2023 ජනවාරි 22 වන ඉරිදා

වෙනස් වෙන්න බැරි ඇයි?

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 33

හුදෙකලා වූ මිනිසා තරම් අද්භූත වූ නිර්මාණයක් තවත් නොමැත. තමා ගේ ඥාතීන් සියලු දෙනා එකා බැගින් මිය ගියා වූ යම් මිනිසෙක් වෙයි ද ඔහු හුදෙකලා නොවෙයි. මරණයේ තිරපට පිටුපසින් මිත්‍රත්වය ඔහු කරා පැමිණෙයි. එහෙත් තමාගේ ඥාතීන් ජීවත්ව සිටින එහෙත් ඔවුන් තවදුරටත් තමාගෙන් දුරතරව සිටින යමෙක් වෙයිද ඔහු පරිපූර්ණ ගෘහයක පවතින විවිධාකාර වූ මිත්‍රත්වයෙන් බැහැරට ඇද හැලුණු කෙනෙක් වෙයි. අඳුරෙහි ගැලී සිටින්නා වූ එවන් පුද්ගලයා දෙස නෙත් හෙළීමට තරු පිරිවැරූ විශ්වය වුවද බියවන්නාක් මෙන් පෙනී යයි.

මා සිටින්නේ කොතැනක ද? එතැන මා නොමැත. මා වටා සිටින අයගෙන් බොහෝ ඈත තැනක මම සිටිමි. ලෝකය තරම් පුළුල් වූ වෙන්වීමේ පරතරයක් මත ජීවත් වෙමින් අස්ථීරව මා ඒ මේ අත පාවී යන්නේ නෙළුම් පතක් මත තුසර බිඳුවක් හා සමානවය.
වෙනස් වීමට කල් එළැඹි විට මිනිසුන් සම්පූර්ණයෙන්ම වෙනස් නොවන්නේ කවර හේතුවක් නිසාද? මා මගේම හද තුළට එබී බලන විට, එහි තිබූ සියල්ල වෙනස් නොවී එලෙසම තවමත් තිබෙන බව මම දකිමි. තිබෙන එක්ම වෙනස වන්නේ ඒවා වඩාත් ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබීමය. මනා පිළිවෙළකින් යුතුව තිබූ දෑ සියල්ල අවුල් ජාලයක්ව ඇත. මාලයකට අමුණා තිබූ මිණිකැට දැන් දූලිවල පෙරැළී යයි. එබැවින් මගේ හද ශෝකයෙන් පිරී යයි.

දිවි නසාගත යුතුය යන හැඟීම මා සිතෙහි පහළ වෙයි. එහෙත් සියල්ල තවමත් මගේ හදවත තුළ ජීවත් වෙයි. ඒ සියල්ලෙහි අවසානයක් මරණයට වුවද ඇති කළ නොහැකි බව මම දනිමි. මරණය තුළ ඒ සියල්ල සදහටම වඩාත් දැඩි ලෙස පසුතැවිල්ලට පත් වන බවක් පෙනී යයි. අවසන් කළ යුතුව ඇති යමක් වෙයි නම් ඒ හැම මේ ජීවිත කාලය තුළදීම අවසන් කළ යුතුය. වෙනත් ගැලවීමේ මාවතක් නොමැත.

අහෝ දෙවියනි! මේ වතාවට පමණක්වත් මට කමා කළ මැනවි! මගේ ජීවිතයෙහි වටිනා වස්තූන් ලෙස ඔබ වහන්සේ මට ප්‍රදානය කළ දෑ සියල්ල මගේ කරදර ගොඩට මම එකතු කර ඇත්තෙමි. තවදුරටත් මට එය උසුලා සිටිය නොහැකිවාක් මෙන්ම ඒවා අත්හැර දැමීමද කළ නොහැකිය. අහෝ දෙවියනි! මගේ උදා ආකාසයේ රෝස පැහැති මායිමට වී බොහෝ කලකට ඉහත ඔබ මා වෙනුවෙන් වැයූ ඒ වස්දඬු රාවය යළි මා වෙනුවෙන් වයනු මැනවි. මගේ ව්‍යාකූලතා සියල්ල වඩා සරල බවටත්, පහසු බවටත් පත් කළ මැනවි. කෙලෙසී ගිය යමක් පිවිතුරු කිරීමටද, බිඳී ගිය යමක් යළි සකස් කිරීමට ද හැකි වන්නේ ඔබේ වස්දඬු රාවයට පමණි; අන් කිසිවකට නොවේ. ඔබේ සංගීතයෙන් මගේ මේ නිවෙස නැවත නිර්මාණය කර දෙනු මැනවි. එය හැර අන් මඟක් මට නොපෙනෙයි.

මම පොළොව මත දිග ඇදී හඬ නඟා වැලපෙන්නට වීමි. මා යාච්ඥා කළේ අනුකම්පාව අපේක්ෂාවෙනි. කොතැනකින් හෝ ලැබෙන අනුකම්පාවක් කවර හෝ පිළිසරණක්, සමාවක් පිළිබඳ කිසියම් සංඥාවක්, නිමාවක් ඇති කරවිය හැකි කිසියම් බලාපොරොත්තුවක් උදෙසා මම යාච්ඥා කළෙමි. "දෙවියනි! ඔබ වහන්සේගේ ආශීර්වාදය මා වෙත ළඟා නොවන තාක් දුරට, මම කිසිදු කෑමක් හෝ බීමක් හෝ නොගෙන දිගින් දිගටම එවැන්නක් ළඟා වෙතැයි සිතමින් මෙසේ වැතිර හිඳිමි." මම එසේ මටම පොරොන්දුවක් දුනිමි.

පියවර ගැටෙන හඬ මට ඇසිණ. පෘතග්ජනයන් ඉදිරියෙහි දෙවියන් ප්‍රාදූර්භූත නොවෙති යි කියන්නේ කවරකු ද? ඇස ගැටෙන දර්ශනයෙන් මගේ වශීකරණය බිඳී යතැයි යන සිතිවිල්ලෙන් මම හිස ඔසවා නොබැලුවෙමි. එනු මැනවි! අහෝ එනු මැනවි! පැමිණ ඔබේ දෙපයට මගේ හිස ස්පර්ශ කරන්නට ඉඩදෙනු මැනවි! දෙවියනි, එනු මැනවි! පැමිණ මගේ ගැහෙන හදවත මත ඔබ පා තබා ඒ මොහොතෙහිම මට මිය යන්නට ඉඩ සලසා දෙනු මැනවි!
රබීන්ද්‍රනාත් තාගෝර්ගේ 'The home and the world' නවකතාවේ පරිවර්තනය

(බිමාලා - ආනන්ද පද්මසිරි)