2023 පෙබරවාරි 19 වන ඉරිදා

එයා ගියාට රට දාලා යන්න මට බෑ... - නිල්මිණී තෙන්නකෝන්

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 230

• නිල්මිණී.. මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ මොනවද?

මේ දවස්වල නිර්මාණ කිහිපයකම රෑගත කිරීම් කරනවා. එරංග තිලකරත්නගේ 'නන්දනී' ටෙලිනාට්‍යයටත් රනිල් කුලසිංහගේ නිර්මාණයකටත් සම්බන්ධවෙලා ඉන්නවා. ඒ අතරතුර ස්වේතා එක්ක බොහොම සතුටින් කාලය ගත කරනවා.

• ප්‍රසාද් සමරතුංගගේ දෙවැනි චිත්‍රපටය වන 'තාත්තා' සිනමාපටයේ ඔබ ප්‍රධාන භූමිකාවක් රඟ දක්වනවා. 'තාත්තා' නිර්මාණය ගැන කතා කළොත්?

ඔව්.. 'තාත්තා' චිත්‍රපටය ප්‍රසාද් සමරතුංගගේ දෙවැනි සිනමා පටයයි. මීට පෙර ඔහු 'ඉස්කෝලෙට මං ආවා' චිත්‍රපටය නිර්මාණය කරලා තිබුණා. 'තාත්තා' චිත්‍රපටය රුෂාන්ත විජේනායකගේ නිෂ්පාදනයක්. එය ඔහුගේ කුළුඳුල් නිෂ්පාදනයයි. ඇත්තටම මෙම චිත්‍රපටයේ පිටපත මට මුලින්ම ලැබුණා. අපි ඒ ගැන කතාබහ කරලා පිටපතේ යම් යම් තැන් වෙනස් කළා. කිසිම අකමැත්තකින් තොරව ඒ වෙනස් කිරීම්වලට පවා ප්‍රසාද් කැමති වුණා. ඔහු ඉතා හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ඒ අනුව තමයි අපි 'තාත්තා' චිත්‍රපටයේ රෑගත කිරීම් ආරම්භ කළේ. මම මීට පෙර 'අම්මා' නමින් ලියැවුණු නිර්මාණවලට සම්බන්ධ වෙලා තිබුණා. නමුත් 'තාත්තා' තේමා කරගත් නිර්මාණයකට දායකත්වය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. මෙම චිත්‍රපටයේ තාත්තා ලෙස රඟපාන්නෙ කුමාර තිරිමාදුරයි. ඔහු ඉතා දක්ෂ, ප්‍රවීණ, ජාත්‍යන්තර සම්මාන පවා දිනූ කලාකරුවෙක්. ඉතා සංවේදී ලෙස ඔහු තාත්තාගේ චරිතය රඟපානවා. සිනමාපටයක් ලෙස ගත්තොත් 'තාත්තා' කියන්නෙ සාර්ථක චිත්‍රපටයක් කියලා මට කියන්න පුළුවන්. ඇත්තටම ප්‍රසාද් සහ රුෂාන්ත එකතුවෙලා ඉතා හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. නොබෝ කලකින් මේ චිත්‍රපටය අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාව ලැබේවි. මේ ඔස්සේ දරුවන්ට දෙමව්පියන්වත් දෙමව්පියන්ව දරුවන්වත් තේරුම් ගන්න පුළුවන්. හැම දෙනාටම නැරඹිය හැකි චිත්‍රපටයක් තමයි 'තාත්තා* කියන්නෙ.

•'තාත්තා' චිත්‍රපටයේ කැමරාකරණය හරි අපූරුවට මෙහෙයවලා තියෙනවා. චිත්‍රපටයට සම්බන්ධ වුණු කලාකාරියක් ලෙස ඒ ගැන යමක් කිව්වොත්?

ඔව්... මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ සිසිකිරණ පරණවිතානයි. ඔහු ඉතා දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයෙක්. නිර්මාණයට කැමරාව ඔස්සේ ඉතා හොඳ සාධාරණයක් සිසිකිරණ ඉටු කරලා තියෙනවා. මේ සිනමාපටය නරඹන විට එය හැම දෙනාටම දැකගන්න පුළුවන් වේවි.

• අද ස්වේතා ඔබ ළඟින්ම හිටියත් ඇය විදෙස්ගත වන බවයි ආරංචිය?

ඔව්.. ඉදිරියේදි එහෙම වෙයි. ඒ ගැන දැන්ම හරියටම කියන්න බැහැ. දුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වේවි. ස්වේතා නැතිව මට ලොකු පාළුවක් දැනේවි. මගේ හැම දේටම ළඟින් හිටියේ, අදටත් ළඟින් ඉන්නෙ ඇයයි. මොනවා කරන්නද? එයාගේ සතුට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් මට එය දරාගන්න සිදුවේවි.

• ස්වේතා එක්ක නිල්මිණිත් විදෙස්ගත වෙයිද?

නැහැ.. දුව කියන්නෙත් මට එයත් එක්ක යමු කියලයි. නමුත් මට හැමදාම රට ගිහින් ඉන්න බැරි වෙයි. අපිට කැමරාව නැතිව ඉන්න අමාරුයි. කුඩු ගහන මනුස්සයෙක්ට කුඩු නැතිව ඉන්න බැහැනෙ. ඇඟ වෙව්ලනවා. ඒ වගේ අපිටත් දැන් කැමරාව නැතිව ඉන්න බැහැ. හැබැයි අපි මහන්සියෙන් තමයි සල්ලි හම්බ කරන්නෙ. අද වෙද්දි බොහෝ දෙනෙක් විදෙස්ගත වෙලා ඉන්නවා. තවත් සමහරු යන්න සූදානමින් ඉන්නවා. තවත් බොහෝ පිරිසක් යන්න කැමැත්තෙන් ඉන්නවා. අපි අපේ නම හදාගත්තෙ මේ රටේ ඉඳලයි. මේ රටේ ඉන්න පිරිසකගේ නරක ප්‍රතිපත්ති නිසා අද මිනිසුන්ට මේ රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ඇත්තටම මේ රටේ ජීවත් වන මිනිස්සු පව්. මම මගේ රටට ආදරෙයි. ඒ නිසා මට විදෙස්ගත වෙන්න හිතෙන එකක් නැහැ. හැබැයි ස්වේතා ගියාට පස්සෙ ගිහින් එන්න යාවි.

ඔන්න ඔහොමයි ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ 'තාත්තා' සිනමාපටය ගැන නිල්මිණී තෙන්නකෝන් අපිට කිව්වෙ. 

I දිශානි