2023 පෙබරවාරි 26 වන ඉරිදා

ආදරය වපුරන්න පාල මාමලා ලෝකයටම ඕනෑ...

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 78

ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ 'තට්ටු දෙකේ ඉස්කෝලේ' සිනමාපටයේ 'පාල මාමා'ට පණ පොවන්නේ ඔබයි. ජගත්ට පාල මාමාව දැනෙන්නෙ කොහොමද?

මට හිතෙන විදිහට පාල මාමා වගේ අය තමයි මේ මොහොතේ සමාජයට අවශ්‍ය වෙන්නෙ. හැම කෙනෙකුටම පාල මාමා වගේ කෙනෙක් වෙන්න පුළුවන් නම් හොඳයි. මානව හිතවාදී තැනකට සමාජය ගෙනියන්න වුවමනා කරන පරමාදර්ශී චරිත නැතිකම මේ මොහොතේ සමාජයේ තියෙන විශාල ගැටලුවක්. හොරකම් කරන, පාතාල මට්ටමේ වැඩ කටයුතු කරන මිනිස්සු ඉහළ වැජඹෙනකොට, ප්‍රධාන තනතුරුවල වැජඹෙන අය හොරුන් කියලා ඔප්පු වෙනකොට අනාගතය බාරගන්න ඉන්න අනාගත පරපුර උන්ව දැකලා ඒ චරිත පරමාදර්ශී චරිතද කියලා හිතන්න පටන් ගනිද්දි පාල මාමා මේ සමාජයට පරමාදර්ශී චරිතයක් වෙන්නෙ කොහොමද කියලා මිනිසුන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. විවිධ තැන්වල තමන්ගේ විවිධ අදහස්, මතවාද තියෙන්න පුළුවන්. ඒ මොන විදිහේ අදහස් මතවාද තිබුණත් ඔහු අවසානයේදි මනුස්ස සිතුවිලි ආවේගශීලී තැනකට පත් නොකර, සියල්ල උපේක්ෂා සහගතව දකින්න පුළුවන් තැනකට මිනිසාව හදන්න පුළුවන් නම් එය ඉතා උසස් තත්ත්වයක්. ඒ උසස් තත්ත්වය හදන්න මිනිස්සු නැති අඩුපාඩුව අද තදින්ම තියෙද්දි පාල මාමා කියන්නෙ ඒකට හොඳම පිළිතුරක්.

'තට්ටු දෙකේ ඉස්කෝලේ' ඉතා සාර්ථක නිර්මාණයක්. එය ලලිත් රෝහිත එදිරිසිංහගේ කුළුඳුල් සිනමා පටයයි. ඔබ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ කලාකරුවෙක් ලෙස එවැනි නිර්මාණවේදියෙකුගේ සිනමා පටයකට දායක වීමට ඔහු ගැන තිබුණු විශ්වාසය කෙබඳුද?

අපිට මිනිසුන්ව මුණගැහෙන්නෙ අතරමගදි. ඒ නිසා අපි මිනිසුන්ව හූරලා මතු කරගෙන ඇසුරු කරන්නෙ නැහැ. අපිට හැම දෙයක්ම විශ්වාසයෙන්ම දකින්න විතරයි කියන්නෙ. ඒ නිසා මිනිස් ගනුදෙනුවේදි මුලින්ම අනෙකා පිළිබඳව විශ්වාසයෙන් තමයි අපි වැඩ ආරම්භ කළ යුතු වෙන්නෙ. අනෙකාගේ ප්‍රතිඵලය තුළ ඉඳන් ඔහුත් සමඟ ගනුදෙනු කරන්න පටන් ගන්නවා නම් ඒ ගනුදෙනුව සාර්ථක ගනුදෙනුවක් වෙන්නෙ නැහැ. ඒ නිසා අපි වැඩක් ආරම්භ කරද්දි පළවෙනි මොහොතේම අනෙකාව විශ්වාස කළ යුතු වෙනවා. ඒ විශ්වාසය කොයි තරම් දුරට රකිනවාද කියන වගකීම තියෙන්නෙ අනෙකාටයි. එතන තමයි අනෙකාගේ මනුෂ්‍යත්වය මතුවෙන තැන තියෙන්නෙ. ඒ නිසා මම දිනාගෙන තිබුණු දේවල්වත්, මම හිටපු තැනවත් මට තවත් කෙනෙක් එක්ක ගනුදෙනු කිරීමට තීරණාත්මක සාධකයක් වෙන්නෙ නැහැ. ලලිත් රෝහිත එදිරිසිංහ කියන්නෙ මම විශ්වාසය තියලා වැඩ කරපු තවත් එක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් පමණයි. හැබැයි අවසානයේදි සියල්ලන්ටම පේනවා ඇති මා ඔහු කෙරෙහි තබා තිබූ විශ්වාසයේ ප්‍රමාණයත්, ඔහු මා කෙරෙහි තබා තිබූ විශ්වාසයේ ප්‍රමාණයත් කොපමණද කියලා. ඒක චිත්‍රපටය බලන ඕනෑම සංවේදී මනුස්සයෙක්ට තේරුම් ගන්න පුළුවන් වේවි.

'තට්ටු දෙකේ ඉස්කේලේ' දින විසි ගාණක් පුරාවට ඈත දුෂ්කර පළාතක රූගත කළ නිර්මාණයක්. දොළොස් දෙනෙක් පමණ දරුවන් සමඟ රූගත කිරීම් සිදු කළ ඒ කාලසීමාව ගැන අද ජගත්ට මොකද හිතෙන්නෙ?

මේ හැමදේටම මූලික කාරණාව වෙන්නෙ විශ්වාසයයි. අපි විශ්වාසයෙන් තැනකට ගියාට පස්සෙ ඒ විශ්වාසයත් එක්ක අපිට තෘප්තිමත්භාවයක් ඇතිවෙනවා. ඒ විශ්වාසයට ලැබෙන ප්‍රතිචාරයත් හරිම වැදගත්. සමහර විට ඒ දුෂ්කර වටපිටාවක් වෙන්න පුළුවන්. නමුත් ඒ කිසිවක්ම හොඳ, තෘප්තිමත්, විශ්වසනීය නිර්මාණයකට ගැටලුවක් වෙන්නෙ නැහැ. රූගත කිරීම් කළේ දුෂ්කර පළාතක වුණත් මේ නිර්මාණයේ තිබුණු විශ්වසනීය හා තෘප්තිමත් බව වගේම ඒ පරිසරයේ තිබුණු සෞන්දර්යාත්මක සුන්දරත්වය නිසාම රූගත කිරීම් කරන්න කිසිම අමාරුවක් අපහසුවක් වුණේ නැහැ.

මේ දිනවල ඔබ නියැලිලා ඉන්න කලා කටයුතු මොනවාද?

මේ දවස්වල සියල්ල අතහැර යන තැනක තමයි ඉන්නෙ. අපිට කලාවක් තියෙනවද කියන ප්‍රශ්නය තමයි කාලාන්තරයක් තිස්සෙ මගේ මනස ඇතුළෙ වැඩුණෙ. අපි බලාපොරොත්තු වන කලාව කරගෙන යන්න පුළුවන් ඉඩ ප්‍රස්ථාවක් මේ ක්‍රමය ඇතුළෙ තියෙනවද කියන ගැටලුව තියෙනවා. ඒ ප්‍රශ්න කිරීම ඇතුළේ අද වෙද්දි බොහෝ දේවල් අතහැරලා යන තැනක තමයි මම ඉන්නෙ.

ඒ කියන්නෙ ජගත් චමිල නිර්මාණවලින් ඈත් වෙයිද?

ඒක මම හරියට දන්නෙ නැහැ. රංගනයෙන් මම ඈත් වෙයිද කියලා මම දන්නෙ නැහැ. කලාව තුළ මම ඉඳීවි. රේස් එකක් දුවන්න මම කලාවට සම්බන්ධ වුණේ නැහැ. මගේ කලාව රේස් එකක් දුවන තැනක නැහැ. හොඳ කෙනෙකුගේ හොඳ නිර්මාණයක් හම්බවුණු දවසක මම දිගටම වැඩ කරාවි.

ඔබ මේ දිනවල ඉන්නෙ කලකිරීමෙන්ද?

නැහැ. කලකිරීමක් නැහැ. සිස්ටම් එක තියෙන තැන අවබෝධ කර ගත්තම ඒකට අපි විකල්ප හොයා ගන්න ඕනෙ. සමස්තයක් විදිහට ගත්තොත් සියල්ල කෙරෙහි ලොකු කලකිරීමක් තියෙනවා. නමුත් නිර්මාණ සම්බන්ධයෙන් එහෙම කලකිරීමක් නැහැ.

ජගත් ජාත්‍යන්තර සම්මාන දිනූ දක්ෂ, අත්දැකීම් බහුල කලාකරුවෙක්. අධ්‍යක්ෂණයට පිවිසෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

සියල්ල අවරට යන මොහොතක මට තව බලාපොරොත්තුවක් පැල කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ. අද වෙද්දි ඒ සිතුවිල්ල මට විතරක් නෙමෙයි වර්තමානයේ අලුත් නිර්මාණකරුවන් බොහොමයකට තිබෙන ප්‍රශ්නයක්. රාජ්‍ය මට්ටමේ විතරක් නෙමෙයි පරිපාලන ක්ෂේත්‍රයේ ඉඳන්, සාමාන්‍ය මනුස්ස ගනුදෙනුවේ ඉඳන් අර්බුද තියෙනවා. මිනිස්සු අද වියරු වැටිලයි ඉන්නෙ. මිනිස්සු තුළත් ඒ සංහිඳියාව නැහැ. අනෙකා කෙරෙහි තිබිය යුතු ප්‍රේමය මිනිස්සු තුළ නැහැ. අනෙකාට ප්‍රේම කරන්න ආගමක්, ජාතියක් අවශ්‍ය වෙන්නෙ නැහැ. ප්‍රේම කරන්න අවශ්‍ය කරන පළමු සාධකය මනුෂ්‍යත්වයයි. අද වෙද්දි අනෙකා වෙනුවෙන් දක්වන ප්‍රේමය අපිට දකින්න නොලැබෙනවා කියන්නෙ එතන මනුෂ්‍යත්වය නැතිවෙලා ගිහින්.

'තට්ටු දෙකේ ඉස්කෝලේ' කියන්නෙ දරුවන්, වැඩිහිටියන් නැරඹිය යුතුම නිර්මාණයක්. එහෙම නේද?

ඔව්.. අනිවාර් යෙන්ම. විශේෂයෙන් මම මේ චිත්‍රපටය වෙනුවෙන් වගකීමකින් මැදිහත් වුණු කෙනෙක්. අපිට වගකීමකින් මැදිහත් වෙන්න පුළුවන් තරමේ නිර්මාණ කොයි තරම් දුරට තියෙනවාද කියන ප්‍රශ්නය ඇතිවෙන කාලයක මම මේ නිර්මාණය වෙනුවෙන් වගකීමකින් මැදිහත් වුණා. සොබාදහම ගැන, අපේකම ගැන, අපිට අහිමි වුණු දේ ගැන නැවත වතාවක් අපිට අපිව මුණගස්වන තැන තමයි තට්ටු දෙකේ ඉස්කෝලේ කියලා කියන්නෙ. අපිට අපිව නැවත මුණගස්වන්න ඕනෙ කියලා කවුරුන් හෝ කෙනෙක් හිතනවා නම්, ඕනෑම වැඩිහිටියෙක්, දෙමව්පියෙක්, ගුරුවරයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක්, සහෝදරයෙක්, අසල්වැසියෙක්, දරුවෙක් හිතනවා නම් ඒකට හොඳ පිළිතුරක් හැටියට තට්ටු දෙකේ ඉස්කෝලේ බලන්න පුළුවන්. අද අපි හරිම ද්වේශ සහගත, වෛරයෙන් පිරුණු, ඇනකොටා ගන්නා, කුරිරු සමාජ පද්ධතියක් ඇතුළෙ ගනුදෙනු කරද්දි තට්ටු දෙකේ ඉස්කෝලේ කියන්නෙ එක්තරා නිමේෂයකදී අපි තුළ අපේ හදවතේ සහකම්පනයක් ඇති කරවන චිත්‍රපටයක්. මේ සහකම්පනීය තත්ත්වය අවබෝධ කර ගත්තොත්, ඒක ස්පර්ශ වුණොත් ඒ පුද්ගලයාට මේ වියරු සමාජයෙන් ගැලවිලා හොඳ දෘෂ්ටියකින්, හොඳ යහපත් සිතුවිලි ධාරාවක් තුළ, මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එය අත්පත් කර ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි තට්ටු දෙකේ ඉස්කෝලේ කියන්නෙ.

I දිශානි ජයමාලි
සේයාරූ- සුමුදු හේවාපතිරණ