2023 ජනවාරි 29 වන ඉරිදා

ආදරේ මගේ වුණා - ආශා එදිරිසිංහ

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 79


ආශා කියන්නෙ රංගන ශිල්පිනියක්. ඒ වගේම ගායිකාවක් විදිහට ඇය මීට පෙර ගීත කිහිපයක් ගායනා කළත් ආශා solo එකක් විදිහට ගායනා කරපු ගීතය පසුගියදා අපිට අහන්න ලැබුණා. ''ආදරේ මගේ වුණා'' ගීතය ආශාට සප්‍රයිස් එකක්ම තමයි කියලයි ඇය අපිට කිව්වෙ.

''ආදරේ මගේ වුණා'' ගීතය ඇත්තටම මට සප්‍රයිස් එකක්. මුලින්ම 2010 අවුරුද්දෙ සෙන්ටිග්‍රේඩ් සංගීත කණ්ඩායමත් එක්ක ''කිචිබිචියට ගී ගයන්න'' ගීතය මම ගායනා කළා. ඊට පස්සෙ මම ගීත කිහිපයක්ම ගායනා කළා. හැබැයි මගේ තනි ගීතයක් විදිහට ගායනා කරපු පළමු ගීතය තමයි ''ආදරේ මගේ වුණා'' ගීතය. 2022 අවුරුද්දෙ ඔක්තෝබර් මාසේ තිබුණු මගේ උපන් දිනයට තෑග්ග විදිහට තමයි මේ ගීතය මම තෑගි කළේ. මගේ තාත්තා, අම්මා, අයියා වගේම මම, අපි හතර දෙනාගේ උපන් දිනවලට විශේෂ තෑගි දුන්නා. අද මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ගිය අවුරුද්දෙ අම්මා මට දුන්න තෑග්ග තමයි මේ. අහම්බෙන් වගේ අපිට මේ ගීතයේ සංගීතය අහන්න ලැබුණා. ඊට පස්සෙ අම්මා මම මේ පාර දෙන උපන් දින තෑග්ග කියලා මේක දුන්නා. මේ ගීතය සංගීතවත් කළේ ලස්සන ජයසේකර අයියයි. ගීතය පද රචනය මැණික් ජයසිංහ අක්කගෙන්. ඒ වගේම මේ ගීතයේ රූප රචනාව කළේ සඳරුවන් ජයවික්‍රම අයියයි. ගීතයට මාත් එක්ක දර්ශන් රූප රචනාවට සහභාගි වුණා. ''ආදරේ මගේ වුණා'' ඇත්තටම මට සප්‍රයිස් එකක්.

අම්මට දීපු උපන් දින තෑග්ග

ඔන්න ඉතින් ආශාගේ උපන් දිනයට අම්මා එයාට මේ තරම් වටිනා හරි අපූරු තෑග්ගක් දෙද්දි අම්මගේ උපන් දිනයට ආශා දීපු දේත් අම්මට සුවිශේෂයි කියලයි ආශා නම් කියන්නෙ.

''අපේ අම්මා කොහේ හරි ඇවිදින්න යන්න හරි ආසයි. අම්මගේ උපන් දිනය යෙදිලා තිබුණේ සැප්තැම්බර් මාසෙ විසි දෙවැනිදා. මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. අයියත් ඉන්නෙ විදෙස්ගත වෙලයි. ඉතින් අම්මගේ උපන් දිනය දවසේ මම එයා එක්ක එළියට ගිහින් අම්මා කැමති කෑම බීම අරන් දීලා, අම්මා යන්න කැමති තැන්වල එක්කගෙන ගිහින් එයාව සතුටු කළා. එදා අම්මට ගොඩක් සතුටු දවසක්.

තාමත් මතකයේ තියෙන හරි අපූරු තෑගි

පුංචි පුංචි මතක සැමරුම්, තෑගි හරි අපූරුයිනෙ. ආශාටත් ජීවිතේ ඒ වගේ සප්‍රයිස් වුණු අදටත් මතකයේ තියෙන තෑගි තියෙනවලු.

''මට මගේ අම්මා තාත්තා පුංචි කාලේ ඉඳන් ගොඩක් තෑගි අරන් දීලා තියෙනවා. ඒවා හරි සුන්දර මතකයන්. තාත්තා මම පොඩි කාලේ අරන් දීපු සමහර තෑගි තාමත් මම ළඟ තියෙනවා. එක උපන් දිනයකට තාත්තයි අම්මයි මට බැලේ ගවුමක් අරගෙන දුන්නා. එතකොට මට වයස අවුරුදු අටක් විතර ඇති. ඒක සුදු පාටයි තැඹිලි පාටයි තියෙන ලස්සන ගවුමක්. ඒ ගවුම තාමත් මම ළඟ තියෙනවා.''

සෙල්ලම් ගෙදර හොරු අරගෙන

අද හරි ලස්සන ගෙදරක ආශා ජීවත් වුණාට පුංචි කාලෙදි ආශා සෙල්ලම් ගෙදර ඉන්න හරි ආසයිලු. ඒ සෙල්ලම් ගෙදර තෑගි කරලා තියෙන්නෙ ආශාගේ අම්මයි තාත්තයි. එදා සෙල්ලම් ගේ තෑගි දීපු දවසෙ ආශා මුළු දවසෙම ඉඳලා තියෙන්නෙ සෙල්ලම් ගෙදර. හැබැයි මේ මෑතකදී ඒ සෙල්ලම් ගෙදර ආශාගේ අම්මා පොඩි දරුවෙක්ට තෑගි දීලා. (මහ බාබාලට සෙල්ලම් ගෙවල් මොකටද කියලා හිතිලා වෙන්න ඇති.) හැබැයි වැඩේ කියන්නෙ පුංචි කාලෙ ඉඳන් තිබුණ තමන්ගෙ සෙල්ලම් ගේ නැහැ කියලා දැනගත්ත ආශා හොඳටම අඬලා.

''ඒ සෙල්ලම් ගේ ටිකක් ලොකු ගෙයක්. ඒ ගේ ඇතුළෙ සෙල්ලම් ඇඳක්, චූටි පුටු, මේසයක්, කණ්නාඩි මේසයක් තිබුණා. මම ඒ සෙල්ලම් ගෙදරට හරි ආසයි. ඒ කාලෙ මගේ වැඩේම ඒ සෙල්ලම් ගේ ගාවට වෙලා ඉන්න එකයි. මෑතකදිත් ඒ සෙල්ලම් ගේ සෙල්ලම් බඩු තිබුණා. මට තාම මතකයි ඉස්සර අයියා රොබෝලාට හරි ආසයි. අයියා ඒ රොබෝලාගෙන් මගේ සෙල්ලම් ගෙදරට වෙඩි තිබ්බා. මම ඉතින් කෑගහලා ඇඬුවා. ඒ වගේ හරි සුන්දර ළමා කාලයක් මටයි අයියටයි තිබුණා. මට තාම මතකයි තව ලොකු සෙල්ලම් ගෙයක් තාත්තා පහුවෙද්දි අරගෙන දුන්නා. ඒකෙ ඇතුළට අපිට යන්නත් පුළුවන්. ඒක පොඩි ළමයි හතර දෙනෙකුට විතර ඉන්න පුළුවන් ටිකක් ලොකු සෙල්ලම් ගෙයක්. ඒක මට අරගෙන දීපු තෑග්ගක්. හැබැයි ඒක අපේ අයියා තමයි අයිති කර ගත්තෙ. අපිව එළියට දාලා ''මගේ ගෙදර එන්න'' කියලා අයියා ඒ ගේ ඇතුළට රිංගා ගන්නවා. ඒ ජීවිතේ හරි සුන්දරයි.''

මුලින්ම ලැබුණු සම්මානය

''2013 අවුරුද්දෙ රයිගම් ටෙලි සම්මාන උළෙලේ ''ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය''ට හිමි සම්මානය මට හිමි වුණා. ''අළු බඳුන'' ටෙලිනාට්‍ය විකාශය වෙච්ච කාලෙදි තමයි මට ඒ සම්මානය ලැබුණෙ. ජනප්‍රියම නිළියට මගේ නමත් නිර්දේශ වෙලා තිබුණා. හැබැයි ඒ සම්මානය ගැන මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. සම්මාන උළෙලට මට ආරාධනා ලැබුණා. මම ඒකට සහභාගි වුණා. ඉතින් අවසාන මොහොතෙදි ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය වෙනුවෙන් සම්මානය හිමිවෙද්දි මට ලොකු සතුටක් දැනුණා. ඒ මගේ ජීවිතේ ලැබුණු මුල්ම සම්මානයයි.''

තමන්ගෙ රුව පුංචි තිරයෙන් මුල්ම වතාවට

අද වෙද්දි ආශා එදිරිසිංහ සම්මානයට පාත්‍ර වුණු දක්ෂ වගේම ආදරණීය රංගන ශිල්පිනියක්. තමන්ගෙ රුව මුලින්ම රූපවාහිනී තිරයෙන් දකිද්දි මොනවා හිතෙන්න ඇද්ද? ආශා මුලින්ම රඟපාද්දි එයා පාසල් ශිෂ්‍යාවක්.

''මම අවුරුදු එකොළහේදි රඟපාපු ''ගිරිකුල අන්දරය'' ටෙලිනාට්‍ය තමයි මගේ මුල්ම රංගනය වුණේ. මම ඒකෙ රඟපෑවෙ මට බැහැ.. මට බැහැ.. කියලයි. ඒක සතිශ්චන්ද්‍ර එදිරිසිංහ සර්ගෙ නිෂ්පාදනයක්. අඬ අඬා රඟපෑවට මේ ටෙලිනාට්‍ය විකාශය වෙද්දි මට පුදුම සතුටුයි. ඉස්සර ඒක බදාදා දවස්වල තමයි රූපවාහිනියෙන් විකාශය වුණේ. ඉතින් බදාදා වෙනතුරු මම ඒ කාලෙ හැමදාම බලාගෙන හිටියා. අපිට ඉස්සර ටිකක් ලොකු රූපවාහිනියක් තිබුණා. ඉතින් මාව ඒකෙන් ලොකුවට දකිද්දි මට පුදුම සතුටුයි. මගේ යාළුවොත් හරිම ආසාවෙන් මම හිටපු නාට්‍ය බැලුවා.''

I දිශානි