2023 පෙබරවාරි 19 වන ඉරිදා

සියඹලා ගහකට පුළුවන්ද ජීවිතයම කියලා දෙන්න

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 94

තට්ටු දෙකේ ඉස්කෝලේ- හදවතටම කතා කරන ගුරු ගීතයක් 

ප්‍රේමයකට පුළුවන් අතරමඟකදී හැරිලා යන්න. ඒත් ප්‍රේමයක් අවසානයේ ගිලිහී යන කඳුළකට  බෑ අසුරු සැණකින් හැරී යන්න. ප්‍රේමය  ඉතුරු කරන මතකයකට බෑ එක මොහොතකින් ජීවිතයෙන් ඈතට වීසි වෙන්න. අහන්නෙ මම ඔයාගෙන් පපුව මැද ඉසියුම්ම තැනක ගැඹුරක හිර කරගෙන පරිස්සම් කරන එහෙව් ප්‍රේමණීය මතක අපි සංසාරයේත් භවයෙන් භවයට අරගෙන යනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? හුරු පුරුදු ලෙසින් දැනෙන හිනාවක් අස නතරවෙලා ඇස් අස්සෙ කියවන්න හදන්නෙ එහෙම ප්‍රේමානිශංශයක අග මුල නෙවෙයිද? ආදරෙයි කියන වචනය වචනයෙන් ප්‍රකාශ කරන එකම එක මොහොතක්වත් මට මුණ නොගැසුණත් සෝමේ රේවත බණ්ඩාරට කීවෙත් එහෙම සංසාර ආදරයක වචනයට පරිවර්තනය නොකළ, ආදරයක් ගැන ආදරණීයම කතාවක් 

සියඹලා ගහ විතරද මතක 
ඒ ප්‍රශ්නය සෝමෙගෙන්
රේවත බණ්ඩාර නිහඬයි
ඒ සෝමෙත් ඒ බණ්ඩාරත් මට මුණගැසුණේ තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමා රෑපකාරකයේදී. ආදරේ යැයි එකම එක වතාවක්... ඔව් එකම එක වතාවක්... ඔව් එකම එක වතාවක්වත් නොකියාම හැකිය ආදරය කරන්නට කියන වග මට අපූරුවට කියා දුන් සොඳුරුතම සිනමාමය අත්දැකීමක් ලෙස තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමා වියමන මම විඳගතිමි.

සංසාර සක්මනක ඉසිමින් පැල කළ ආදරයේ බීජ භවයෙන් භවය යළි හදමඬල දලුලමින් පැලවෙන සඳ අනුරාගය ඉක්මවා හුදෙක් ආධ්‍යාත්මික සාක්ෂරතාවයක් මත පමණක් පැලවෙන, දළුලන අවසන මහා වනස්පතියක් ලෙස නිබඳ රැකුම් සදන ආදරයක් යනු ලෞකිකත්වය තුළ මුණගැසෙන නිර්වාණයම මිස අන් කවරක්ද? තට්ටු දෙකේ ඉස්කෝලේ පාමුල නැවතී ඉවසිලිවන්ත සහ කලාත්මක ඉසියුම් රේඛාවන් තුළ පෙළ ගැසී නිමැවුණු රෑප රාමුවෙන් රාමුවට මා කියවූයේ ද එවැනි ආදර කතාන්දරයකි.

දුප්පත්කම දෝර ගලා යන දුෂ්කර සූරියපාළුව නම් ඈත ගම් දනව්වක පාසලට පැමිණෙන ගුරුවරුන් හැම දෙනෙක්ම ඒ පාසල හැර යද්දි අකුරු උගනින සිහිනය දරුවන්ගේ හිත්වලින් ඉගිල යන්නට නොදී පරිස්සම් කරන්නට ජීවිතයම දිය කරන පාල මාමා මට මුණගැසුණේ ද තට්ටු දෙකේ ඉස්කෝලයේදීමය.

ගැයෙන ගුරු ගීතයන්හි සුභාවිත සුභාෂිත සුලාලිත සංධ්වනියන් නෑසී පාළු වූ ඉසව්වකදී සොබාදහමේ නොකිලිටි තුරුල්ලේ හොවා පැටවුන් නලවන්නට පේවුණු  ආදරයෙන් පොහොසත් පාල මාමාගේ සිතුවිලි කේන්ද්‍ර කර ගනිමින් මෙම සිනමා රූපකාරකය නිමැවී ඇත. උන්ගේ හද රැඳි තනිය මකන්නට සොබාදහමේ චමත්කාර නිමැවුම්හි සුසියුම් රස දහරා ඉසියුම් සිතුවිලි පෙරහන්කඩින් පෙරා උන්ගේ හිත් මත වත්කරන්නට පාල මාමා සන්තකයේ තිබූ එකම වත්කම ආදරය පමණි.

තක්සලාව වටකරගත් තෙතක් නොරැඳි බිම් යායේ එක් කෙළවරක දැවැන්ත සියඹලා වෘක්ෂයකි. ඉන් ඔබ්බේ කීකරු මිතුරු වෙසින් රැඳුණු තවත් සියඹලා වෘක්ෂයකි. යාව ජීව ප්‍රාණවත් වෙසෙකින් මුල් ගුරුතුමෙකුගේ පහසක් නොලද පාසල් බිමක තනිවුණු දරු සිත් සනසන්නට පේවුණු පාල මාමා ලොකු ඉස්කෝලේ මහත්තයා යැයි නම් තබන්නේ ඒ සියඹලා ගසටය. ඒ ඉහත්තාවේ රැඳුණු අනික් සියඹලා කුමරි හාමිනේයැයි නම් ලබයි. සියඹලා දල්ලේ, සියඹලා කරලේ, සියඹලා මලේ, සියඹලා ඇටේ සිට අක් මුල් විහිදා සම්මිශ්‍රණය වූ අප්‍රමාණ සාරයෙන් දවස් තුන්සිය හැට පහම උන්ගේ බඩගිනි නිවන ඒ මහා සියඹලා ගස ඒ දරු පැටවුන්ට අම්මාය.

චිත්‍ර තරගයකින් දිනන රේවත බණ්ඩාර ගමේ ඉස්කෝලයෙන් කොළඹට යද්දී පාල මාමා යනු උන්ගේ හදවත් හි නොමැකෙන ස්නේහවන්ත මතකයක් පමණි. පාල මාමාට අනපේක්ෂිත මොහොතක ජීවිතයට සමුදෙන්නට සිදුවෙයි. ඒ සමුගන්නේ සරණක් නැතුව තනිවූ දරු පැටවුන්ගේ සිත් ගැඹුරේ නිර්මල ගුරු ගීතයක් සේ වැයුණු ස්වරයක ආත්මීය සංකථනය සදා නිදන් කර තබමිනි. සොබාදහමට පෙම් බඳින්නට දරුවන්ට උගන්වමින් ජීවිතය දරාගන්නට ජීවිතයට සහ ලෝකයට ආදරය කරන්නට සොබාදහම ඇසුරෙන්ම දරුවන්ට කියා දුන් ඒ අපූරු ගුරුතුමා පාල මාමාගේ නමින් අවසානයේ පාසල නම් කරන්නට ගමට පැමිණෙන රේවත ගන්නා තීරණය තෙක් අතිශය සංවේදී සිදුවීම් දාමයක් ඔස්සේ මේ සිනමා වියමන දිගහැරෙයි.

අප්පච්චි කෙනෙක්ගේ ආදරය නොවිඳින බණ්ඩාරට බඩගිනි දැනෙන්නට නොදී සෝමා කෙසෙල් කොළයක දවටා ඔතන කුරහන් රොටීයේ සුවඳ ඔස්සේ සංකේතවත් කරන්නේ සෝමාගේ වදනින් නොකී රේවත කිසිදා හඳුනා නොගත් ප්‍රේමයේ මෘදු සුවඳයි. කාලය විසින් කැටුව යන ඒ ජීවිත මතක අතර පාසල් දවස් හි මහා වැස්සක් වැටෙන්නට මොහොතකට පෙර සෝමාත් බණ්ඩාරත් සිටවූ කොස් පැලය බණ්ඩාර ආචාර්ය උපාධියලත් විද්වතෙක් ලෙස ගමට පැමිණෙන දින මහා කොස් ගසකි. සෝමේ ඒ පාසලේම දරුවන්ට අකුරු උගන්වන ගුරුවරියකි.
සියඹලා ගසේ මතකය යළිදු සිහිපත් කළ රේවත ළඟ නැවතී සෝමේ අසන්නේ එකම එක ප්‍රශ්නයකි.

සියඹලා ගහ විතරද මතක...
නොඇසූ ප්‍රශ්න දහසක් 
නොකියූ හැඟීම් සහසක්....
අප්‍රකාශිත ප්‍රකාශ සිය දහසක් 
සියඹලා ගහ විතරද මතක... යන ප්‍රශ්නය අස්සට එබී ඉඳින් මම කියවමි.
මම ඔයාට ආදරෙයි කියන තැනින් ඔබ්බට ඔබට ඔබේ ආදරවන්තයා කියවිය හැකිනම් දැකිය හැකිනම් 
ආදරය ආදරය වෙසින්ම ආදරය ආදරය වෙසෙසින්ම හමුවන තැන එතැනයි
ප්‍රේමය ප්‍රේමය වෙසින්ම ප්‍රේමය ප්‍රේමය වෙසෙසින්ම හමුවන තැන එතැනයි

සියඹලා ගහ විතරද මතක
ඇයි මේ කොස් ගහ
මේ කොස් ගහ හිටවද්දි වැහැපු වැස්ස
ඒ වැස්සෙ උඹ මම තෙමිච්ච අතීතයේ ඒ දවස
ගහ උඩ ඉඳන් මම වැවට පනිද්දි  සාය ගැලවිලා ගහ උඩ තියෙද්දි හූ නොකී එකම එකා උඹ වෙච්ච අතීතය 
ඒත් දවසක් උඹේ ඉරිච්ච කලිසම දැකලා මම උඹට හූ කියපු දවස
දුකටද තරහටද මම දන්නෙ නෑ ඒත් එදා උඹ මගේ ඇස් දෙකට වැලි ගහපු ෙමාෙහාත
උඹට චිත්‍ර අඳින්න කොළ තලලා තලලා පාට ඉස්ම උඹට හදා දුන් අය අතරෙ මමත් එක්කෙනෙක් වෙච්ච දවස
උඹේ බාප්පා උඹව බඩගින්නෙ තියද්දී උඹට කන්න කුරහන් රොටී එවලා ඒවා වළං මුට්ටි අස්සෙ හංගපු අතීතය 
උඹට චිත්‍රය දිනලා තෑගි ගන්න එන්න කියන ලියුම හම්බවුණ දවසෙ පාල මාමාට ඒක පෙන්වන්න ඉස්පිරිතාලෙට ගියපු දවසෙ ලියුම අරන් දුවන් ගියෙත් මමම වෙච්චි
බණ්ඩො...
සියඹලා ගහ උඩ හදපු අපේ තට්ටු දෙකේ ඉස්කෝලේ ගිනි තියපු දවසෙ අපි එකට නාපු වැවේ වතුරටත් වැඩියෙන් වාං දාපු අපේ සුසුම් අපේ කඳුළු අපි දරාගෙන ආයෙත් සියඹලා ගහ උඩ අපි තට්ටු දෙකේ ඉස්කෝලේ හදපු අතීතය 
ඒ ඔක්කොම පපුව පැලෙන්න තරම් දුකකින් සහ පපුව පැලෙන්න තරම් ආදරයකින් පපුව අස්සෙ හංඟගෙන හිටපු සෝමේ මම
සියඹලා ගහ විතරද මතක...
ඒ එක ප්‍රශ්නයක් නෙවෙයි 
සංසාර කතාන්දරයක්...

I සංජීවිකා