2023 ජනවාරි 22 වන ඉරිදා

අලි ගහන ගම්මානේ යකඩ මනාලිගෙන් රටක් ඇමතූ සිත්තරා..

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 416

එකතු කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගෙ යකඩ මනමාලි

"යකඩ මනමාලි" මේ දවස්වල ජනප්‍රිය, අමුතුම රසක් තියන අපූරු ගීතයක්. පොදු අර්ථයෙන් බැලුවාම, මේ ගීතයෙන් කතා කරන්නෙ මහ පොළොවේ කලාව සහ කලාකරුවගෙ ඉරණම පිළිබඳව. එත් ඇත්තටම, මේ ගීතය නිර්මාණය නිමිත්ත ගම නගරය යා කරන අපූරු කලාකරුවෙක්. ඔහු සිත්තරෙක්. ඒ වගේම ලෝහ කැබලි එකතු කරලා විස්මිත නිර්මාණ බිහිකරන "මෙට්ල් ආටිස්" කෙනෙන්. ඔහු නමින් සමන්ත කුමාර. මේ සමන්තගෙ කතාව.

සමන්ත ඉපදෙන්නේ හැදෙන්නේ වැඩෙන්නේ බකමූණ, කිරිඔය කියන හද්ද පිටිසර ගම්මානෙ. අදටත් ඔහු ජීවත් වෙන්නේ ඒ කිරිඔය. එතන ජීවිතය බොහොම කර්කෂ එකක්. අලියා තුන් වැට පනින මේ පළාතේ කලාව කියන්නෙ, මිනිසුන්ට ආසක්ත වෙන්න පුළුවන් මාධ්‍යයක් නෙවෙයි. ඊට වඩා එහේ ජීවිත හරි බරයි.

නිසි ගුරුවරයෙක්  නොහිටියත් සමන්ත කියන්නෙ උපතින්ම කලාව දායාදයක් විදිහට අරගෙන ආපු කෙනෙක්. සිත්තර කලාවට සමන්ත පෙම් බඳින්නෙ නිවස අසල පන්සලේ සිතුවම් කරන්න ආපු සිත්තරෙක් දිහා බලාගෙන ඉඳලා. පාසලේ පංතියේ නම් පොතේ ලස්සන අකුරු ලියලා, පාසලේ බිත්ති පුරා චිත්‍ර ඇඳලා, සමන්ත ඇතුළේ හිටපු කලාකරුවා හිමිහිට අවදි කර ගත්තා.

ඒත් මේ දුෂ්කර ගම්බිම්වල කලාවට තිබුණ සීමිත ඉඩක්. ගුරුවරු ඇතුළු සමහර වැඩිහිටියෝ සමන්තගේ හැකියාව දැක්කා. ඉතින් ගමේ මඟුල් පෝරු, තොරණ, පිරිත් කොටු වගේ දේවල් නිර්මාණය කරගන්න ගමට සමන්තව ඕනෑ වුණා. ඔහුත් බොහොම කැමැත්තෙන් ඒ දේවල් කළත්, ඔහුගෙ හීන තිබුණෙ වෙනම මානයක.

කලාකරුවෙක්ටම පමණක් හිමිවන අමුතු හදවතක් තමයි අද වගේම එදත් සමන්තට තිබුණෙ. උසස් පෙළින් පස්සේ වෘත්තීයමය කලාකරුවෙක් වීමේ හීනෙ පස්සේ ඔහු හඹා ගියා. කලාවේ විවිධ නිම්වළලූ අතරින් රිංග රිංගා ඔහු හෙව්වේ ඔහුට අයිති තැන. තනියම දේවල් සොයමින් ඉගෙන ගැනීම මේ අපූරු තරුණයාගෙ පුරුද්දක් වුණා. සිතුවමට කලාවට ඉඩ තියෙන විවිධ තැන්වල පුංචි පුංචි වැඩ එක්ක ඔහු ඉදිරියට ගියා. 

සමන්ත විවිධ තැන්වලට යමින් වැඩකරමින් ඉන්න අතරේ, එක්තරා සුවිශේෂී නිර්මාණයක් නිසා ඔහුගේ ජීවන අන්දරයේ පෙරළියක් සිද්ධ වුණා. මේ වැඩේ ලැබුණෙ "අලිය රිසෝට් ස්පා" කියන සීගිරිය ආසන්නේ ජනප්‍රිය හෝටලකින්. හෝටලයේ ආලින්දයේ ඔහුට නිර්මාණයක් කරන්න කියලා කිව්වම, එතැන මෙට්ල් ආට් එකක් කරන්න සමන්ත තීරණය කළා. කම්බි කූරු යොදාගෙන ඔහු එතැන නිර්මාණය කළා අලි තුන් දෙනෙක්. ඇත්තටම ඒක දුටුවන් මවිත කරවන නිර්මාණයක්.

අලි සහ සමන්ත අතරත් අපූරු සම්බන්ධයක් දැක්වෙනවා. අලි ගහන පළාතක ජීවත්වෙන ඔහු කලින් අලින්ට පුදුම විදිහට ආදරය කරනවා. ඔහුගේ නිර්මාණ කටයුතු ඇතුළේ අලින්ට තියෙන්නෙ බොහොම විශේෂ තැනක්. කොහොම හරි අලිය රිසෝට් ස්පා එකේ කරපු නිර්මාණ නිසා බොහෝ දෙනෙක් මේ කලාකරුව හොයන්න උනන්දු වෙනවා.

මුහුණු පොතේ Aliya Art කියන පිටුවක් හදාගත්තම සමන්ත වටේ මිනිස්සු රොද බඳින්නට පටන් ගත්තා. උණවටුන, සීගිරිය, කොළඹ වගේ ගොඩක් ප්‍රදේශවල සංචාරක හෝටල්වල නිර්මාණ කරන්න සමන්තට ආරාධනා ගලාගෙන ආවා. රට වටේම ඔහු ගමන් කළේ තමන්ගේ ස්කූටර්යේ නැගල. අදටත් එහෙමයි. කැලෑවේ ඇවිල්ලා ගම් නගර පුරා තනියම සංචාරය කරන මේ අපූරු කලාකරුවාට "තනි අලිය" කියන අකුරු අන්වර්ථ නාමය ලැබෙන්නේ මෙතැනදී.

කොහොම වුණත් මේ ගමන එතරම් සුන්දර එකක් වෙන්නේ නැහැ. සමන්ත කියන්නේ දුක ආතල් එකක් කරගත්ත කෙනෙක්. මේ ගමනේදී බොහෝ දෙනා සමන්තට උදව් කරනවා. කොළඹ පංචිකාවත්තේ ප්‍රසිද්ධ මෙටල් ආට් එක කරපු ප්‍රගීත් මනෝවංශ පවා උදව් කරලා තියෙනවා. ගරාජ් වලින් අහුලගන්න මල කෑ යකඩ කෑලි අතරින් යකඩ මනමාලි නිර්මාණය වීම ගැනත් කියන ඕනෑ.

බ්‍රයිඩල් හවුස් කියන සැලෝන් එකේ නිර්මාණයක් කරන්න සමන්තට අවස්ථාව ලැබුණා. එතැන යකඩ මනමාලියෙක් නිර්මාණය කරන්න සමන්තට ඕනෑ වුණා. ඒක ටිකක් වෙනස් විදියේ වැඩක්. මේ වනවිටත් සමන්තගෙ මිත්‍ර සමාගමට එකතුවෙලා හිටපු සංජීව් ලෝන්ලියෙස්ට මේ වැඩේ ගැන ඔහු කියනවා. වෙනස්ම විදියට හිතන පතන අමු මියුසික් කල්ට් එකක් නිර්මාණය කරපු සංජීව්ගේ යකඩ මනමාලි ගීතය නිර්මාණයට නිමිත්ත හම්බ වෙන්නේ එහෙමයි.

"සුවඳ මලකඩ
පරවෙන්නෙ නැති
යකඩ මල් බොකි
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලිම කෑලි
ඒත් පොඩි උන් අඬනවා මග බලන් ඇති ගෑනි..."

සමන්තගෙ කලාව අගහිඟකම්වලින් අඩුපාඩුවලින් නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. ඔහු විවිධ මානයන් ඔස්සේ ඇවිද යනවා. පුංචි කතාවක් තියෙනවා. කෙටියෙන් කියන්න ඕනෑ. රට වටේ කරක් ගහලා බකමූණේ ගෙදර යන සමන්ත, ස්කූටරයෙන් කොළඹට ගොඩවෙන්නේ තමන්ට ඕන කියන කළමනා අරගන්න. ඒත් ඇත්තටම සමහර වෙලාවට කැන්වස් තීන්ත ගන්න ගියාම මුදල් අගහිගකම් ඔහුට දැනෙනවා.

දවසක් තුන්වෙනි හරස් වීදියට ගියාම කැන්වස් ගන්න සමන්තට අතේ තියෙන මුදල් මදිවුණා. කිලෝමීටර තුන්හාර සීයක් අලි කැලෑව හරහා ගිහිල්ලා අයේ දවසක කොටුවට එනවා කියන එක ඇත්තට අමාරු වැඩක්. මෙතැනදී වටපිට බලන අපේ "තනි අලියා" දකිනවා වීදියේ කොනක මනුස්සයෙක් විකුණන සිමෙන්ති කොළ. එතනට ගිහිල්ලා ගණන් ඇහුවාම මේ කොළ නම් ටිකක් වැඩිවෙන්න ගන්න පුළුවන් කියලා ඔහුට තේරුණා. අවසානයේ මේ තනි අලිය බකමූණට යන්නෙ සිමෙන්ති කොළ අරගෙන.

මේ සිමෙන්ති කොළවල තමන්ට දැනෙන හැඟීමත් එක්ක "හීලින් ආර්ට්" කරන්න ඔහු පටන් ගත්තා. අවසානයේ මුහුණු පොතේ පිටුව හරහා රුපියල් අසූදහසකට කොළඹ රසවතෙක් ඔහුගෙ නිර්මාණය මිලදී ගෙන. ඇත්තටම මේ තනි අලියගෙ හීනේ, නිර්මාණවලට වටිනාකමක් එකතු කරන එක.

ඒත් ඒ කටයුත්ත ඔහු කරන්නේ ඔහු ප්‍රතික්ෂේප වීම් එක්ක. දැන් ගරාජ් එකෙන් යකඩ කෑල්ලක් ඉල්ලගන්න එක පහසු දෙයක් නෙවෙයි. තොග බරට යකඩ විකිණෙන ලෝකයේ, සමන්තට ලස්සනට පේන මලකඩ කාපු යකඩ කෑල්ලක් අයිතිකර ගන්න ලේසි නැහැ. ඒත් ඔහු අත හරින්න සූදානම් නැහැ.

එදා ගමට නොදැනුණු නිර්මාණයක වටිනාකම කියලා දෙන එක ඔහුගේ ජීවන අරමුණ වෙලා. දරුවන්ට කැලේම පිපිලා පරවෙන්න නොදී යළි යළිත් පිපෙන්නට අවස්ථාව හොයලා දෙන්න අපේ මේ තනි අලියට ඕනෑ. අහක දාන දේකින් නිර්මාණයක් කරන්න ඒකට වටිනාකම් එක් කරන්න පුළුවන් කියලා ඔහු හිතනවා. මේ මොහොතේත් ඔහු ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම දරුවන් එක්ක.

සමන්ත කියලා කියන්නේ බකමූණේ කිරිඔය අලි මූකලානේ දරුවන් දෙදෙනෙක් එක්ක ජීවත්වෙන ලස්සන පවුලක් තියෙන තාත්තා කෙනෙක්. ලෝකයට වෙනස්ම දේවල් දෙන්න හිතන, වෙනසක් හොයන කලාකරුවෙක්. පරණ ස්කූටර් එකක නැගලා රට වටේ වැඩ කරමින් යන අපූරු මනුස්සයෙක්. තරු පහේ හෝටල් පවා ලස්සන කරන කෙනෙක්. දුක ආතල් එකට ගත්ත පොහොසතෙක්. ඉතින් එහෙම මනුෂ්‍යයෙක් ගැන අපිට දැනෙන්නේ අපරිමාණ ආදරයක්.

I නිසල්
සේයාරූ I අන්තර්ජාලෙයන්