2023 ජනවාරි 29 වන ඉරිදා

කඳුළු අතරින් සිනා ගඟක් මැවූ සුපිරි රැප් රජු

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 105

අද අපි අමුතු චරිත විශේෂාංගයෙන් ලෝකෙම ප්‍රසිද්ධ අමුතු චරිතයක් ගැන කතා කරන්න හිතුවා. නම කියූ සැණින් මුළු ලෝකයම දන්න ඔහු ‘එමිනම්’. එමිනම් කියන්නේ අමුතුම අමුතු චරිතයක්. මුළු ලෝකයම දන්න සුප්‍රසිද්ධ රැප් ගායකයෙක්. එමිනම් අද වෙනකොට සංගීත නිර්මාණ ශිල්පියෙක්, ගී පද රචකයෙක් වගේම නළුවෙක්. 

එමිනම්ගෙ ජීවිත කතාව අමුතුම එකක්. කෙනෙක්ට එහෙම ජීවිත කතාවක් තියෙන්න පුළුවන්ද කියලත් විශ්වාස කරන්න අමාරුයි. අමෙරිකාවේ මිසුරිහි ශාන්ත ජෝසප් නගරයේ තමා 1972 දී එමිනම් උපත ලැබුවේ. මාර්ෂල් මේතර්ස් තමා ඔහුගෙ මුල් නම වුණේ. සංගීතය ශිල්පියෙක් වෙලා හිටියත් එමිනම්ගෙ පියා ඔහු ඉපදෙනකොට පවුල හැර ගිහිල්ලා තිබුණා. එමිනම්ගෙ අම්මත් අමුතුම චරිතයක් වුණා. ඒ නිසාම පුංචි එමිනම්ගෙ බාල කාලේ එච්චර සුන්දර එකක් වුණේ නැහැ.

එමිනම්ගෙ අම්මට එක තැනක එක දිගට දිගු කාලයක් රැඳීමේ හැකියාවක් තිබුණේ නෑ. ඇය තැනින් තැනට ගියා. ඒ නිසා හරි හමන් මිත්‍රයෙක් පවා මේ පුංචි මාර්ෂල්ට ගිටියේ නෑ. තමන්ගෙ සහෝදරයත් එක්ක ඔහු ඉතාම සමීපව හිටියත්, ඒ කාලේ අම්මා කරපු කියපු දේවල් එච්චර ඔහුට ඇල්ලුවෙ නෑ.

මේ කාලය ඔහුට කොතරම් මානසිකව බලපාලා තියෙනවද කියලා කියන්න ඕනෑ තරම් උදාහරණ අදටත් තියෙනවා. අම්මා නිසා තමන්ට සිද්ධවෙච්ච පීඩාවන් ගැන ඔහු පසු කාලෙක ගීත පවා ලිව්වා බොහොම සැර වචනවලින්. 

තමන් මව නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවත්, ඇය නිසා මානසික හා ශාරීරික අඩත්තේට්ටමට ලක් වූ බවත් එමිනම් ගීතයෙන් මුළු ලෝකෙටම කිව්වා. කොහොම වුණත් මේ ගීත නිසා පස්සේ අම්මා ඔහුට නඩු දැම්මා අමෙරිකන් ඩොලර් මිලියන 10 ක වන්දියක් ඉල්ලලා. නඩුව පැරදුණත් වන්දි මුදල අඩු කරගෙන ඔවුන් සමථයකට පත් වුණා.

කොහොම වුණත් එමිනම් මේ ලෝකෙට බිහිවෙද්දී ඔහුගෙ අම්මට යන්තම් අවුරුදු 17ක් විතර ඇති. ඇය පසු කාලෙක මත්ද්‍රව්‍යවලට සහ සූදුවට දැඩිව ඇබ්බැහි වී සිටි බවට කියැවෙනවා. එමිනම්ට ඉගන ගන්න බැරිවෙලා එකම පන්තියෙ අවුරුදු තුනක් ඉන්න වුණා කියලත් ප්‍රසිද්ධ කතාවක් තියෙනවා.

එමිනම්ගෙ රැප් ගීත අහපු අය දන්නවා ඒ ගීතවල වචන එච්චර සුන්දර නෑ. ගොඩක් වෙලාවට අසැබි වචන ඔහු භාවිත කරනවා. කොහොම නමුත් බාල කාලේ ඉඳන්ම එමිනම් රැප් සංගීතයට ආසා කළා. ඒ වෙනුවෙන් කැප වුණා. මිත්‍රයෙක් එක්ක තමයි ඔහු තමන්ගෙ සංගීත ගමන ආරම්භ කළේ. ඔහුගේ සංගීත ගමන ගැන කතා කරන්න ගියොත් ගොඩක් දේවල් තියෙනවා කියන්න. ඒත් අද අපි මූලිකත්වය ලබා දෙන්නේ එමිනම්ගෙ අමුතු ජීවිත කතාවට.

එමිනම් 90 දශකයේ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්වෙන්න පටන් ගත්තා. මේ වෙනකොට ඔහු විවාහ වෙලා හිටියේ ඔහුගෙ පාසල් පෙම්වතිය එක්ක. 1995 වෙද්දී පුංචි දියණියකුත් ඔවුන්ට හිටියා. දවසක් එමිනම් දැක්කා තමන්ගෙ බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ සමාජ ශාලාවක් ඉස්සරහ ඉන්නවා. ඒ වෙලාවේ එමිනම් ඔවුන්ට පිස්තෝලයක් දිගු කළා. එමිනම් වෙඩි තිබ්බේ නෑ.

නමුත් අවසානයේ ඔහුට නඩු වැටුණා. නිවාස අඩස්සියට ලක්වෙන්න වුණා. තමන්ගෙ දියණියව බලන්නත් ඔහුට අවස්ථාවක් ලැබුණෙ නෑ. මේ කාලේ බිරිඳ ඔහුව දික්කසාද කළා. ඔහුට වන්දි ගෙවන්න සිද්ධ වුණා. දහසක් ප්‍රශ්න එක්ක නැගිටපු එමිනම් නැවත කඩා වැටුණා.

මේ මොහොතේ ඔහුට ඇතිවුණු මානසික පීඩනය නිසා එමිනම් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කළා. එක්තරා අවස්ථාවක අධි මාත්‍රා ලබාගැනීම නිසා ඔහු රෝහලට ඇතුළත් කළ බව කියැවෙනවා. එතැනදී ඔහුගේ ජීවිතය ගලවා ගන්න පුළුවන් වුණේ බොහොම අමාරුවෙන්.

කොහොම වුණත් මත් පෙති භාවිත කරමින් ඔහු කරලා තිබුණේ සින්දු ලියන එක. රෝහලෙන් සුව වෙලා ආවම තමන් හදපු ඔක්කොම ගීත එක ඇල්බම් එකකට දලා ඔහු නිකුත් කළා. ඒ ඇල්බමය ලෝකෙ පුරා වාර්තා තබමින් ඉතාම වේගයෙන් අලෙවි වුණා. එමිනම්ගෙ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වුණා.

මේ සාර්ථකත්වය එක්ක හැර ගියපු බිරිඳව නැවත ඔහු විවාහ කර ගත්තා. ඒ වෙනකොට ඇයට තවත් දියණියක් හිටියා. ඒත් ඔහුට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් තව ටික කාලයක් ගත වෙද්දි නැවතත් ඇය ඔහුව අතහැරලා ගියා. අම්මා ගැන ගියපු ගීතයට නඩු වැටෙන්නෙත් මේ ආසන්න කාලේ.

ඒ විතරක් නෙවෙයි, මෙතෙක් සංගීත චාරිකාව එක්ව ගියපු  ඔහුගේ හොඳම මිත්‍රයත් අවාසනාවන්ත විදිහට මිය ගියා. ලෝකය අමුතු පිස්සු චරිතයක් විදිහට දකින මේ මිනිසා ඉදිරියේ තිබුණෙ මිනිසෙකුට දරාගත හැකි පරිමාණයේ ප්‍රශ්න නෙවෙයි. ඔහු හැමදාම අඳුර ඇතුළෙන් ඉදිරියට ආපු කෙනෙක්.

අම්මා, තාත්තා, බිරිඳ, හොඳම යාළුවා, සියල්ල ඔහුට අහිමි වුණත් මෙවර ඔහු නැවතත් විනාශකාරී මත්ද්‍රව්‍යවලට පෙළඹුණේ නෑ. ජනප්‍රියත්වයේ ඉහළටම ගියා. ඒත් එක්තරා තැනකදී එමිනම් තමන්ගෙ සංගීත ජීවිතයට සමුදීලා අතුරුදන් වුණා. වසර හතරක් විතර ඔහුගේ ගීත නොමැති වීම පිළිබඳ ලොකේ පුරා රසිකයෝ පුදුමයට පත්වෙලා හිටියේ.

කොහොම හරි අවුරුදු හතරකට පස්සේ එමිනම් ආයේ ආවා. ඔහු නිකුත් කරපු සංගීත ඇල්බමය ලෝකෙ පුරා අතිශය ජනප්‍රිය වුණා. සංගීතයෙන් ගත්තම ඔහු තැබූ වාර්තා අදටත් පුදුම සහගතයි. ඔහුගේ ගීත ඇල්බම සහ ඒවායේ අලෙවිය ගැන කතා කළ යුත්තේ වෙනම අවස්ථාවක.

එමිනම් විනාඩි 6 යි තත්ත්පර 3ක් තුළ වචන 1560ක් ගායනා කරමින් නිර්මාණය කළ “Rap God” ගීතය ලොව එතෙක් මෙතෙක් බිහි වූ වැඩිම වචන ප්‍රමාණයක් ඇති ගීතය ලෙස සැලකෙනවා. එම ගීතයේ තත්ත්පරයක් තුළ ඔහු ප්‍රකාශ කරන වචනවල සාමාන්‍ය 4.28 ක්.

2008 වසරේ දී ඔහු විසින් ‘The Way I Am’ නමින් පොතක් එළිදක්වනු ලැබුවා. එහි අන්තර්ගත වී තිබුණේ ඔහුගේ ජීවිතය හා සංගීත දිවිය පිළිබඳව තොරතුරු. අදටත් ලෝකය පුරා සිටින බොහෝ රැප් ලෝලීන්ට අනුව එමිනම් තමා එතෙක් මෙතෙක් ලොව බිහිවූ  සුපිරිම රැප් රජු.

එමිනම් කියන්නේ විවිධ සම්මාන පන්සීයකට අධික ප්‍රමාණයකට හිමිකම් කියන දක්ෂ ගායකයෙක්. 2001 සිනමා පටයක ගීතයක් වෙනුවෙන් වසරේ ඇකඩමි සම්මානයක් දිනූ ඔහු, 2003 වසරේ ඔහු විසින් ‘YouTube Music Awards Artist of the Year, MTV EMA Music Awards’ සම්මාන උළෙලේ Global Icon සම්මානය සහ ග්‍රුමී සම්මාන ඇතුළු සම්මාන 15ක් දිනාගෙන තියෙනවා.

අදටත් ඔහුගේ ජීවිතය පුදුමාකාරයි. ඔහු තවමත් පුවත් මවන්නෙක්. ජීවිතයේ ගලා යාම කුමක් වුවත්, අමුතු අපූරු මිනිසෙකුට කළ කී හැකි දෑ පිළිබඳ එමිනම් කියන්නේ ලෝකයටම අපූරු උදාහරණයක්. 

I නිසල්