2023 මාර්තු 05 වන ඉරිදා

කකුල අවුල් වෙද්දි ආය කවදාවත් නටන්න බැරිවෙයිද හිතුණා... ශිරෝෂි රොමේෂිකා

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 106

ශිරෝෂි... දැන් ඔයාට සුවයිද?

දැන්නම් හිටියට වඩා ගොඩක් සනීපයි. හැබැයි තවත් ටිකක් විවේක ගන්න ඕනේ කියලයි වෛද්‍යවරුන් කිව්වේ. මහන්සිවෙලා තවම වැඩ කරන්නේ නැහැ. ඒ නිසා දැනට කරන්න පුළුවන් වැඩ ටික හෙමිහිට කරගන්නවා. හැබැයි හිතුවාටත් වඩා ඉක්මණින් දැන් ගොඩක් සුවයි. ඒකට නාගොඩ රෝහලේ හිටපු වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් නවලෝක රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ස්තූති කරන්න ඕනේ. ඒ වගේම මගේ අසනීපය හොයලා බලපු මගේ යාළුවෝ, මගේ පවුලේ සියලුදෙනා ඇතුළු හැම දෙනාමත් ආදරයෙන් මතක් කරනවා. ගොඩක් ස්තූතියි ඒ හැමදෙනාටම.

ආරංචියේ හැටියට නම් ශිරෝෂි වතුරටත් බය කෙනෙක්. අනපේක්ෂිතව සිදුවුණ මේ සිදුවීම ආයෙත් මතක් කළොත් ඇත්තටම එදා මොකද වුණේ?

අපි යාළු කට්ටිය පොඩි 'ට්‍රිප්' එකක් ගියා. එදා මම තවත් යාළුවෙක් එක්ක Jet Ski එකක් පැද්දා. ඒක පැදලා ඉවරවෙලා අවසන් කරද්දී තමයි තවත් jet Ski එකක් ඇවිත් මගේ එකේ හැපුණේ. එදා මුලින්ම මාව වතුරට වැටුණා. ඇත්තටම ඒ වතුරට වැටෙද්දීම මට මගේ දෝණිව මතක් වුණා. මාත් එක්ක එයත් ඒ ගමන ගියා. හැබැයි හොඳ වෙලාවට දූ ඒ Jet Ski එකේ ගියේ නැහැ. දුව මතක් වුණාට පස්සේ මට මගේ කකුල ලොකු අවුලක් වෙලා තියෙනවා කියලා දැනුණා. ඒ නිසා මට ආපසු නටන්න බැරිවෙයිදෝ කියල මට හිතුණා. ඒ හැමදේම මට හිතුණා. වතුරෙන් උඩට ආවට පස්සේ "මට අමාරුයි" කියලා මම කෑගැහුවා. ඇස් බොඳවුණා. සැරෙන් සැරේ සිහිය නැතිවුණා. නාගොඩ රෝහලට ගියත් මට ඒ දවස එතරම් මතක් වුණේ නැහැ. පහුවදා උදේ වනතුරු මගේ සැත්කම කරනතුරු මම අමාරුවෙන් හිටියා.

අම්මාට අනතුරක් වෙද්දි ඒ චූටි දුව ඒක දරා ගත්තේ කොහොමද?

මාව වතුරෙන් ගොඩට ගෙනිච්චට පස්සේ දුව කෑගහගෙන මම ළඟට දුවගෙන ඇවිත් තිබෙනවා. මට එයාව ඇස් දෙකෙන් පෙනුණා. "අම්මා... අම්මා..." කියල එයා කතාකරනවා මට යාන්තමට මතකයි. හැබැයි මාව රෝහලට ගෙනියද්දී එයා ගොඩක් අඬල තියෙනවා. මම රෝහලේ දවස් කිහිපයක්ම හිටියා. ඒ හැම මොහොතකම මට මතක් වුණේ එයාවයි.

මේ දිනවල කරන නිර්මාණ කටයුතු මොනවාද?

සිදුවුණ අනතුරත් එක්ක ඒ වෙද්දි මම බාරගත්ත නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න බැරිවුණා. ඒ නිසා මේ වෙද්දි අලුතින් නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. සුව තත්ත්වයත් එක්ක ඉදිරියේදී හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයින් අතරට ආයෙත් එන්න බලාපොරොත්තුවක් තිබෙනවා. මේ වෙද්දි ආරාධනා ලැබුණ රෑපවාහිනී වැඩසටහන් කිහිපයකට සහභාගි වෙනවා.

දැන් දුව පාසල් අධ්‍යාපනය ලබන්න සූදානම් වෙනව නේද?

ඔව්... දුව මේ වසරේදී පාසල් අධ්‍යාපනය හදාරන්න පටන් ගන්නවා. මේ අවුරුද්දේ මැයි මාසයට දෝණිට අවුරුදු හය සම්පූර්ණයි.

ශිරෝෂිගේ කලා නිර්මාණයන් දකිද්දී දුවගේ ප්‍රතිචාර කොහොමද?

එයා තමයි මගේ හොඳම ප්‍රේක්ෂිකාව. මම ඇඳුමක් අඳිද්දී වුණත් ඒකේ අඩුපාඩු කියන්නේ එයයි. ප්‍රසංගයකට හෝ වෙන යම් උත්සවයකට මම සහභාගි වෙද්දී "දෝණි මේකට මැච් වන සපත්තු මොනවද" කියල අහද්දී එයා ඒකට ගැලපෙන එකක් තෝරලා දෙනවා. ඇඳුමක් ඇඳලා "මේක ලස්සනද කැතද" කියල අහද්දී "මේක හරියන්නේ නැහැ නේද...?" කියලා කියනවා. එයා ලස්සනට අඳින්න හරි ආසයි. ‍මේක්අප්වලට ආසයි. ඒ ඉතින් මම කරන දේ බලාගෙන ඉඳලා වෙන්න ඇති. මගේ මුළු ලෝකයම එයයි.

දුව එක්ක ගෙදර ඉඳිද්දී දෙන්නා වැඩිපුරම මොකද කරන්නේ?

මට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණත් මට ඒ ගැන හිතන්න එයා ඉඩක් දෙන්නේ නැහැ. උදේට නැගිට්ට වෙලාවේ ඉඳලා එයා කියවනවා. එයා ක්‍රියාශීලී දරුවෙක්. වෙලාවකට ඒ ක්‍රියාශීලීකම වැඩිද කියලත් මට හිතෙනවා. එයා ඉන්න තැන පාළු නැහැ. එයා burger කන්න ආසයි. ඉතින් අපි දෙන්න සමහර දවස්වලට එළියට ගිහින් burger කනවා. ඇඳුමක් ඇඳගෙන දෙන්නා නටනවා. සාරියක් පටලවාගෙන මාත් එක්ක නටනවා. සෙල්ලම් කරනවා. ඒ වගේ එයා සතුටින් ඉන්නවා. 

ශිරෝෂි... රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. වැඩියෙන්ම කැමැති මොන අංශයටද?

මම අවුරුදු පහේදී තමයි උඩරට නර්තනය හදාරන්න පටන් ගත්තේ. මම නර්තනයට ගොඩක් ආසයි. ඒ හා සමානව රංගනයටත් කැමැතියි. හැබැයි නර්තනයට චුට්ටක් වැඩිපුර කැමැතියි කියලා මට හිතිලා තිබෙනවා.

 ගායනයට නැඹුරුවක් නැද්ද?

ඒකත් මේ දවස්වල පොඩ්ඩක් කරන්න උත්සාහ ගන්නවා. දැන් රඟපාන්නත් වැඩ නැති නිසා ගායනයෙනුත් පොඩ්ඩක් ඉස්සරහට යන්න පොඩි ආසාවක් තිබෙනවා.

ඉස්සරහට ශිරෝෂිගේ තියෙන බලාපොරොත්තු මොනවාද?

සැලසුම් කරගෙන මම ජීවත් වෙන්නේ නැහැ. සැලසුම් කරන කිසිම දෙයක්, මම බලාපොරොත්තු වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ.  ඒ නිසා ජීවිතේ මගේ ලොකු සැලසුම් නැහැ. හැබැයි මගේ දරුවා ගැන මම හිතනවා. දරුවා වෙනුවෙන් මගේ යම් බලාපොරොත්තුවක් තිබෙනවා. හැබැයි කිසිදාක මම මගේ දරුවාට කිසිම දේකට බලකරන්නේ නැහැ. එයා හොඳ දරුවෙක්. අද මගේ ජීවිතේ ලොකුම සම්පත එයයි.

 I දිශානි ජයමාලි
සේයාරූ- සුමුදු හේවාපතිරණ