2023 ජනවාරි 22 වන ඉරිදා

ගේ දිහා පිරිමියෙක් බැලුවත් අයියා මට ගහනවා...- ප්‍රියා රණසිංහ

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 146

කලාවේ සොඳුරු ඉසව් සොයා යන ආදරණීය මිනිසුන් සමඟ ගෙනෙන හදසර "My Story" තුළින් අදත් ඔබ ආදරය කරන කලා ශිල්පිනියක හමුවන්නටයි සූදානම. රංගනය සේම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය හා තිර රචනය ඔස්සේද තම දක්ෂතා විදාහල ඇය කලාවට කිසිදු සබැඳියාවක් නොවූ පවුලකින් ඉදිරියට ආ තැනැත්තියකි. එසේම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක සහ ඒ ඔස්සේ සිසුන්ට මඟ පෙන්වන ගුරුවරියක ලෙසද අපට ඇය හමුවේ. ඇය නමින් ප්‍රියා ස්වර්ණකාන්ති අතුකෝරළ නම් වූවාය. කලෙක ප්‍රියා රණසිංහ නමින් අප හඳුනාගත්තේද ඇයමය. දශක ගණනාවක් ගෙවා ආ මඟ සිහි කරමින් ඇවිද යමු අද ප්‍රියා රණසිංහ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය සමඟ අතීතයට.

"ඔබේ ගම් ප්‍රදේශය කොහේද? පාසල කොහේද කියලා කෙනෙක් ඇහුවොතින් මට දෙන්න පිළිතුරු ගොඩයි. මොකද අම්මාගේත් තාත්තාගේත් රැකියාවල ස්වභාවය නිසා අපිට ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන්නත්, විවිධ පාසල්වලට යන්නත් සිදුවුණා. අම්මා, තාත්තා දෙදෙනා විදුහල්පතිවරුන්. අම්මා ඩී.සී. තිලකරත්න, තාත්තා බී. අතුකෝරළ. මට මතකයි අපි ඉතා කුඩා අවධියේ හිටියේ හබරණ. හබරණ කුඹුක්වැව ප්‍රාථමික විද්‍යාලයට තමයි මම මුලින්ම පාසල් ගියේ. ඉතා සුන්දර පරිසරයක්. වැව්, කුඹුරු පිරුණ ඒ ගම අදටත් හිතේ රැඳී තිබෙන අතිශය සුන්දර පරිසරයක්. අයියලා තුන්දෙනෙක් මට හිටියා. එයාලා එක්ක බොහොම කෙළිදෙලෙන් ගත කළ ඒ අතීතයට මම අදටත් ආදරෙයි.

හබරණ සිට අප ඊළඟට ගියේ කැකිරාවට. එහිදී මම කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයටයි පාසල් ගියේ. සුන්දර අතීත මතකයන් ගොඩක් මට තියෙන්නේ. ඔය අතරේ තාත්තා අසනීප වුණා. ඇඳටම සීමාවුණ තාත්තාව අපේ අම්මා ගොඩක් ආදරෙන් බලාගත්තා. අපි හතර දෙනාට උගන්වන්න අම්මා හරියට මහන්සි වුණා. අයියලා තුන්දෙනාම ඉතා හොඳින් ඉගෙන ගත්තා. මගේ අම්මා ඉතාම ආදරණීය කාන්තාවක්. ඇය පවුලේ වගකීම් තනිව ඉටුකරන හැටි අපි බලාගෙන හිටියා. එයින් බොහෝ දේ ජීවිතයට ලබාගත්තා. අපි මේ කාලයේදී කඩවතට, මීරිගමට එහෙමත් ආවා. ඔහොම ඉන්න අතරේ මාව මහනුවර ඥාති නිවෙසකට කැඳවාගෙන ගියා. ඒ කාලයේදී මහනුවර පුෂ්පදාන බාලිකාවට මම ගියා. නැවත කොළඹ සුජාතාවට ගියා. ඒ නිසයි මම මුලින්ම කිව්වේ මට ගම කියද්දීත් පාසල ගැන කියද්දීත් ගොඩක් පිළිතුරු තියෙනවා කියලා."

පාසල් කාලයේදී ප්‍රියා නර්තනයට සේම ගායනයටද ඇළුම් කළාය. පාසලේ සාහිත්‍ය සමිතිවලදී ගීත ගායනා කළද ඇගේ සහෝදරයින් කිසිවෙක් කලාවට නම් ප්‍රිය කළේ නැත. ඇයට චිත්‍රපටයක් නැරඹීමට තරම්වත් ඉඩක් ලැබුණේ නම් ඒද බොහෝ සීමාවන්ට යටත්වය. "සිනමාව කලාව තියා පත්තරයකින්වත් කලා තොරතුරු කියවනවට අයියලා කැමති වුණේ නැහැ. හොරෙන් බැලුවොත් තමයි. අපේ ලොකු අයියා හරිම සැරයි. ඉස්සර පිරිමි ළමයෙක් අපේ ගෙදර දිහා බල බලා ගියොත් එහෙම එදාට ඉඳලා ඉවරයි. පාරේ කවුරුත් ගියත් අපේ ගේ දිහා බල බලා නම් යන්නේ මට ගුටි. ඒ විතරක් නෙවෙයි, ඉස්සර අපිට රූපවාහිනී නෑනේ. චිත්‍රපටයක් බලන්න විතරනේ පුළුවන් වුණේ. අලුත් චිත්‍රපටයක් සිනමා ශාලාවට ආවම මුලින්ම යන්නේ අයියලා. ගිහින් බලලා ඒක හොඳ නම් විතරක් මට චිත්‍රපටය බලන්න අවසර ලැබෙනවා. හැබැයි ඒ අම්මා එක්ක විතරයි. ගෙදරින් එළියට යනවා නම් ඒ ඉතින් අම්මා එක්ක තමයි."

ප්‍රියා තම ළමා වියේ මෙන්ම යෞවනයේදීත් ආදරය සෙනෙහස රුකවරණය ලැබූ සිය සොහොයුරන්ගෙන් අදටත් එම ආදරය කරුණාව ලබන්නීය. අයියලා තිදෙනාගෙන් එක් අයෙක් අද වනවිට ජීවතුන් අතර නැත. වෙනදා මෙන් රංගන අවස්ථා සඳහා ඇරයුම් නොලැබෙන මේ කාලයේදී සිය සොයුරන් ලබාදෙන සවිය තමන්ට ඉතා විශාල අගයක් බවයි ඇය පවසන්නේ.

"මම විවාහ වුණේ ඉතා තරුණ අවධියේදී. එතකොට මට වයස අවුරුදු 20යි. ඔහු මගේ ගණිත ටියුෂන් ගුරුවරයා. මම කලාවට අවතීර්ණ වුණේ මගේ ආදරණීය සැමියා සරත් රණසිංහ නිසා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ආදරණීය සැමියෙක්. ඒ වගේම එයා කලාවට ගොඩක් ආදරය කළා. එයාට හිටියා නිමල් සිල්වා කියලා යාළුවෙක්. මිනුවන්ගොඩ ප්‍රදේශයේ. එයා චිත්‍රපටයක් කළා. දෑස නොපෙනෙන ගැහැනු දරුවෙකු ගැනයි මේ චිත්‍රපටයෙන් කියැවුණේ. ඒ දරුවාගේ ළමා කාලයට මගේ පුතාව ගන්න ඕන වුණා. ඉස්සර එයා හරි ලස්සයි. ගැහැනු ළමයෙක් වගෙයි. ඒ චිත්‍රපටයේ මාලනී අක්කා (මාලනී ෆොන්සේකා) සහ ජෝ අයියා (ජෝ අබේවික්‍රම) තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. පුතාව ගත්තේ මාලනී අක්කාගේ දරුවාගේ චරිතයට. ඒ වෙද්දී මම කලාවට ඇවිත් නෑනේ. ඒ නිසා එයාලව වැඩිය දන්නේ නැහැ. යාපනයේ අලිමංකඩ ප්‍රදේශයේ තමයි රූගත කිරීම් තිබුණේ. මායි, මහත්තයයි පුතාවත් අරන් රෑගත කිරීමට සහභාගි වුණේ. අපි එකම තැනක නැවතුණේ. මේ චිත්‍රපටයේ විමල් කුමාර ද කොස්තාත් රඟපෑවා. ඔහු සමඟ බිරිඳත් රෑගත කිරීමට සහභාගි වුණා. ඇයත් මාත් එකටම කාලය ගත කළේ. ඉතින් අපි දෙදෙනා ගොඩාක් හිතවත් වුණා.

අපි කලාව ගැන, කලා නිර්මාණ ගැන බොහෝ දේ කතා කළා. තව එතැන හිටියා ජයසේකර අපොන්සු. අපි එහිදී කතාවුණා වේදිකා නාට්‍යයක් කරන්න. මමයි, වසන්තියි (වසන්ති කොස්තා) ඉදිරිපත් වුණා මුදල් වියදම් කිරීම භාරගන්න. "සීමා බන්ධන" තමයි ඒ වේදිකා නාට්‍යය. මාත් එහි රංගනයට එක්වුණා. ඒ තමයි මගේ කලා ජීවිතයේ ආරම්භය. ඒ හැත්තෑව දශකයේ අග භාගයේදී පමණ. ඊටපස්සේ සුදර්ශියට ආවා පුහුණුවීම්වලට. එතැනදී කලාකරුවන් විශාල සංඛ්‍යාවක් හඳුනාගන්න ඉඩ ලැබුණා. අශෝක නිශ්ශංකගේ "කඩදාසි ඔරු" කියලා නාට්‍යයක් කළා. ඒ දවස්වල අශෝක නිශ්ශංක ආචාර්ය ඩී.බී. නිහාල්සිංහගේ සහාය අධ්‍යක්ෂවරයා. ආචාර්ය නිහාල්සිංහ ඒ දිනවල කළා චිත්‍රපටයක් "මල්දෙණියේ සිමියොන්" කියලා එහි අනෝජා වීරසිංහගේ යෙහෙළියක් ලෙසයි මා රංගනයට එක්වුණේ. 

ඉතින් ඔන්න ඔය කාලයේදීම තමයි රෑපවාහිනී මුල්ම ටෙලිනාට්‍යය වූ "දිමුතු මුතු" නිර්මාණය රූගත කිරීම් සිදුවුණේ. මටත් එහි රංගනයට අවස්ථාවක් ලැබුණා. එහි අමරසිරි කලංසූරියගේ නැගණියක් ලෙසයි මා රඟපෑවේ. මා සමඟ නාට්‍යයේ ඔහුගේ අනෙක් නැගණියගේ චරිතය රඟපෑවේ රමණි ෆොන්සේකා. ඉතින් මේ සමඟ මට විවිධ ටෙලිනාට්‍යයන් සඳහා ආරාධනා ලැබුණා. මා කළ චරිත අතුරින් මගේ වඩාත්ම සිත්ගත්තේ විමලරත්න අධිකාරි, බන්දුල විතානගේ නිර්මාණය කළ "අසල්වැසියෝ" ටෙලිනාට්‍යය. "සුරංගනී" චරිතය වෙනුවෙන් මඟතොටේදී අදටත් ප්‍රතිචාර ලැබෙනවා. මෑතක විකාශය වූ "ඉන්ටර්නැෂනල් - 2" ටෙලිනාට්‍යයට මා රංගනයෙන් එක්වුණා. ඒ වගේම කියන්න ඕන අද වනවිට කෙරෙන නිර්මාණවලට අපි ආරාධනා ලැබෙන්නේ නැතිම තරම්. ඉතාම කලාතුරකින් තමයි ඒ වගේ ආරාධනයක් ලැබුණොත් ලැබෙන්නේ."

ඇය පවසන්නේ කිසියම් වූ වේදනාවකින් යැයි සිතේ. අද වනවිට ප්‍රියා රණසිංහ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක ලෙස සාර්ථක ගමනක් පැමිණ සිටින්නීය. එසේම ඇය විශාල සිසුන් පිරිසකට තමා සතු දැනුම බෙදාදෙමින් ගුරුවරියක ලෙසද කටයුතු කරයි. තම එකම පුතු සහ සහෝදරයින් දෙදෙනාගේ සොයාබැලීම නිසාම ඇයට ජීවිතය තරමක් පහසු වී ඇතැයි හැඟේ. ගොතටුව ලේක් රෙසිඩන්ස්හි තවත් කලාකරුවන්ද සමඟින් ජීවත්වන ඇයගේ එකම පුතු සුමුදු රණසිංහ සිටින්නේ විදේශ ගතවය. ඔහුගේ බිරිඳ අචලා දාබරේ වන අතර ඔවුන්ට නිසල නමින් එක් පුතෙකු සිටී.

"මට සරත්ව හමුවුණේ ගණිතයට ටියුෂන් ගන්න ගිහින්. මට ගුරු පුහුණු විභාගයට ගණිතය විශේෂ අවශ්‍යතාවක් වුණා. ඉතින් මම ගියා අමතර පන්තියකට. එහිදී සරත් හමුවීමත් එක්ක අප අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවුණා. එතකොට මට වයස අවුරුදු 18ක් විතර ඇති. අපේ ගෙදරින් කැමති වුණෙත් නැහැ. ඔහුගේ ගෙදරින් කැමැති වුණෙත් නැහැ. නමුත් මට වයස 20දී අපි විවාහ වුණා. ඊටපසුත් මම විවිධ විභාගයන් කළා. ඉගෙන ගත්තා. මොකද සරත් මගේ හැකියාවන්ට නිරන්තරයෙන්ම අවස්ථාව ලබාගන්න මාව උනන්දු කළා. කලාවට වුණත් මම ආවේ ඔහු නිසයි. 2006දී ඔහු අපෙන් සදහටම සමුගන්නා තුරුම ඔහු තමයි මගේ ජීවිතයේ යෝධ ශක්තිය වුණේ."

ප්‍රියා රණසිංහ චිත්‍රපට රුසකටද තම රංගන දායකත්වය ලබා දුන්නාය. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "අනන්ත රාත්‍රිය", ක්‍රිෂ්ටි ෂෙල්ටන්ගේ "අරගලය" ආදී චිත්‍රපට මෙන්ම දීපා මෙහ්තාගේ "Funny boy" ආදී වූ විදෙස් චිත්‍රපටවලටද එක්වන්නට ඇයට හැකි විය.

"මම අධ්‍යක්ෂණයටත් එක්වුණා. ටෙලිනාට්‍ය කිහිපයක් ඒ අතර තියෙනවා. ඉසුරු පවස, සත්සර නිම්නය, සමනළ වසන්තය, ඉර අවර ආදී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරිය මම. ඒ වගේම තවත් ටෙලිනාට්‍යයක් කරන්නට ආසාවෙන් ඉන්නවා මම. කිංස්ලි ලෝස් මහතාට කියා පිටපතක්ද ලියාගෙන සිටිනවා. නිෂ්පාදකවරයකු හමුවුණොත් මට ඒ සිහිනය සැබෑ කරගත හැකිවේවි කියා හිතනවා. තාම කෙනෙක් හමුවුණේ නැහැ." ඇගේ එම ටෙලිනාට්‍ය නිර්මාණය ඉක්මණින්ම එළි දක්වන්නට හැකිවේවා යි කියා අප ප්‍රාර්ථනා කරමු. පුංචි තිරයෙන් අපේ ආලින්දයට පැමිණි සොහොයුරියක, මවක, බිරිඳක, යෙහෙළියක වූ ප්‍රියා රණසිංහ කලාකාරිනියට සුබ අනාගතයක් වේවායි හදසර "My Story" තුළින් අප ප්‍රාර්ථනා කරමු.

I මොනිකා සේරසිංහ
සේයාරුව- සුමුදු හේවාපතිරණ