2023 ජනවාරි 15 වන ඉරිදා

අපේ කෑම ලෝකෙටම අරන් යන උයන තරුවක්

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 95

අද අපි ඔබ අතරට අරගෙන එන්නෙ ලෝකෙම දන්න, ඒත් අපේ සමහර අය තවම නොදන්න ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන චරිතයක්. ඔහුගේ නම පීටර් කුරුවිට. ඔබ නම ඇසූ සැණින් ඔහුව දන්න පිරිසක් ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම ඉන්නවා. පීටර් කියන්නේ සූපවේදියෙක්. ලෝකෙ ජනප්‍රියම සූප ශාස්ත්‍ර වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්.

ඇත්තටම සූප ශාස්ත්‍රය සහ සහ රූපවාහිනී මාධ්‍ය එකිනෙක මුසු වෙන තැන්වල පීටර් කුරුවිට කියන්නෙ දැවැන්ත පෞර්ෂයක්. ඔහු ගැන විස්තර සිංහල මාධ්‍යයෙන් ලියැවුණු අවස්ථා බොහොම අඩුයි. ලංකාවේ නම් ඉංග්‍රීසි භාෂාව හොඳින් දන්න, ඉහළ සමාජ පන්තියේ අය පීටර්ව හඳුනනවා.

අපේ රටට ආඩම්බරයක් වුණ, ඇත්තටම ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් පීටර් කුරුවිට කියන්නෙ. ඉතින් අපි සිංහලෙන් මේ අමුතු චරිතය ගැන හැමෝටම දැනගන්න තොරතුරු ටිකක් බෙදාගන්න කල්පනා කළේ.

ශ්‍රී ලංකික පියෙකුට සහ ඕස්ට්‍රේලියානු මවකට දාව මේ අපූරු චරිතය උපත ලබන්නේ 1963 වසරේ එංගලන්තෙ. අවුරුදු හතරක් විතර එංගලන්තේ ජීවත්වෙන පීටර්, පස්සේ ලංකාවේ තාත්තාගේ මහගෙදරට ආවා. 1967 තමයි මේ ගමන සිද්ධවුණේ. 1974 වෙනකල් අවුරුදු 8කට ආසන්න කාලයක් ඔහු ලංකාවේ ගත කරනවා. සුප ශාස්ත්‍රය සමඟ පීටර් කුරුවිට පෙමින් බැඳෙන්නෙ මේ කාලය තුළ.

තමන්ගේ ආච්චි අම්මා ඇසුරේ සූප ශාස්ත්‍රයෙ රස රහස් පිළිබඳ අත්දැකීම් ලබන පීටර් ශ්‍රී ලාංකික ආහාර පිසීම පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. ආච්චි අම්මාගේ සාම්ප්‍රදායික මුළුතැන්ගෙයි ආහාර පිසින්න පුංචි පීටර් ගොඩක් ආසා කළ බව කියැවෙනවා. ඉතින් පසුකාලීනව ඔහුම හෙළිකරලා තියෙන විදිහට, ආච්චිත් එක්ක එකතුවෙලා ලංකාවෙ ගතකරපු ළමා කාලය තමා ඔහු සූප ශාස්ත්‍රයට පෙළඹෙන හේතුව.

1974දී පීටර් පවුලෙ අයත් එක්ක ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවලට ගියා පදිංචියට. උසස් පාසල් අධ්‍යාපනය ඕස්ට්‍රේලියාවේදී අවසන් කරන පීටර් කුරුවිට සිඩ්නිවල සූප ශාස්ත්‍ර ඉගෙන ගන්න පටන් ගන්ගත්තා. පස්සේ ඔහු ඕස්ට්‍රේලියාවේදීම ආධුනික සූපවේදියෙක් විදිහට තමන්ගෙ තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

පීටර් තරුණයා සිඩ්නිවල ප්‍රාදේශීය සී ෆුඩ්ස්  අවන්හලක පුහුණු කාලය ගත කළා. අධ්‍යයනය කාලය අවසානයේ සූපවේදියෙක් විදිහට වෘත්තීය කටයුතු ආරම්භ කළ ඔහුගේ මීළඟ ගමනාන්තය වෙන්නේ නැවතත් එංගලන්තය. 1982 මේ තරුණ දක්ෂ සූපවේදියා ''එංගලන්තයේ වෝටර්සයිඩ් ඉන්'' කියන ත්‍රී ස්ටාර් අවන්හලේ සේවයට එක්වුණා. මෙතැනින් පස්සේ තමන්ගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය ළඟාකරගත් පීටර් කුරුවිට ඇමරිකා එක්සත් ජනපදය, ෆීජි දූපත් ඇතුළු ලෝකය ගොඩක් තැන්වල රැකියාව කරන්න සමත් වුණා.

2003 – 2004 වගේ කාලය වෙනකොට පීටර් කුරුවිට ආපනශාලා හිමියෙක් බවට පත්වුණා. ෆීජිවල සහ ඕස්ට්‍රේලියාවෙ අවන්හල් කිහිපයක්ම අද වෙනකොට ඔහුගේ ප්‍රධානීත්වය සහිතවයි ක්‍රියාත්මක වුණේ. Flying Fish, Steak House by Peter Kuruvita, Noosa Beach House වගේ අවන්හල් ගැන විස්තර මතක් කරන්න අපිට පුළුවන්.

කොහොම වුණත් පීටර් කුරුවිට කියන චරිතය ජනාදරයට පත් වෙන්නේ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට. 2011දී තමා මේ පෙරළිය සිද්ධ වුණේ. ''My Sri Lanka with Peter Kuruvita'' කියන වැඩසටහන තමා පීටර් කුරුවිට මේ තරම්ම ජනප්‍රිය වෙන්න හේතුව.

ඇත්තටම ලෝකය පුරා බොහෝ දෙනා ශ්‍රී ලාංකීක ආහාර සංස්කෘතිය ගැන දැනගන්න මේ රූපවාහිනී වැඩසටහන ලොකු හේතුවක් වුණා. SBS One රූපවාහිනි නාලිකාවේ තමා මුලින්ම මේ වැඩසටහන විකාශනය වුණේ. පස්සේ තව තැන්වල මේ වැඩසටහන විකාශනය වෙනවා අපි දැකලා තියෙනවා.

කොළඹ, සීගිරිය, නුවර, නුවරඑළිය, හම්බන්තොට, ගාල්ල වගේ ලංකාවේ සුප්‍රකට සංචාරක ගමනාන්තවල රූගත කරපු මේ වැඩසටහන, කොටස් 10 කින් සමන්විත වුණා. තමන් සූප ශාස්ත්‍රයට අත්පොත තියපු රටට ඇවිල්ලා ඇවිල්ල කුරුවිට කරපු කියපු දේවල් ලෝකය පුරා සූප ශාස්ත්‍රයට පෙම් බඳින අය බලාගෙන හිටියා. ඔහු හැදුවේ ලංකාවේ කෑම. වර්ණවත් ලස්සන කෑම වර්ග ඔහු හැදුවේ සුන්දරම දර්ශන තලවල ඉඳන්. මේ වැඩසටහන අතිශය ජනප්‍රිය වැඩසටහනක් බවට පරිවර්තනය වෙන්න පීටර් කුරුවිටගේ අපූරු ඉදිරිපත් කිරීමේ ශෛලියත් හේතු වුණ බව කියන්න ඕනෑ.

මේ එක්කම පසුකාලීනව තවත් වැඩසටහන් කිහිපයක් පීටර් කුරුවිට විසින් රූපවාහිනී මාධ්‍ය තුළ ඉදිරිපත් කළා. Island Feast With Peter Kuruvita (2011), Mexican Fiesta with Peter Kuruvita (2014), Peter Kuruvita’s Coastal Kitchen (2016). මේ වැඩසටහන් අතරින් කිහිපයක්. ඔහු පොත් කිහිපයකුත් ලියලා තියෙනවා. My Sri Lankan Journey සහ My Sri Lankan Kitchen කියන පොතේ අතරින් ප්‍රධානයි.

පීටර් කුරුවිට වගේම, ඔහුගේ රූපවාහිනී වැඩසටහනුත් අගයකිරීම්වලට සහ සම්මානයන්ට පාත්‍ර වෙච්ච අවස්ථා තියෙනවා. අද වෙනකොට මේ අපූරු චරිතය සන්නාම තානාපතිවරයෙකු විදිහට වගේම, හෝටල් ආපනශාලා කර්මාන්තය සම්බන්ධ උපදේශකයෙක් විදිහටත් කටයුතු කරනවා.

තාමත් ලෝකයේ සූප ශාස්ත්‍රය සම්බන්ධ ගහන්න පෙළේ රූපවාහිනී නාලිකාවල ඉදහහිටකදී හෝ ඔහුව දකින්නට ලැබීම සාමාන්‍ය දෙයක්. ඔහු නමින් යූ ටියුබ් නාලිකාවක් එහෙමත් තියෙනවා. ඒ වගේම මුහුණු පොතෙන් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ඔහුව අනුගමනය කරනවා. ලංකාවේ සූප ශාස්ත්‍රයට අත්පොත් තියෙන තරුණ සූපවේදීන්ට පීටර් කුරුවිට කියලා කියන්නේ තරුවක්.

කොහොම වුණත් වර්තමානය වෙනකොට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මේ අපූරු චරිතය, තමන්ගේ බිරිඳ සහ ආදරණීය දරුවන් තිදෙනා සමඟ සුන්දර කාලයක් ගත කරනවා. කඳවුරු බැඳීම, මසුන් ඇල්ලීම ආහාර පිසීම වගේ දේවල්වලට තමා ඔහු දැඩිව ඇළුම් කරන්නෙ. ඔහු සතුටින් රුකියාව කරන කෙනෙක්.

ගොඩක් දෙනෙක් පීටර් කුරුවිට මම අහලා තිබුණාට ඔහු ගැන තොරතුරු දැනගෙන හිටියේ නැහැ. ලාංකික සම්භවයක් තියෙන, ලංකාවට ආදරය කරන, ලංකාව ජාත්‍යන්තරය තුළ ඉහළින් ඔසවා තිබ්බ මේ වගේ චරිතයක් අපිට මගහැරලා යන්න බැහැ. ඔහු අපිට ආඩම්බරයක්. ඒ නිසාමයි අපි මේ කතාව ඔබ වෙනුවෙන් අරගෙන ආවේ.

I නිසල්