2023 මාර්තු 19 වන ඉරිදා

කොරියාවේ හීනයක් ’පබා’ - සුරන් දසනායක

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 05:59 32


සුරන් කියන්නෙ ඔයාලට ටිකක් නුහුරු කෙනෙක් කියලා හිතුණට සුරන් කියන්නෙ සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණු ජාත්‍යන්තර සම්මාන දිනූ කලාකරුවෙක්. මේ දවස්වල නිර්මාණ කිහිපයකටම සම්බන්ධවෙලා ඉන්න නිසා සුරන් ටිකක් කාර්යබහුලයි කියලයි අපිට ආරංචි වුණේ.

මහේෂ් රත්සර මද්දුමආරච්චි තිර රචනය කළ, ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණු (පබා) ටෙලිනාට්‍යයෙන් තමයි සුරන්ගේ ආරම්භය සනිටුහන් වුණේ.

''මම සම්බන්ධ වුණු මුල්ම නිර්මාණය තමයි (පබා) ටෙලිනාට්‍යය. මහේෂ් රත්සර මද්දුමආරච්චි කියන්නෙ අපේ පවුලට ලොකු හිතවත්කමක් තියෙන කෙනෙක්. පාසලෙන් අයින් වුණාට පස්සෙ මම කොරියාවේ රැකියාවකට ගියා. ඒ කාලෙ (පබා) ටෙලිනාට්‍ය පුදුම විදිහට ජනප්‍රියයි. කොරියාවේ කොල්ලො ඒ කාලේ (පබා) යූටියුබ් එකෙන් නොවරදවාම බැලුවා. අවුරුදු කිහිපයක් කොරියාවේ හිටපු මම ලංකාවට ආවා. මහේෂ් අයියගේ ගෙදර ගිය වෙලාවක ''මල්ලි ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න බැරිද?'' කියලා ඇහුවා. එක මට මාර (සප්‍රයිස්) එකක් වුණා. එදා සමගිපුර වසන්තගේ ගෝලයෙක් විදිහට තමයි මම මුලින්ම (පබා) ටෙලිනාට්‍ය ඔස්සේ රංගනයට සම්බන්ධ වුණේ. මම කවදාවත් රඟපාලා හෝ කාටවත් ''මම රඟපානවා'' කියලා නැහැ. ඉතින් (පබා) ටෙලිනාට්‍යයේ රඟපානවා කියලා මම කොරියාවේ මගේ යාළුවන්ට වුණත් කිව්වෙ නැහැ. හැබැයි ඒ අය මාව දැකලා මට ඇමතුම් ලැබෙද්දි මම මාර (සප්‍රයිස්) වුණා.''

ඒ සතුට මාරයි ඈ...

කාටවත් කිව්වෙ නැතිවුණාට තමන් ආසාවෙන් රඟපාපු ටෙලි නිර්මාණය මුලින්ම පුංචි තිරය ඔස්සේ දකිද්දි ඒක මාර සතුටක්නෙ. ඉතින් සුරනුත් ඒ අත්දැකීම විඳලා තිබුණා.

''මම ආසාවෙන් හිටපු ටෙලිනාට්‍යයේ මම රඟපාලා ඒක මුලින්ම රූපවාහිනියෙන් දකිද්දි ඒක මට පුදුම සතුටක් වුණා. ඒක මාර (සප්‍රයිස්) එකක්. ඉස්කෝලෙ යන කාලෙදි වුණත් මම නාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මම කරපු දේ දකින්න මට ලොකු ආසාවක් තිබුණා. ඒක මුලින්ම රූපවාහිනියෙන් දකිද්දි ඒ ඇතිවුණු හැඟීම කියන්න තේරෙන්නෙ නැහැ. ඒක වෙනමම හැඟීමක්.''

අදටත් පාපන්දු අත්හැරලා නෑ

සුරන් පාසලේදි නාට්‍ය අංශයට සම්බන්ධ නොවුණට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඔහු හොඳ ක්‍රීඩකයෙක්.

''මීගමුව මාරිස්ටෙලා විදුහල තමයි මගේ ජීවිතයේ හැරවුම වුණේ. මම ක්‍රීඩාවලට සම්බන්ධ වුණා. විශේෂයෙන් මම පාපන්දු ක්‍රීඩකයෙක්. ක්‍රීඩාවට මම කොයි තරම් සමීප කෙනෙක්ද කියනවා නම් මාරිස්ටෙලා විදුහලේ වසර කිහිපයක්ම ක්‍රීඩා කරපු මම අද වෙද්දි ඒ පාසලේ පාපන්දු පුහුණුකරුවෙක් විදිහට සේවය කරනවා. ඒකත් මගේ ජීවිතේ (සප්‍රයිස්) එකක්.''

මේ දවස්වල වැඩ වැඩියි

මේ දිනවල අලුත් නිර්මාණ හතරකට සම්බන්ධවෙලා ඉන්නවා. එයින් නිර්මාණ තුනක රූගත කිරීම් පටන් අරගෙන තියෙනවා. ෂෙනාල්ගේ (අළු පාට හීනය) ටෙලිනාට්‍යයටත් පසිඳුගේ (විඳින්න ජීවිතේ) ටෙලිනාට්‍යයටත් මේ දිනවල විකාශය වන (ජානු) ටෙලිනාට්‍යයටත් රංගනයෙන් සම්බන්ධවෙලා ඉන්නවා. ඉතින් මේ විදිහට එකදිගට රංගනයට සම්බන්ධ වීමත් මගේ ජීවිතේ (සප්‍රයිස්) එකක් තමයි. සිනමාවේ මගේ මුල්ම රංගනය 1970 (ලව් ස්ටෝරි) චිත්‍රපටයයි. ඊටපස්සෙ සිනමාවේ මගේ ජීවිතය වෙනස් කළේ (මාරියා) චිත්‍රපටයයි.''

දවස් ගාණක් මුහුද මැද

අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ (මාරියා) චිත්‍රපටයේ සුරන් රඟපෑවේ සිනමාවේ දැවැන්ත රංගන ශිල්පීන් හයදෙනෙක් එක්කයි. සුරන් කියන විදිහට එය ඔහුගේ ජීවිතේ සුවිශේෂී අත්දැකීමක්.

''ලංකාවේ ඉන්න හොඳ රංගන ශිල්පීන් හයදෙනෙක් එක්ක තමයි ආධුනිකයෙක් විදිහට මට රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම ඒක සුවිශේෂී අත්දැකීමක් සහ මගේ ජීවිතේ ලොකු (සප්‍රයිස්) එකක්. ඒ අවස්ථාව ලැබුණාම මට සම්මානයක් ලැබුණා වගේ දැනුණා. ඒ දැවැන්ත රංගන ශිල්පීන් එක්ක වැඩ කරද්දි මට ජාත්‍යන්තර සම්මානයක් ලැබුණා වගේ දැනුණා. ඒක තනිකරම පාසලක්. අපි දවස් ගාණක්ම හිටියේ මුහුද මැද තිබුණු බෝට්ටුවකයි. ලංකාවේ කිසිම අලුත් නළුවෙක්ට ලබන්න බැරි අත්දැකීම් ගොන්නක් මම ලැබුවා. දවස් විසි ගාණක් බෝට්ටුවක් ඇතුළේ ඉඳීමත් එක්තරා (සප්‍රයිස්) එකක් තමයි.''

ලොකු අයියා එක්ක කේරළයට ගියා

(මාරියා) නිසා ජාත්‍යන්තර සම්මාන උළෙලකටත් ගියා

(මාරියා) චිත්‍රපටයට අපිට ජාත්‍යන්තර සම්මාන ලැබුණා. ඒක මට නම් (සප්‍රයිස්) එකක්. ලංකාවේ අපිට සම්මානයක් ලැබුණාම ''ආ.. අරයගේ පස්සෙන් ගිහින් සම්මානයක් ගත්තා. මෙයාගෙන් පස්සෙන් ගිහින් සම්මානයක් ගත්තා.'' කියලා එක එක කතා කියනවනෙ. හැබැයි මේක ජාත්‍යන්තර සම්මානයක්. (මාරියා) නිසා අපිට ජාත්‍යන්තර සම්මාන උළෙලවලට ආරාධනා ලැබුණා. ඒවාට සහභාගි වෙන්න ලැබීමත් ලොකු (සප්‍රයිස්) එකක්. එක පාරක් අපේ ලොකු අයියා (මහේන්ද්‍ර පෙරේරා) එක්ක කේරළයට යන්න මට අවස්ථාව ලැබුණා. සම්මාන උළෙලෙදි ලබපු අත්දැකීම මාරයි. ඒ වගේම ලංකාවේ ජනප්‍රියම නළුවා වුණු හේමල් එක්කත් ඉන්දියාවේ ජයපූර්වලට සම්මාන උළෙලකට යන්න අවස්ථාව ලැබුණා. ඒකත් මාර සතුටක් වගේම ලොකු (සප්‍රයිස්) එකක්.

I දිශානි