2023 අප්‍රේල් 02 වන ඉරිදා

ලෝකයම පිස්සු වට්ටපු ක්‍රීඩාවක්!

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 90

රූබික් කියුබ් පිළිබඳ නොදන්නා කෙනෙක් නොමැති තරම්. රූබික් ඝණකය ප්‍රහේළිකා විසඳීම අද ලොව පුරා ප්‍රකට ක්‍රීඩාවක්. මේ සඳහා අසාමාන්‍ය හැකියාවන් ඇති අය පිළිබඳ කතාන්දර ලොව පුරා අපට අසන්නට ලැබෙනවා. අපේ පුංචි රටෙත්  රූබික් කියුබ් සම්බන්ධ දක්ෂයෝ හොයාගන්න බැරි නෑ.

ඒ අය අතරින් හරිම අමුතු අපූරු හැකියාවක් තියෙන තරුණයෙක් ගැන තොරතුරු අපි දැක්කෙ සමාජ මාධ්‍යයෙන්. රූබික් කියුබ් විසඳීමට හැකියාව සහ තවත් අපූරු කලාත්මක හැකියාවක් සතු මේ අපූරු තරුණයා නමින් නිමන්ත චින්තන ප්‍රසාද් ජයවීර. අද අමුතු චරිත නිමන්ත වෙනුවෙන් ලියා තබන්න අපි හිතුවා.

නිමන්ත තමා අවුරුදු 22 ක තරුණයෙක්. මේ අපූරු තරුණයා ජීවත් වෙන්නෙ කුරුණෑගල මැල්සිරිපුර පන්සීය ගම ප්‍රදේශයේ. ඔහුගේ විනෝදාංශය රූබික් කියුබ් ආශ්‍රිත නිර්මාණ කිරීම. කොහොම වුණත් ඔහු ගැන කතා කරන්න කලින් රූබික් කියුබ් පිළිබඳ ඉතාම සරල කෙටි අවබෝධයක් ඔබට ලබා දීම වැදගත්.

රූබික් කියුබ් එක කියන්නෙ 1974 දී ලෝකයට පළමු වරට නිෂ්පාදනය වෙන භාණ්ඩයක්. ජර්මානු ජාතික අර්නෝ රුබික් කියන නිර්මාණකරුවා තමා මේ අපූරු ඝණකය නිර්මාණය කරන්නෙ. එය නිර්මාණය කරලා අවුරුදු 50 ක වගේ කාලයක් ගත වෙද්දි රූබික් කියුබ් ලෝකය පුරා අතිශය ජනප්‍රිය වෙලා හමාරයි. මෙය ක්‍රීඩාවක් බවට පත්වෙලා බොහෝ දෙනා මේ ක්‍රීඩාවට පිස්සු වැටිලත් ඉන්නවා. 

ඒත් මේ වැඩේ පේන තරම් සරල නෑ, රූබික් ඝණකයක් පළමු වතාවට අතට ගන්න සාමාන්‍ය පුද්ගලයෙක්ට ඒ ගැටලු විසඳන්න පැය ගණනක් උත්සාහ කළත් පහසු නෑ. සමහරක් විට දිග ගණනක්, සති ගණනක් උත්සාහ කළත් මේ වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ වැඩේට දක්ෂයෙක්ට අවශ්‍ය වෙන්නෙ තත්ත්පර 10 ක් පහළොවක් විතරයි.

ඒත් අපි අද කතා කරන නිමන්තත් රූබික් ප්‍රහේළිකා විසඳීමට සැලකිය යුතු වේගයක් තියෙන කෙනෙක්. නමුත් වේගය නිසා නෙවෙයි ඔහු සුවිශේෂී පුද්ගලයෙක් බවට පත්වෙන්නෙ. මීට වසර 5කට පමණ ඉහතදි නිමන්ත ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරමින් සිටියදි තමයි, රූබික් කියුබ් වැඩේට බැහැලා තියෙන්නෙ. 

අද වෙනකොට මේ අපූරු තරුණයාට මාදිලි 20 ක විතර රූබික් ඝණක විසඳන්න පුළුවන්. පුහුණව සහ අධ්‍යයනය තුළින් තමයි නිමන්ත තරුණයා මේ අපූරු හැකියාව ලබාගෙන තියෙන්නෙ. මතක් කරන්න ඕන අද වෙනකොට රූබික් කියුබ් කියන්නෙ විශාල වපසරියක පැතිරුණු එකක්. මේ සම්බන්ධව ලෝක මට්ටමේ තරග සහ වාර්තා රුසක් තියෙනවා.

අපි මේ තරුණයාව ඔහුගේ නමින් හැඳින්වුවත් ඇත්තටම රටම ඔහු ගැන දන්නෙ "SL CUBE SHOW” නමින්. Tik Tok, Facebook, YouTube වගේ සමාජ මාධ්‍ය අවකාශයන් ඇතුළේ ඔහු මේ නමින් බොහොම ජනප්‍රියයි. Tik Tok ඇතුළේ එක්ලක්ෂ විසි දහසකට ආසන්න පිරිසක් මේ අපූරු තරුණයාව අනුගමනය කරනවා. මිලියන 2 ක විතර Likes ප්‍රමාණයකුත් Tik Tok ඇතුළේ ඔහුට ලැබිලා තියෙනවා.

Facebook මාධ්‍යයෙත් හැටපන් දහසක විතර පිරිසක් "SL CUBE SHOW” සමඟ ඉන්නවා. ඔහු සාර්ථකව කරගෙන ගිය YouTube නාලිකාව නම් හැක් වෙලා තිබුණා. ඒ නිසාම ඔහු ගැන මේ දවස්වල සමාජ මාධ්‍ය කතාබහක් ඇතිවෙලා තිබුණා අපි දැක්කා. ඒ කොහොම  වුණත් නිමන්ත දැන් බොහොම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්වෙමින් ඉන්නෙ. මේ ක්ෂේත්‍රය ඇතුළේ අපේ රටේ කෙනෙක් ජනප්‍රිය වුණේ පළවෙනි වතාවට.

ලංකාව ඇතුළේ රූබික් කියුබ් සම්බන්ධයෙන් තරුණ තරුණියන්ගෙ උනන්දුවක් ඇතිවුණේ නිමන්තගෙ වීඩියෝ නිසා බව අපි අවිවාදයෙන් පිළිගන්න ඕනෑ. ඉස්සරත් සාමාන්‍ය අදහසක් රූබික් කියුබ් ප්‍රහේළිකා සම්බන්ධව රට තුළ තිබුණා. නමුත් මේ සම්බන්ධ තොරතුරු සමාජයට විෂය වුණේ මේ අපූරු තරුණයාගේ ආගමනය නිසා.

අදත් ඉතාම අවම සම්පත් ප්‍රමාණයකින් තමයි ඔහු මේ වැඩ කිඩ දාන්නෙ. සමාජ මාධ්‍යයේ පළ කරන්න ඉහළ නිෂ්පාදන ප්‍රමිතියෙන් වීඩියෝ හදන්න ඔහුට හැකියාවක් නැහැ. ඔහු සාමාන්‍ය පවුලක තරුණයෙක්. එහෙත් ඔහුගේ හැකියාව අසාමාන්‍යයි. වේගයෙන් රූබික් ඝණකය ප්‍රහේළිකා  විසඳීමම නෙවෙයි ඔහුගේ සැබෑ දක්ෂතාවය. ඔහු රූබික් ඝණකය භාවිත කරමින් විවිධ නිර්මාණය කරනවා. 

පුද්ගල ඡායාරූප ප්‍රතිනිර්මාණය කිරීම වැනි කටයුතු ඔහු සිදු කරනවා. ඇත්තටම ඔහු සතු මේ හැකියාවට තමයි ගොඩක් දෙනා ආදරය කරන්නෙ. තමන් වෙත ලබා දෙන විවිධ අභියෝග බාරගන්නෙ ඔහු බොහොම සතුටින්. පසුගිය කාලේ බොබ් මාර්ලි, භාතිය - සන්තුෂ්, වනිඳු හසරංග වගේ ජනප්‍රිය චරිතවල  පින්තූර ඔහු තමන්ගෙ රූබික් කියුබ් භාවිතයෙන් නිර්මාණය කළා. මුලදි ඔහුට මේ වැඩ කරන්න ප්‍රමාණවත් කියුබ් තිබුණෙත් නෑ. ඒත් ඔහු උත්සාහය අත් නොහැර ඉදිරියට ආ සැටි අපි නිරීක්ෂණය කළා.

තත්ත්පර කිහිපයක වේගවත් වීඩියෝ එකකින් ඔහු සිය නිර්මාණ කෞෂල්‍ය ''SL CUBE SHOW'' ඔස්සේ ලෝකයට පෙන්නනවා. ඒත් මේක හිතන තරම් සරල නෑ. කාලය, ශ්‍රමය වැය කරන අතරේ මනසත් සෑහෙන්න වෙහෙසන්න ඕනෑ මේ වැඩේට. සමහරු මේ දේවල් තේරුම් නොගෙන අපහාස උපහාස කරන අවස්ථාත් නැතිවාම නෙවෙයි. එහෙත් ඔහු ඒවායෙන් නොසැලී ඉදිරියට යනවා.

වයස අවුරුදු විසි දෙකක් වුණත් මේ විෂය සම්බන්ධයෙන් විශාල දැනුමක් සහ ස්වයං අධ්‍යයනයක් මේ අපූරු තරුණයා සතු වෙනවා. ඉතින් ඔහු සතු දැනුම නිර්ලෝභීව හැමදෙනාටම බෙදා දෙන්න මේ තරුණයා කටයුතු කරමින් සිටීම අගයන්න ඕනෑ. ඒ නිසාමයි ''SL CUBE SHOW'' සමඟ මේ තරම් විශාල පිරිසක් එකතුවෙලා ඉන්නෙ. රූබික් ඝණකය මිලදී ගැනීම සම්බන්ධ ගැටලුවලට මේ තරුණයා මුහුණපාන බවත් අපි දැක්කා. ඒ නිසාම පසුගිය කාලේ ඇතැම් අය ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වුණා. ඒවා බොහොම හොඳ වැඩ.

කොහොම නමුත් අවසානයේ සඳහන් කළ යුත්තේ නිමන්ත චින්තන ප්‍රසාද් ජයවීරට තව සෑහෙන්න දුරක් යන්න පුළුවන් බව. අනාගතයේදී මීටත් එහා ගිය දැනුමක් සහ අත්දැකීම් එකතු කර ගන්න මේ අපූරු තරුණයාට හැකිවේවි. 
අවසානයේ කියන්නම ඕනෑ... ජනප්‍රිය ලෝක සංස්කෘතියෙන් අපි නිතර ඉගෙන ගන්නෙ අරුත් සුන් දේවල්. නමුත් අරුත් ඇති මෙවන් දෑ බොහොමයක් ලොව සතුයි. ඒ නිසා ඔබත් මෙවැනි දේ ඉගෙන ගැනීමට උනන්දු ‍ෙවන්න.

I නිසල්