2023 මාර්තු 19 වන ඉරිදා

අංක එකට නාටූ නාටූ

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 76

ඔස්කාර් සම්මානය දිනූ මුල්ම ඉන්දියානු චිත්‍රපට ගීතය සහ ආසියානු චිත්‍රපටයකින්  ඔස්කාර් ජයග්‍රහණය දිනූ පළමු ගීතය බවට ඉතිහාසගත වාර්තාවක් තැබීමට මේ දිනවල ජනප්‍රිය RRR චිත්‍රපටයේ Naatu Naatu ගීතය සමත් විය. ඉන්දියාව තුළ මෙන්ම ඉන් පිටතත් වැඩිම ජන ප්‍රසාදයකට ලක්වූ මේ තෙලිඟු චිත්‍රපටය මෙවර 95 වැනි ඇකඩමි සම්මාන උළෙලේදී මුල්තැන දිනාගත්තේ සංගීත ලෝකයේ පෙරළිකාර ලේඩි ගාගා සහ රිහානා වැනි ජනකාන්ත තරු දෙවැනි පෙළට ඇද දමමිනි.

Naatu Naatu ගීතයේ සිත් බඳනා සුළු නැටවෙන නාද රටාව සහ ඒ ගීතය සඳහා යෙදූ අපූර්ව වූ නර්තන පෙළගැස්ම ලොව පුරා ප්‍රේක්ෂකයන් දැඩි ආකර්ෂණයකට ලක්කර ගැනීමට සමත් විය.

තෙලිඟු බසින් නිපැයූ RRR, චිත්‍රපටය සඳහාම ලියැවුණු මේ ගීතය ඉකුත් ජනවාරියේදි හොඳම චිත්‍රපට ගීතයට හිමි Golden Globe සම්මානය ද දිනාගත්තේ ඒ සම්මානය ද මුල්වරට ඉන්දියාවට හිමිකර දෙමිනි. ඒ මාසයේදීම විචාරකයන්ගේ හොඳම තේරීම ලෙස සම්මාන දිනා ගැනීමටද නාටූ-නාටූ හෙවත් තෙලිඟු බසින් ‘ගමේ-ගොඩේ’ යන අදහස දෙන මේ අපූරු ගීතය සමත් විය.  

RRR හි ප්‍රධාන නළුවන් වන එන්.ටී රාමා රාඕ Jr සහ රාම් චරන් යුවළ ඉදිරිපත් කරන අපූරු hook step dance ජවාත්මක නර්තනය හේතුවෙන් මේ ගීතය ඉතා ඉක්මනින්ම ජනප්‍රිය විය. මේ ගීතය තුළ ඔවුන් මවන්නේ සියලු කරදර අමතක කර නටන්නයැයි ගයමින් සියලු දෙනා ආකර්ෂණය කරගත් ජවාත්මක නර්තන සටනකි. ඒ නර්තන ජවයට තිරයෙන් එපිට ලෝකයද කැළඹී ඇදී යයි. 

චන්ද්‍රබෝස්ගේ පද රචනය සහ එම්.එම්. කීරවානි විසින් සංගීත නාද රචනය  කරන ලද මේ ඉන්දියානු තෙලිඟු භාෂා ගීතය, මුලින් Lahari Music සහ T-Series විසින් නිකුත් කළ ගීත ඇල්බමයක දෙවැනි ගීතය ලෙස 2021 නොවැම්බර් 10 වැනි දින නිකුත් කර තිබුණි.       රාහුල් සිප්ලිගුන්ජ් සහ කාල බහිරව විසින් සිය ජවාත්මක හඬ පෞරුෂයෙන් පණපොවන ලද ගීතය 2022 දී RRR හි ශබ්ද පට ඇල්බමය සඳහා මුලින් පටිගත කරන ලදී. චිත්‍රපටයේ ඍජු දර්ශන ද ඇතුළත් සම්පූර්ණ වීඩියෝ ගීතය 2022 අප්‍රේල් 11 වැනි දින යූටියුබ් හි ප්‍රදර්ශනයට නිකුත් කර තිබුණි. එය නිකුත් වී පැය 24ක් ඇතුළත, මෙම ගීතය වැඩිම පිරිසක් නරඹන ලද තෙලිඟු ගීතය බවට පත්වෙමින් තෙලිඟු භාෂාවෙන් මිලියන 17කට අධිකව නරඹා තිබුණි. YouTube හි ඉන්දීය භාෂා පහෙන්ම මිලියන 35ක් නැරඹූහ. එය මනාප මිලියනයක් ඉක්මවා ගිය වේගවත්ම තෙලිඟු ගීතය බවටද පත් විය.  2022 පෙබරවාරි මාසයේදී, මෙම ගීතය සියලුම භාෂාවලින් මිලියන 200 කට අධික නැරඹුම් ප්‍රමාණයක් ඉක්මවා ගොස් තිබුණි.

මේ විශිෂ්ට ගීතය නිෂ්පාදනය කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලියට මාස 19ක් ගතව තිබුණි.  කීරවානි පිටපතේ එම විශේෂිත අවස්ථාව පදනම් කරගෙන විවිධ තනු 10ක් හෝ 20ක් රචනා කර ඇත. පසුව, කණ්ඩායම ඔවුන්ගේ මෙම විශේෂිත නැටවෙන ගී තනුව  තෝරාගන තිබුණි.

චන්ද්‍රබෝස් මෙහි ගී පද රචනා කර ඇත්තේ ඔහුගේ ළමා කාලයේ මතකයන් පදනම් කර ගනිමිනි. චන්ද්‍රබෝස් පවසන පරිදි, ඔහු දින භාගයක් තුළ ගීතයෙන් 90% ක්ම ලියා තිබේ. නමුත් ඉතිරි 10% ලිවීමට ඔහුට වසර 1.7 ක් ගතව ඇත.

තනු නිර්මාපක කීරවානි ඉන්දියානු ගම්මානවල ජන ගීවල සාම්ප්‍රදායික තාල රටා මේ සඳහා ඈඳා ගත්තේය. මෙහිදි කීරවානි මූලික වාදනය සඳහා ඉන්දියානු හම් බෙරයක් භාවිත කළ අතර සෙසු තනු රටා නාද රිද්ම මැවීමට මැන්ඩලිනයක් ද එක් කර ගත්තේය. මෙම ගීතය පුරාම දකුණු ඉන්දීය සංගීතයේ ජනප්‍රිය 6/8 බීට්, රිද්මය අඛණ්ඩව ප්‍රේක්ෂකයන් අසුන්වලින් ඔසවමින් නර්තනයට බලකෙරෙන අයුරින් සූර ලෙස යොදාගෙන තිබේ. ඒ එසැවීමම මේ ගීතය ඔස්කාර් දක්වාම ඔසවා තැබීය.

I සුගත්