2023 මාර්තු 12 වන ඉරිදා

කුංකුම බිකිනියට ගින්දරෙන් ප්‍රතිචාර

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 87

එය ජේම්ස් බොන්ඩ්ට ජේසන් බෝර්න්ව මුණගැසීමකි. ජේසන් ස්ටැතම්ට ෆේබියෝව මුණගැසීමකි. මේ ඔත්තු බැලීමේ ක්‍රියාදාමයක් සහිත, ජනප්‍රිය හා සම්භාව්‍ය ලක්ෂණ රුගත් “පතාන්” නම් වූ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය හඳුන්වා දිය හැකි හොඳම ආකාරයයි. 

පතාන් යනු 2023 හින්දී භාෂාවෙන් එළිදුටු ඉන්දියානු ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයකි.   එය සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර එය ආනන්ද්ගේ කතාවක් අනුව ශ්‍රීධර් රාඝවන් සහ අබ්බාස් ටයිරේවාලා විසින් තිර රචනා කරන ලද්දකි. එහි ෂාරුක් ඛාන්, දීපිකා පදුකෝන්, ජෝන් ඒබ්‍රහම්, ඩිම්පල් කපාඩියා සහ අශුතෝෂ් රානා රංගනයෙන් දායක වේ.

මේ චිත්‍රපටයේ, පිටුවහල් කරන ලද RAW ඔත්තු සේවා නියෝජිතයෙකු වන පතාන් හෙවත් (ඛාන්), ISI නියෝජිත රුබිනා මොහ්සින් (පදුකෝන්) සමඟ එක්ව  ඉන්දියාව පුරා රසායනාගාරයක ජනනය කරන ලද මාරාන්තික වෛරසයක් පැතිරවීමට සැලසුම් කරන හිටපු RAW නියෝජිතයෙකු වන ජිම් (ඒබ්‍රහම්) ඉවත් කිරීමට කටයුතු කරන ආකාරය නිරෑපිතය. කොවිඩ් වෛරස වසංගතයට මුහුණ පෑ ඉන්දියානු ජනතාව අතරදී මේ කාලීන චිත්‍රපට කතාව මහා උනන්දුවක් හට ගන්වන්ට සමත්ව තිබුණි.

පතාන් ජනරජ දින සති අන්තයට සමගාමීව 2023 ජනවාරි 25 වැනි දින ඉන්දියාවේ   නිකුත් විය. එය ෂාරුක් ඛාන්, පදුකෝන් සහ ඒබ්‍රහම්ගේ රංගනයන් සඳහා  විචාරකයින්ගෙන් ප්‍රශංසාත්මක ප්‍රතිචාර සහ ධනාත්මක සමාලෝචන ලබා ගත්තේය.  මෙම චිත්‍රපටය ලොව පුරා රුපියල් කෝටි 1,032.12 (ඇමරිකානු ඩොලර් මිලියන 130ක්)  උපයා ඇති අතර, 2023 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටය මෙන්ම වැඩිම ආදායමක් ඉපැයූ  දෙවැන හින්දී චිත්‍රපටයද  බවට පත්වෙමින් එය පළමු දිනයේදී රුපියල් කෝටි 100 (ඇමරිකානු ඩොලර් මිලියන 13) උපයාගත් පළමු හින්දී චිත්‍රපටය බවටද පත් විය. තවත් බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක්ම පිහිටුවීය.‍

මෙය දැඩි විවේචනයන්ටද ලක්වූ එහෙයින්ම ආන්දෝලනාත්මක වූ චිත්‍රපටයකි.  දක්ෂිණාංශික හින්දුත්ව කණ්ඩායම් චෝදනා කළේ මෙහි එන ''බෙෂාරම් රං'' ගීතය අසභ්‍ය බව ප්‍රවර්ධනය කරන බවයි, මේ ගීතයේ පදුකෝන් කුංකුම බිකිනියකින් සැරසී සිටින බැවින් එය කුංකුම වර්ණයට අගෞරව කරන බවයි. චිත්‍රපටයට එරෙහි විරෝධතා සංකේතයක් ලෙස මධ්‍ය ප්‍රදේශ්හි විවිධ නගරවල ඛාන්ගේ අනුරෑ සහ පෝස්ටර් පුළුස්සා දමන ලදී.

2023 ජනවාරි 4 වැනි දින අහමදාබාද් වෙළෙඳ සංකීර්ණයක දී බජ්රංග් දාල් සාමාජිකයන් චිත්‍රපටයේ පෝස්ටර් ඉරා දැමූහ. චිත්‍රපටය සිනමාහල්වල මුදා නොහරින ලෙසටද ඔවුහු ඔවුන් උද්ඝෝෂණය කළහ. ගුජරාට් මල්ටිප්ලෙක්ස් සංගමය විසින් ගුජරාටයේ සිනමාහල් හිමියන්ට මෙබඳු විවිධ කණ්ඩායම්වලින් එල්ල වූ තර්ජන පිළිබඳව මහ ඇමැති භූපේන්ද්‍ර පටෙල් සහ ස්වදේශ කටයුතු අමාත්‍ය හර්ෂ් සංගාවි වෙත ලිපියක්ද  ලියා තිබුණි. 2023 ජනවාරි 17 වන දින, නවදිල්ලියේ පැවති භාරතීය ජනතා පක්ෂයේ ජාතික විධායක රුස්වීම අතරතුර, අගමැති නරේන්ද්‍ර මෝදි, චිත්‍රපට සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස සිය පක්ෂ සේවකයන්ට සහ නායකයින්ට පැවසීය. එසේ තිබියදීත්, Bajrang Dal ක්‍රියාකාරීන් චිත්‍රපටයේ පෝස්ටර් ඉරා දමා ගුවහාටි හි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම් වූ සිනමා ශාලාවකට ගිනි තැබූහ. ඇසෑම් ප්‍රාන්තයේ මහ ඇමැති හිමන්ත බිස්වා සර්මා ෂාරුක්ට සහතික වූයේ තම රජය ප්‍රාන්තයේ නීතිය හා සාමය ආරක්ෂා කරන බවයි. ඒ අනුවම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී සිනමාහල්වලට  ආරක්ෂාව සපයන ලෙස නගර සහ දිස්ත්‍රික්කවල පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දීමටද බලධාරීන්ට සිදුවිය. 

I සුගත් පී. කුලතුංගආරච්චි