2023 මාර්තු 26 වන ඉරිදා

ක්‍රිකට් පිස්සුවෙන් පොලිස් කූඩුවෙන් හිරවුණු පර්සි අංකල්

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 117

රටම දන්න අමුතු චරිතයක් පිළිබඳ අද අපි ඔබත් එක්ක කතා කරන්න හිතුවා. ඇත්තටම ඔහු අමුතු උමතුවක් නිසාම රටකට අදරය දිනාගත්ත චරිතයක්. ශ්‍රී ලාංකිකයන්ට ආගමක් වගේ වුණ ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි රසිකයා, ක්‍රීඩා ලෝලියා වගේම හොඳම දිරිගන්වන්න තමා ඔහු.

ඔහු නමින් පර්සි අබේසේකර. ඔහු ගැන නොදන්න කෙනෙක් මේ රටේ නැති තරම්. ඉතින්, සිංහ කොඩිය උස්සගෙන පිටිය වටේ යන පර්සි අංකල් ගැන අපි නොදන්න කතා බොහොමයි. අන්න ඒ අමුතු චරිතවලින් ඉන්න කතා දෙක ඔබ එක්ක අපි බෙදා ගන්නවා. එහෙනම් රුවින් නමින් හඳුනන, එතරම් වතගොත නොදන්න මේ අමුතු චරිතය ගැන අපි අද කතා කරමු.

පර්සි අංකල් ඉපදිලා තියෙන්නෙ 1936 වසරේ. ඒ කියන දැන්  පර්සි අබේසේකරයන්ට වයස අවුරුදු 87ක්. කවුරුත් ඔහු පුළුවන් වෙලාවට තරග නරඹන්න එනවා. ක්‍රිකට් පිටියේ සිංහ ධජය අතේ තියාගෙන ඉන්න පර්සි අංකල් දැකීම අපිට වගේම ක්‍රීඩකයන්ට ජවයක්. පර්සි අංකල්ට පුංචි කාලේ තිබිලා තියෙන්නෙ නීතීඥයෙක් වන හීනයක්. එත් ඔහු නතරවුණේ ලංකාවේ අංක එකේ ක්‍රීඩා ලෝලියා බවට පත්වෙලා. පර්සි අංකල්ගේ ජීවිතය රසබර සිදුවීම් රැසකින් පිරිලා තියෙනවා.

යන්තම් අවුරුදු 12දී විතර තමයි පර්සි ක්‍රිකට් තරගයක් නැරඹීමට ගිහින් තියෙන්නෙ. ඒ 1948 දී. මෙතෙක් ලොව බිහිවූ සුපිරිතම පිතිකරුවා ලෙසින් සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රුඩ්මන් ශ්‍රී ලංකා පැමිණ ක්‍රීඩා කරපු තරගයක් තමයි ඔහු නරඹලා තියෙන්නේ. ඒ කාලේ පර්සි අංකල්ගේ පදිංචිය ගාල්ලේ. මේ තරගය බලන්න ඔහු කොළඹට ඇවිත් තියෙන්නෙ වැඩිමහල් සහෝදරයන් දෙන්නත් එක්ක.

පස්සේ අංකල්ගේ දශක හයක විතර ක්‍රිකට් ජීවිතයේ නරඹපු තරග හා බැඳුණු රස කතා රැසක් තියෙනවා. ඔන්න පර්සි වැඩ අරඹපු මුල්කාලේ &සරා* ක්‍රීඩාංගණයේ තිබුණ තරගයක්. මේ තරග අතර ක්‍රීඩා පිටියට ඇතුළුවීම ප්‍රේක්ෂකයන්ට තහනම් කරලා. ඒ කොහොම වුණත් පර්සි අබේසේකරම කියලා තියෙන විදිහට, අසිත ජයසේකර කියන ක්‍රීඩකයා අර්ධ ශතකයක් ලබා ගැනීමේ සතුට පර්සිට දරාගන්න බැරිවෙලා. ඒ නිසා පර්සි පිටියට ගිහින් අසිතව වැළඳගෙන තියෙනවා.

පොලිස් අණ නොතකා වැඩකරපු පර්සිට අවසානයේ නතර වෙන්න වෙලා තියෙන්නෙ බොරැල්ල පොලීසියේ. ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සතාසිවම් මහත්මයා තමා අන්තිමට පර්සිව බේරාගෙන තියෙන්නෙ. ඉතිං ඒ නිසා ලංකාවේ අංක එකේ ක්‍රීඩාලෝලීයාගේ ආරම්භයම ටිකක් විතර අමුතු බව අපිට වැටහෙනවා.

ඔන්න තව තවත් අමුතු අපූරු කතාවක් තියෙනවා ඔහු ගැන. 1979 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ එංගලන්තෙ. AMW අනුග්‍රහයෙන් පර්සි අංකලුත් ගියා මේ සංචාරේට. මේක තමා ඔහුගේ මුල්ම සංචාරය. මේ සංචාරයට ඔහුට යන්න අරමුදලක් පවා පිහිටුවලා තිබුණ බව කියැවෙනවා.

කොහොම වුණත් ඔහු කියන විදිහට මේ ගමනින් කිසි පාඩුවක් සිද්ධ වුණේ නෑ. මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු අවසන් තරගය තිබුණේ ඉන්දියාවට එරෙහිව. පර්සිට එදා තව ශ්‍රී ලාංකික නාවිකයෝ පිරිසක් එකතුවෙලා හිටියා. එදා මුලින්ම පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 238ක් ලබාගත්තා.

අපේ ඉනිම අතරතුර තමා මේ සිදුවීම සිද්ධ වුණේ. දුලිප් ෙමන්ඩිස් ලකුණු තිස් ගණනක් ලබාගෙන හිටියේ. වේගයෙන් පහරදෙමින් සිටි දුලිප් ඉහළින් එල්ල කරපු පහරක් උඩපන්දුවක් ලෙසින් රුක ගැනීමට උත්සාහ කළේ ඒ කාලේ ප්‍රකට ඉන්දීය ක්‍රීඩකයෙක් වුණු බිෂන් බේඩි. පන්දුව උඩ යද්දීම පර්සි ක්‍රියාත්මක වුණා. පර්සි “බේඩි ඔන්න උඹේ පිටිපස්සෙන් තඩි බල්ලෙක් ඉන්නවා” යැයි මහා හඬින් කෑගැසුවේ ප්‍රේක්ෂකාගාර ඉඳගෙන. ඒ එක්ක අර නාවිකයෝ පිරිසත් පර්සිට එකතු වුණා. “බේඩි උඹ දැන් නාකියි. ඒ හින්දා ඕක අල්ලගන්න බැහැ” කියලා ඒ අයත් කෑ ගැහුවා. මේ කාලගෝට්ටිය නිසා අන්දමන්ද වූ ක්‍රීඩකයා අවසානයේ උඩපන්දුව අතඇරියා.

මේ එක්කම දුලිප් මෙන්ඩිස් පන්දු 57කින් වේගවත් ලකුණු 64ක් ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි මේ තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා. විශේෂත්වය තමා ඒ ජයග්‍රහණය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ මංගල ජයග්‍රහණය ලෙසින් සටහන් වීම. ඒ විතරකුත් නෙවෙයි ටෙස්ට් වරම් නොලද රටක් ටෙස්ට් වරම් ලැබූ රටකට එරෙහි ව ලබාගත් මුල්ම ජයග්‍රහණය ලෙසින් සටහන් අදටත් කියැවෙන්නේ මේ ජයග්‍රහණයම තමා.

ලොවවටා සිටින සුපිරි ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සියල්ලම පර්සි අංකල්ව හඳුනනවා. ලොව වටා විශිෂ්ට ක්‍රීඩකයන් සමඟ ඔහුට තියෙන සමීප අත්දැකීම් තිබෙනවා. ඇත්තටම පරම්පරා කිහිපයක ක්‍රිකට් මේ අපූරු ක්‍රීඩා ලෝලියා සියැසින් දැකලා තියෙනවා.
1985දී ඉන්දීය කණ්ඩායමට ලංකාවේ සංචාරය කරන කොට මොහොමඩ් අසාරුඩීන් නම් ඉන්දීය විශිෂ්ට පිතිකරුවාට පර්සි හූනියමක් කරන්න ගිය හැටි පිළිබඳවත් අපූරු කතාවක් තියෙනවා. මේ දිනවල ඉතාම ඉහළ දක්ෂතා අතර සිටි මේ ක්‍රීඩකයාව මානසිකව වට්ටන්න තමා පර්සි මේ වැඩේ කරලා තියෙන්නෙ. අසාරුඩීන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට බය බව දැනගත්ත පර්සි, පිටකොටුවෙන් ඇට මාලයක් අරගෙන බොරු මන්ත්‍ර ජප කර කර, ඉන්දීය කණ්ඩායම යන එන තැන්වලට ගිහිල්ලා තියෙනවා.

අසාරුඩීන් පුහුණුවීම් කළ වෙලාවට, ක්‍රීඩා විවේකාගාරයේ ඉන්න වෙලාවට විතරක් නෙවෙයි පන්දුවට පහරදෙන්නට පිටියට යන්නට සූදානම් වෙන අවස්ථාවලදීත් ඇට මාලය කරේ දාගත්ත පර්සි අසාරුඩීන්ට පේන්නට මන්තර ජප කරන බව කියනවා. කොහොම හරි මේ සංචාරයේ ටෙස්ට් තරග තුනේදීම එක අර්ධ ශතකයක්වත් ලබාගන්න අසාරුඩීන්ට බැරි වෙලා.

ඇත්තටම මේ වගේ කතා අපමණ තියෙනවා පර්සි අංකල් හා බැඳුණු. ඒ නිසා ඒ සියල්ල මෙහි ලියා තබන්න බෑ. ඉතින් මේ 87 වියැති අමුතු චරිතය වෙනුවෙන් අපි අවසානේ දිගාසිරි පතනවා. ඇත්තටම මේ වගේ චරිත අමුතු වුණත් උමතු වැඩ කළත්, අපේ ඉතිහාස කතාවලට එකතු කරන්න කරන්නේ අපූරු සෞන්දර්යයක්.

I නිසල්