ෂකාගාරයත් අවශ්‍ය වෙනවා. 'ගජමෑන්' වටා ඉතා හොඳ ප්‍රේක්ෂකාගාරයක් ගොඩනැගුණා. පසුගිය කාලෙදි 'ගජමෑන්' චිත්‍රපටයේ එක්තරා කොටසක් අන්තර්ජාලය ඔස්සේ කවුරුන් හෝ මුදාහැර තිබුණා. එය චිත්‍රපටයේ අවසන් පිටපතේ කොටසක් නොවුණත් ඒ කුතුහලය නිසා චිත්‍රපටය නැරඹූ පිරිසකුත් ඉන්නවා. 'ගජමෑන්' නරඹපු හැම දෙනාටම ගොඩක් ස්තූතියි. තවත් හොඳ නිර්මාණයක් සමඟ ඉදිරියේදි මුණගැහෙමු.

I දිශානි