2023 මාර්තු 19 වන ඉරිදා

රත්මලී පිරිසුදුම පිරිමියෙක් ! හමුවුණේ නෑ තවම...

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 178

රත්මලී...

ජීවිතය දැනෙන්නෙම ප්‍රේමයක් ඇති තැනක... 

ප්‍රේමයක් නැති තැනක් දඩඉමක් හැමදාම 
හදගැස්ම නොඅසාම පයෝධර තුඩු සිඹින 

පිරිමි පපුවක කොහෙද රත්මලී ආදරය.. පිරිසුදුම පිරිමියෙක්! හමුවුණේ නෑ තවම


අහන්න රත්මලී... පිරිසුදුම පිරිමියෙක්! හමුවුණේ නෑ තවම! නුඹට විතරක් නෙවෙයි තමන්ගේ සනුහුරේම ප්‍රේමය වෙනුවෙන් අමතක කරලා, අත්හැරලා තමන් ආදරය කරපු පිරිමියාගේ සිරස මත රජකමේ කිරුළ පළඳවන්න, ආල අනුවේදනාව වෙනුවෙන් අංශ්‍රමාත්‍රයක්වත් තමන්ට තමන් ඉතිරි කර නොගනිමින් හැමදේම තමන් පෙම් කරපු පිරිමියා වෙනුවෙන් දන් දුන්න, ඒ ලේ කුස දරාගෙන ගැහැනියක් දරන අසීමිතම  විලි රුදාවේ වේදනාව ඉවසාගෙන විජයගේ ලෙයින් දරු පැටවුන් දෙදෙනෙකුත් බිහි කර අවසානයේ තවත් ගැහැනියක් ඔහුට අවැසි වූ කල්හි සියල්ල අහිමි වූ ගැහැනියයි; කුවේණිය. ඒ ගැහැනියට, ඒ රුජනට අවසානයේ ප්‍රේමය වෙනුවෙන් ලැබුණු හිමිකම අහිමි වීම සහ මරණයයි. කුවේණියගේ පටන් ගුස්ටාව් ප්ලෝබෙයාර්ගේ එමා බොවාරි නවකතාවේ හුස්ම ගන්න ආදරය අංශුමාත්‍රයක් හොයාගෙන ජීවිතය පුරාම ඇවිදලා ඇවිදලා අවසානයේ මරණය තුරුල්ලට ඉල්ලා ගත්ත එමා බොවාරි දක්වා දන්න දන්න හුඟාක් ගැහැනුන්ට පිරිසිදුම පිරිමියෙක් හමුවුණේ නෑ තවම. ආදරය ජීවිතයම බවට පරිවර්තනය කර ගන්න පුළුවන්, පිරිමි පපුවක් ඉල්ලන හඬන ගැහැනියකගේ හදගැස්ම ඇයි රත්මලී හුඟාක් පිරිමින්ට නොතේරෙන්නේ... ගන්න හුස්මක් හුස්මක් ගාණේ ආදරණීය ගැහැනියක් පිරිමි පපුවක් කනිමින් හොයන ආදරය මොකක්ද කියලා තෙතක් රුඳිච්චි හදවතකින් තේරුම් ගන්න පුළුවන්, පියයුරු තුඩු වෙනුවට පපුව අස්සේ හදවත පිරිමදින්න පුළුවන්, හදවත පිරිසිඳ ලේ නහරයක් නහරයක් ගාණේ ආදරය වත්කරන්න පුළුවන්, එදා කුවේණියගේ ඉඳන් ආදරණීය හැම ගැහැනියක්ම ඉල්ලුව සොඳුරු පුරුෂාධිපත්‍යය පිරිමිකම අස්සේ නිර්වචනය කරගන්න දන්න පිරිසුදුම පිරිමියෙක් දන්න දන්න හුඟක් ගැහැනුන්ට තවම නම් හමුවුණේ නෑ රත්මලී...

ඔයාගේ ඇස් අග්ගිස්සෙන් පොළොවට වැටිච්ච කඳුළු දහරාවක, එක කඳුළු බිංදුවක් පිහදාන්න, ඔයාගේ ළය ලෙය කැකෑරෙන ගින්දරට වතුර බින්ඳුවක් ඉහින්න, වියරු වැටිච්ච ආත්මයේ විලාපය, කෙඳිරිල්ල අහන්න, දඩයක්කාර පිරිමිකම ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන කාලි අම්මාගේ පපුවටම රිංගාගෙන යක්ෂ වේෂයෙන් දඟලන ඔයාගේ ජීවිතයේ අප්‍රමාණ රිදුණු තැන්, සීරීම්, ලේ තැලුම්, පිළිකාවන් ගැන විමසන්න කාත් කවුරුත්ම අස නොරුඳිච්චි එක්තරා දවසක එක්තරා හුදෙකලාවක 7 ශ්‍රී 7177 රතු පාට ෆෝඩ් කැප්රි කාර් එකේ සුක්කානම අතට ගත්ත ප්‍රියංකර ජයනාත්ට පුළුවන් වුණා ආදරය පිරිනමපු පිරිමි අත් දෙකින්ම ඔයාට මරණයත් පිරිනමන්න. මරණයේ කළු පාට වස්ත්‍රයෙන් ඔයාගේ ජීවිතයම වහලා දාන්න. ඔයාගේ ජීවිතයේ ඉරුණු තැන්, මැහුම් ගැලවිච්ච, පාට වියැකිච්ච හැම තැනක්ම ඒ අමු කළු වස්ත්‍රයෙන් වහලා දාන්න.

රත්මලී උඹ ඌත් එක්ක රෝන්දෙ ගිය, උඹ ඌත් එක්ක ප්‍රේමයේ රහ හොයපු, ඕනෑ තරම් පැය ගණන් ඒ රතු පාට කාර් එක අස්සේ මතක විදිහට හැංගිලා තියෙන්න ඇති. උඹ විශ්වාස කරපු, ඒත් උඹ රුවටිච්ච උඹ ආදරය කියලා හිතපු පිරිමියෙක්ගේ පාදඩ හිතක ඉපදිච්ච සල්ලාල හැඟීම් ගුලාවක අතරමං වෙද්දි ඇයි ඔයා ඔයාගෙන් නොඇහුවෙ දඩබිමක ප්‍රේමයක් තිබුණාද ඇත්තටම කියලා.

රත්මලී... ආඥාදායක පිරිමි පපුවක් ඉදිරියේ දණ ගහගෙන මුනිවර ප්‍රේමයක් ඉල්ලපු පළමු සහ අවසාන ගැහැනිය ඔයා නෙවෙයි.. සොඳුරු පුරුෂාධිපත්‍යයක දැවටෙන්න ඉඩ ඉල්ලන, ගිම් නිවන්න උරහිස දන් දෙන පිරිමියෙක්ගේ උරතලය මත හිස තියාගෙන ලෞකිකත්වය තුළ නිර්වාණය ඉල්ලන, විඳින්න, සැනසෙන්න, නිවෙන්න එක මොහොතක් ඉල්ලන, සාගරයක් සේ අනන්ත ආදරයක් දන් දීගෙන බිංදුමාත්‍රික ආදරයක් අයදින ගෑනු ලෝකයේ හිටපු තරම් සහ ඉන්න තරම් කොච්චරක්ද කියලා කවදාවත් ගණන් කරන්න නම් බෑ රත්මලී...

රත්මලී.. දඩඉම දිගේ අකුරු වියමනක යෙදෙද්දි මේ දැනුත්, ඔව් රත්මලී මේ දැනුත් ඔව් මේ දැනුත් අනේ මට ඇහෙනවා එදා කාත් කවුරුත් නැති නිරුදක මුඩු බිමක, පිනි කඳුළක්, ලේ කඳුළක් නැති වැලි කතරක ජීවිතය සහ ආදරය අංශුමාත්‍රයක් ඉල්ලගෙන හදවතක් නැති පිරිමියෙක් ඉස්සරහ ඔයා නගපු විලාපයේ අප්‍රමාණ දෝංකාරය, හිතාගන්න බැරි වේගයකින් ගැහිච්ච ඔයාගේ හදවතේ හදගැස්ම මට දැනෙනවා රත්මලී මේ දැනුත්... මේ දැනුත්... ඔව් රත්මලී මේ දැනුත් මට ඒ විලාපය, ඒ හදගැස්ම ඇහෙනවා...

රත්මලී... ඔව් මම දන්නවා දඩබිමක අවසාන දඩයම නුඹ නොවන වග ඉඳුරාම! 

ඒක එහෙමයි.. නෑ ඒක එහෙමමයි නේද? 

පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරාට ඒ මගේ පළමු ප්‍රශ්නයයි. 

ඒ ප්‍රශ්නයට නිමිත්ත - දඩඉම - නවකතාව සහ නුදුරේම ඔබ අබිමුවට සපැමිණෙන දඩඉම සිනමා රෑපකාරකයයි. ඒ දෙකේම අයිතිකාරයාටයි මගේ ඒ පළමු ප්‍රශ්නය.

මෙන්න පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරාගේ උත්තරය. 

ගැහැනියක් ඉල්ලන්නේ පිරිමිකම ඇතුළේ තමන්ට අවැසි රුකවරණය, ආරක්ෂාව, ආදරය වැනි මානවීය අවශ්‍යතා. මනුෂ්‍යත්වයේ ස්වරෑපයෙන් ගැහැනියක් පිරිමියෙකුට අවනත වීම තුළ ඇය ඉල්ලන්නේ රළු පරළු පිරිමිකමක් වෙනුවට සොඳුරු පුරුෂාධිපත්‍යයක්. අවනත වීම සහ යටත් වීම කියන්නේ සංකල්ප දෙකක්. ගැහැනියක් සුන්දර ලෙස කියවමින් ඇයට අවශ්‍ය ජීවිතය ඇය වෙත පිරිනමද්දී ඇය පිරිමියෙක් යටත් කරගන්න උත්සාහ කරන්නෙ නෑ, අවනත වෙනවා මිසක්. ඇය එය සුන්දර ලෙස විඳිද්දි ඇය සහකම්පන ගුණයෙන් යුතුව ප්‍රතිචාර දක්වනවා. පිරිමියෙක්ගේ පාලනය අවශ්‍ය තැන අවශ්‍ය විදිහට පවතිද්දී ගැහැනියක් ඊට එරෙහිව කෑ ගහගෙන එළියට බහින්නෙ නැහැ. ගැහැනියකට පිරිමියෙක්ගෙන් අවශ්‍ය රුකවරණය ආරක්ෂාව ආදරය වගේම පිරිමියෙකුට ගැහැනියකගෙන් අවශ්‍ය ආදරය රුකවරණය ආරක්ෂාවත් එවැනි ඉඩහසරක් තුළ ලැබෙනවා. මම එය අත්දැකීමෙන් විඳිනවා. මගේ ආදරණීය බිරිඳ වෛද්‍ය නිශානි ප්‍රනාන්දු ඇය මම රූ කීයට ගෙදර ගියත් බත් කන්න ඉඳගනිද්දි මගේ ළඟ ඉඳගෙන මට බත් එක බෙදලා දීලා ඇය මා වෙත දක්වන ආදරය රුකවරණය සැලකිල්ල නිහඬව මට සන්නිවේදනය කරනවා. මහන්සිය දැනෙන මොහොතෙ මම ඇඳට ගියොත් ඇය බත් එක බෙදාගෙන ඇවිත් මගේ අතට දෙනවා. මම උදේට ඇහැරෙන්නේ ඇය මම උදේට ගන්න බෙහෙත් පෙත්තකුත් එක්ක උණුසුම් තේ කෝප්පයක් මට පිරිනමන මොහොතේ. කවදාවත් ඇය ඒ දේවල් මේ තාක් මඟහැරලා නැහැ. ඇය මවෙත දක්වන ඒ සෙනෙහස, අවධානය, රුකවරණය මේ සියල්ල පිටුපස තියෙන්නේ ඇය මවෙතින් විඳින සොඳුරු පුරුෂාධිපත්‍යයක සතුට. වින්දනය. එවැනි ගැහැනියකගෙන් පිරිමියෙකු ලබන සතුට කියලා නිම කරන්න බැහැ. හැබැයි පිරිමියෙක් කොතැනකදි හරි හිතනවනම් ආඥාදායකයෙක් වෙන්න, ඇයව යටත් කරගන්න, එතනදි ගැහැනියකගේ ප්‍රතිචාර දරදඬු වෙන්න පුළුවන්.

දඩයම චිත්‍රපටයේදී ඒ ඝාතකයාට දඬුවමක් ලැබුණේ නෑ. දඩයම චිත්‍රපටයට ප්‍රස්තුත වූ සත්‍ය කතාවේදී ඒ ඝාතකයාට මරණ දඬුවම හිමිවුණත් සිනමාව තුළ ඔහු දඬුවමක් වින්ඳේ නැහැ. මගේ අවශ්‍යතාවය වුණේ දඩඉම තුළ ඒ ඝාතකයාට දඬුවම ලබා දෙන්න. ප්‍රියංකර ජයනාත් ඝාතකයෙක් වීමෙන් පසු කීර්ති ගජනායක විදිහට සමාජය ඉදිරියේ පෙනී ඉන්නෙ නම්බුකාර ජනාධිපති නීතිඥයෙක් විදිහට. ප්‍රියංකර ජයනාත්ගේ නමින් හිටියත් කීර්ති ගජනායකගේ නමින් හිටියත්, ඒ භෞතික ශරීරය ඇතුළේ ඉන්නේ එකම පිරිමියෙක්. රත්මලීගේ ඝාතකයා වීමේ සංසිද්ධිය විෂයෙහි ඇය ද වගකිව යුතු බවට ඔහු පිරිමියෙක් ලෙස ගොඩනගන තර්කය ඔහු විසින්ම වරෙක සාධාරණීකරණය කළත් අවසානයේ ඔහුට ඔහු හමුවේම පිළිගැනීමට සිදුවෙනවා ඔහු අපරාධයකට වගකිව යුතු අපරාධකරුවෙක් වග...

කියවන්න ඉඩ දෙන්න මට දඩඉම නවකතාවේ පිටු අංක 215 ඉඳන් 217 වෙනකම්...

''රෝහිණීගේ වචන මුලදී මෙන් දැන් සෞම්‍ය නොමැත. ඇය ද සැපින්නක් සේ පෙනේ පුප්පා දෂ්ඨ කරන්න පනින්නේය.

''මොකක්ද උඹ කිව්වේ. දරුවො දෙන්නෙක්. ආ යකෝ... උඹ කොහොමද කියන්නේ ඒ මගේම දරුවෝ කියලා. මගෙත් එක්ක එහෙමම ආශ්‍රයක් තිබ්බේ නෑ.'' මම ගිනිගෙන ගිගිරුවෙමි.

ඇත්තෙන්ම මා පුටුවෙන් සිටගැනුණේ අධික කේන්තියටය. පුපුරා ගිය ක්‍රෝධයෙහි බොරු රඟපෑමක් තිබුණේ නැත. ඇය දෙසට දිගු කළ මගේ දබරුඟිල්ල කේන්තියට වෙව්ලන්නේය. වෙව්ලන්නා වූ ඇඟිලි පාලනය කර ගැනීමට මම මිටි මොලොවා ගතිමි. නාඩි වැටීම උපරිමයට ළං වී ඇත්තේය.

''මේ මිනිහෝ... මම උඹට සාප කරන්නේ නැහැ. මොකද, ලෝකේ වෙන ඕන හැටියේ ඉන්නවා උඹ වගේ බුරියෙන් පහළ මානසිකත්වයක් තියෙන වනචර පාදඩ අවලම් බල්ලෝ. බඩේ ඉන්නේ තමන්ගෙන් ලැබෙන්න ඉන්න ළමයා නෙවෙයි කියන නපුංසකයෝ.''

ඇගේ මුවින් පිටවූ සෑම වචනයක්ම මගේ ඇට මිදුළු දක්වා කිඳා බැස්සේය. සෑම වචනයක්ම කන් තුළ දෝංකාරය දුන්නේය. බුරියෙන් පහළ මානසිකත්වය යනු කුමක්දැයි තවදුරටත් විග්‍රහ කොට පහදා දීමට මට අවශ්‍ය නොවන්නේය. මගේ ඉවසුම පහව ගොසින් ඇත.

''මොකක්ද උඹ කියන්නේ, පරට්ටි. උඹ හිතන ජාතියේ බලු වැඩ මම කරලා නෑ යකෝ. ඒකිට ළමයි හම්බවුණානම් ඒ බැල්ලිගේ වලත්තකමට මිසක් මම ඒකට වගකියන්න ඕනේ නෑ. මම ඕකිට ළමයි හම්බවුණාද කියලා දන්නෙත් නෑ.''
''ඒ වුණත් උඹට අමතකද එදා රෑ අපේ දුප්පත් පැලට ඇවිල්ලා %පුතේ, පුතේ^ කිය කියා ඒ කොලු පැටියව හුරතල් කෙරුවා?''

මේ ගෑනි මට අමතක වූ මුළු අතීතයම සිහි කරමින් මට තර්ජනය කරන්නේය. මෙම දඩබිම උණුසුම් වෙමින් පවතී. මගේ මුළු ගතම වෙව්ලන්නේය. නාඩි වේගය උපරිමයට පැමිණ ඇත. මනසට කිසිවක් සිහිවන්නේ නැත. රික්තකයක් තුළ නිසොල්මන්ව ඇති අංශුවක් මෙන් මගේ සිතුවිලි එක්තැන් වී ඇත. ගොලු වූ මුවින්, දත් කූරු අතුරින්, ගොත ගැසුණ ස්වරයෙන්, රකුසකුගෙන් පිටවන ගින්දර මෙන් මට කෑගැසිණ...

''යකෝ පර බැල්ලී... උඹ.. උඹ කවුද පරට්ටි මගේ තැනට ඇවිල්ලා මෙතන අඩි හප්පන්න. උඹ.. උඹ මාව දන්නෑ හරියට. නංගි වගේ උඹත් මැරුම් නොකා බැහැපිය පරට්ට බැල්ලි එළියට. තෝ.. තෝත් මගෙන්..''

''අන්න උඹ කිව්වා...'' රෝහිණී අසුනින් නැගිට්ටාය. ඈ ඉතාමත් සන්සුන් ලෙස පැවසුවාය.

''මම දන්නවා උඹ මගේ නංගිව මැරුවා කියලා. ඒක උඹේ වචනෙන්ම ඔප්පු කළා. ඒ විතරක් නෙවෙයි, නංගිගේ බඩේ හිටපු ළමයාවත් උඹ ඒ ගමන්ම මැරුවා. පීටර් අයියගේ ගෑනි කිව්වට ඒක රිය අනතුරක් කියලා එහෙම නෙවෙයි, ඒක මිනීමැරුමක්. උඹ මගේ නංගිව ඝාතනය කරලා ඒක සාමාන්‍ය වාහන අනතුරක් කියලා පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි, උඹත් ඒකෙදි මැරුණා කියලා මුළු රටම මුලා කෙරුවා.''

රෝහිණී මෙසේ කියමින් මා දෙසට අඩි කිහිපයක් ඉදිරියට පැමිණියාය. කේන්තිය කොපමණ පාලනය කිරීමට උත්සාහ දැරුවත් රත්මලීට උපන් දරුවන් මෙම වාදයට එක්කර ගැනීමෙන් මා අසරණ තත්ත්වයට පත් කළේය. මා අතින් සිදුවූ රත්මලීගේ ඝාතනය, වසර තිහකට පසුව මුල්ම වරට මගේ මුවෙන් පිටවූ වචනයෙන්ම මම පිළිගත්තෙමි.

''ජීවත්වෙන කාලෙදී මහා අපරාධයක් කරලා ඒක හංගනවා කියන්නේ නිකං හුළං පුරවපු බෝලයක් වතුර යට හංගනවා වගේ දෙයක්. කොහොම හරි ඒක ජබොක් ගාලා උඩටම එනවා. උඹ විතරක් නෙවෙයි, උඹ වගේම පාදඩ මිනීමරුවෝ ඕන තරම් මෝ ලෝකේ, ලංකාවේ ජීවත් වෙනවා. උන් හිතන් ඉන්නේ සුදු රෙද්දෙන් වසාගත්තම ඒ ලේ පැල්ලම් පේන්නෑ කියලයි. උඹලා කරන පාදඩ වැඩවල ලේ පැල්ලම් හිටින්නේ රෙද්දෙවත් අත්වලවත් නෙවෙයි බල්ලෝ, උඹලගේ පපුවේ. ඒවා උඹලට නොපෙනුණාට ඉදිරියෙන් ඉන්න අපිට ඒවා හොඳට පේනවා.'' (දඩඉම - සරසවි ප්‍රකාශන)

ලොව ඇති බලවත්ම අධිකරණය තමන්ගේ හෘද සාක්ෂිය වග මම ඉඳුරාම පිළිගනිමි. කවර අධිකරණයකින් ගැලවුණත් හෘද සාක්ෂිය නැමැති විනිසුරු ඉදිරියේ වග වෙන්නට මොහොතක් සපැමිණෙනු නියතය. ඔබ ඔබ මඟහැරියත් පුළුවන්ද ඔබට ඒ විනිසුරු මඟහරින්න.!

රත්මලීගේ ජීවිතයේ අවසන් පරිච්ඡේදය ලිව්වේ සර්ව බලධාරී අයිතිකාරත්වයක් නිශේධාත්මක ලෙස අතට ගත් ප්‍රියංකර ජයනාත්ගේ අලුගෝසු මානසිකත්වයයි...

අපරාධය සහ වරද?

අපරාධය සහ වරදට හේතුව?

අපරාධය සහ වරද පිටුපස සැඟවුණ සාධාරණ හෝ අසාධාරණ හේතුව හෝ හේතූන්?

අපරාධය විෂයෙහි දඬුවමට පෙර සංස්ලේෂණාත්මකව සහ විශ්ලේෂණාත්මකව ඒ සියල්ල විවරණය කළ යුතුමය. අපරාධය විෂයෙහි දඬුවමත් වින්දිතයා විෂයෙහි යුක්තියත් පසිඳලිය යුත්තේ ඉනික්බිතිවයැයි මම විශ්වාස කරමි. 

නීතිය යනු යුක්තිය සහ සාධාරණත්වය විනිශ්චය කරන අපක්ෂපාතී සර්ව බලධාරීත්වය යැයි නම් ලද්දත් එහි තුලාවේ දිශානතිය සෑම අපරාධයක් විෂයෙහිම සාධාරණ මානයක් කරා විහිදුණේදැයි මම නොදනිමි... එහෙත් එය එසේ නොවුණු තැන්ද අල්පමාත්‍රික නොවන වග සාක්ෂි විරහිතව වුව නිරපේක්ෂකවම විශ්වාස කළ හැකිද? විශ්වාස කළ යුතුද? ඔබේ උත්තරය වෙනුවෙන් මම හිස්තැනක් ඉතුරු කර තබමි...

දඩඉම නවකතාවේ හැම අකුරක් අකුරක් ගාණේම රුඳී ඇත්තේ රත්මලීගේ මෙතෙක් නෑසුණු හදගැස්මේ ප්‍රකම්පනයයි. දඩඉම සිනමා රෑපකාරකය තවමත් දෑස අබිමුව දිගනොහැරුණ හෙයින් ඒ පිළිබඳව විනිශ්චය පසුවට කල් තබමි...

අවසන...

ඉතිහාසය පුරාවටත් මේ මොහොතේත් පිරිමි පපු කනිමින් ආදරය මහ මෙරක් නොව අංශුමාත්‍රයක් වුව සොයන ගැහැනුන් සුවහසක් මෙදියත සිටින වග මම විශ්වාස කරමි. ප්‍රේමය සොයන ගැහැනුන් සිටින වග මම විශ්වාස කරමි. ජාති, ආගම්, කුල, පන්ති සියලු නිර්ණායකයන්ගෙන් වියුක්තව ගැහැනුකම තුළ පිරිමි පපු කැන කැන ආදරයත් ප්‍රේමයත් සොයන්න වෙහෙසෙන වග මම විශ්වාස කරමි.

ඔව්
අවසන 
ඉතිහාසය පුරාවටත්
මේ මොහොතේත්

පියවරුන් නැති දරුවන් කුස දරන, අත්හැර දැමූ තනිකර දැමූ වේදනාවෙන් ඉකිලන, සැර බැණුම්, අඩන්තේට්ටම් උසුලන, දරදඬු, පුරුෂ ආඥාදායකත්වයේ මෙකී නොකී රළු රිදුම් බොහෝ ඉවසන, ඉවසමින් නිහඬව හඬන, ඉකිලන ගැහැනුන් බොහෝ සිටින වග මම දනිමි... පිරිමි අත්වලින් කෙළෙසන, දූෂණය වන ගැහැනුන් සිටින වග මම දනිමි...

දඩබිමත් දඩයක්කරුවනුත් ඉඳින් තවමත් සක්‍රීයයි!

සොහොන් යට නිදන රත්මලීලාත් හුස්මක් වැටෙන නිසා ජීවත් වෙන රත්මලීලාත් අප්‍රමාණයි!

ඒ යථාර්ථය යළි යළිඳු සිහිගැන්වූවාට පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරා... ඔබට ඇත්තටම බොහොමත් ස්තූතියි!

I සංජීවිකා