2023 ජනවාරි 22 වන ඉරිදා

කොන්දේසි විරහිත ආදරය කියාදෙන්න හොඳම යාළුවෙක්

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 242
"ඔබ බල්ලන්ට අකැමති නම්, ඔබ පක්ෂපාතීත්වයට කැමති නැත; ඔබට විශ්වාසවන්ත අයට ඔබ කැමති නැත, එබැවින් ඔබට විශ්වාසවන්ත විය නොහැක."
 
මෙහෙම කියන්නේ අපි නම් නෙවෙයි. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ‍යෙක් විදියට සලකන නැපෝලියන් බොනපාට්. බල්ලන් සහ මිනිසුන් අතර තිබෙන සම්බන්ධය පුදුමාකාරයි. මේ දවස්වල ඒ ගැන විවිධ විදිහට, විවිධ අය කතා කියනවා. ඒ නිසා අපිත් හිතුවා ඒ ගැන කතා කරන්න.
 
ඉතිහාසඥයෝ කියන විදිහට මිනිසා විසින් ඉතිහාසයේ මුලින්ම හීලෑ කරපු සත්ත්ව වර්ගය බල්ලා. මීට වසර පනස්දාහකට පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරේ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක තිබෙනවා. ඉතින් බල්ලෝ කියන්නේ අපේ පරණම යාළුවෝ.
 
ඇයි මිනිස්සු මෙච්චර බල්ලන්ට කැමති. ඒ ප්‍රශ්නයට එක එක පිළිතුරු තියෙනවා. ඒත් නැපෝලියන් බොනපාට් කියපු විදිහට සරලම උත්තරේ තමා පක්ෂපාතීත්වය. බල්ලන් තරම් මානව ප්‍රජාව එක්ක විශ්වසනීය ගනුදෙනුවක් ඇතිකරගත්ත වෙනත් කිසිම සත්ත්ව ප්‍රජාවක් මේ ලෝකයේ නැහැ.
 
"ශිෂ්ටාචාරයේ ඉතිහාසය තුළ, මිනිසුන්ට වඩා සුනඛයන්ගේ විශ්වාසවන්තභාවය පිළිබඳ බොහෝ උදාහරණ තිබේ." එහෙම කියලා තියෙන්නෙ ඇලෙක්සැන්ඩර් පාප්.
 
ඇත්තටම කොන්දේසි විරහිතව ආදරය කිරීම යනු කුමක්දැයි අපිට ඉගෙනගන්න පුළුවන් හොඳම මිත්‍රයා බල්ලා. බල්ලෙකුගේ නොසැලෙන පක්ෂපාතීත්වයට වඩා "විශ්වාසවන්තකම" ගැන හොඳ උදාහරණයක් මේ ලෝකයේ නැහැ කියලා කියමනකුත් තියෙනවා.
 
"ඔබට සතුට මිලදී ගත නොහැකි බව පවසන, කවුරුන් හෝ බලු පැටියෙකු මිල දී ගෙන නැත." මෙහෙම කියලා තියෙන්නෙ විල්ෆ්‍රඩ් පී. ලැම්ප්ටන්.
 
මිනිස්සු බල්ලන් ඇති කරන්න හේතුවෙන කාරණා කිහිපයක් හඳුනාගන්න පුළුවන්. එතැනදී නම් ආරක්ෂාව, විනෝදය සහ තනිකම මකා ගැනීම කියන කරුණු ප්‍රධානයි.
 
තනිකම පාළුව නැති කරන්න මිත්‍ර බලු සුරතලුන්ට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්. අද වෙනකොට දියුණු ලෝකයේ ප ර්ෙය්ෂකයන් කියන විදිහට මිනිස්සුගෙ හෘද රෝග, රුධිර පීඩනය, මානසික ආතතිය මඟහරවන්න බල්ලන්ට පුළුවන්. ඒ විතරක් නෙවෙයි බලු සුරතලුන් සමඟ සෙල්ලම් කරමින් කාලය ගත කිරීම ලෝකයටම ප්‍රශ්නයක් වෙලා තියෙන ස්ථූලභාවයටත් හොඳ විසඳුමක්.
 
ආරක්ෂාව ගැන කතා කරද්දී බල්ලන් සම්බන්ධව මිනිස්සුන්ට තියන්නෙ ලොකු විශ්වාසයක්. සිය ස්වාමියාගේ නාමයෙන් ජීවිතය පූජා කරපු බලු සුරතලුන් ලක්ෂ ගාණක් මානව ඉතිහාසය පුරාවට ඉඳලා තියෙනවා.
 
"බල්ලෝ බුරන හඬ නොඇසෙන නගරයක ජීවත් නොවන්න." මෙහෙම ලියලා තියෙන්නෙ හතර වැනි ශතවර්ෂයට අයත් "තල්මුඩ්" කියන යුදෙව් නීති සංග්‍රහයක.
 
ආරක්ෂාව සම්බන්ධයෙන් නිවෙසක් පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට වඩා විශාල රාජකාරියක් ඉතිහාසය පුරාවට බල්ලන් සිදු කළා. මිනිසා විසින්ම ලෝකයේ නිර්මාණය කරපු භයානකම ව්‍යසනය වන යුද්ධයේදී පවා බල්ලා මිනිසාගේ සටන් සගයෙක් වුණා.
 
බල්ලන් සම්බන්ධ තවත් බොහෝ කරුණු ඔබත් එක්ක බෙදාගන්න පුළුවන්. ඒත් ශිෂ්ටාචාරයක් විදිහට ලාංකික අපිට බල්ලන් සම්බන්ධව තිබෙන ගනුදෙනුවත් ටිකක් හොයලා බලන්න ඕනෑ. නැත්නම් ඒක අඩුපාඩුවක්.
සිංහල භාෂාව සම්බන්ධ සමහර ව්‍යාකරණ ඇදුරුවරුන්ට අනුව බල්ලා කියන වචනයටත් තියෙන්නෙ හරි අපූරු තේරුමක්.
 
බලනුයේ බලු කියලා ව්‍යාකරණ ඇදුරෝ කියනවා. මේ අනුව බලු යන වදනින් රකින්නා, බලාගන්නා, තැනැත්තා යන අර්ථ නිරෑපණය වෙනවා. එතකොට 'සුනඛ’ කියලා කියන්නෙ සංස්කෘත භාෂාවේදී බල්ලා හඳුන්වන නම. එතැනදී සු+නඛ, නඛ කියන්නේ නියපොතු. සූ උපසර්ගයක්.
 
ලෝක ඉතිහාසය හිටපු විවිධ බල්ලන් ගැන කතා ඔබ ඕනෑතරම් අහලා ඇති. එතකොට අපේ රටේ එහෙම කතා නැද්ද? නැහැ. අපිටත් කතා තියෙනවා.
 
ඇත්තටම අපේ කතාව පටන් ගන්නෙම බල්ලන්ගෙන්. කුවේණිගේ බල්ලන් දැකපු විජය කුමාරයා ගැන ලියැවිලා තියෙන්නෙ මහාවංශයේ. අපහාසෙට උපහාසයට නෙවෙයි මෙහෙම කියන්නෙ. අපි අපේ ආරම්භකයා විදිහට විජය සැලකුවම විජය රජතුමත් මේ රට ඇතුළට ආවේ බල්ලෙක් පස්සෙ.
 
ක්‍රි.ව. අටවැනි සියවසේ සිට දහවැනි සියවස දක්වා හමුවන සෙල්ලිපිවල බල්ලා ගැන සඳහන් වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම බල්ලන් සහ බැඳුණු ජන සංස්කෘතියක් අපිට තියෙනවා. ගම්බිම්වල නමුත් තියෙනවා. අපේ ජනශ්‍රුතියෙ ජනකතාවල ජන කවිවල බල්ලො ගැන සඳහන් වෙනවා.
 
රෑ වෙනවා නොදැනෙයි අම්මා නැතුව
එළිවෙනවා නොදැනෙයි බල්ලා නැතුව
හොරු එනවා නොදැනෙයි බල්ලා නැතුව
මිනී මළ ගෙදර අඳුරුයි දුව නැතුව
 
ඒ විතරක් උත්තරක් නෙවෙයි අපේ ආදිතමයන් වල් වැදි ජනතාවත් බලු මිත්‍රයන් ඇසුරු කරලා තියෙනවා අතීතයෙ ඉඳන්. ඒ තමා ඔය දඩයම් යුගයේ ඉඳන් බල්ලන් මිනිසුන් ඇසුරේ හිටිය කියල කියdන කතාවට අපේ රටෙත් හම්බ වෙන සාක්ෂිය.
කොහොම වුණත් අපේ රටේ වගේම ලෝකෙත් තාම ඉන්නවා බල්ලන් පහත් කොට සලකන මිනිස්සු. ආදිතම මිත්‍රයාව පහත් කරලා කතාකරන මිනිස්සු ගැන අහන්න ලැබුණු අපූරු කතාවකින් අපි නවතිනවා.
 
"රටක ශ්‍රේෂ්ඨත්වය සහ එහි මිනිසුන්ගේ සදාචාරාත්මක තත්ත්වය විනිශ්චය කරනු ලබන්නේ එය සතුන්ට සලකන ආකාරය මතයි."
- මහත්මා ගාන්ධි
I නිසල්