තවරලා ආදරය මෘදු ලෙසින් නිය තුඩක
පිරිමදිනු මැනවි නුඹ හදවතේ රිදුණු තැන
ජීවිතය කියන්නෙම ආදරය ඇති තැනට
කියා දෙන්නේ කොහොම
තේරෙන්නෙ නෑ නුඹට...
නැවතුණේ ඇයි සිතෙයි
ඉල්ලාන ආදරය
හදවතේ සියුම් තැන් රිදවද්දී ඉඳහිටක
මට වඩා නුඹට මම ආදරෙයි හිතෙනකොට
දිලිසෙන්නෙ ඇස් අගක
හදවතින් එන කඳුල
අනන්තයෙ ඇවිද යන
ගමන හරි වෙහෙසක්ය
ජීවිතයේ කටු අත්ත
මත මලක් නූපදින
ආදරයේ මල් කොහොම පිපෙන්නද ගසක් මත
වැහි නාව ඉඩෝරය මල් දෙන්නෙ නෑ ගසට
ඉකි ගසන හද ගැස්ම
කිසිදාක නොතේරෙන
අහස නුඹ දන්නවද
මහ පොළොවෙ ආදරය
වැහි බිඳුව පිළිගන්න
සෙනෙහසින් මඟ බලන
පොළොවකට කවදාද
පෙම් කළේ මහ වැස්ස
I සංජු