2022 නොවැම්බර් 27 වන ඉරිදා

සුබ උපන් දිනයක්-ලක්හඬ

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:01 130

ලක්හඬ කුමරියගේ 26 වැනි උපන් දිනයට ආදරණීය සුබ පැතුමක් එක් කරද්දි ලක්හඬ කියපු ගමන් මතකයට එන සොඳුරුතම නැවතුම් අතරින් මගේ හිත ගිහින් නවතින පළමුවැනි හිත නැවතුණ තැන තමයි ලක්හඬ ප්‍රේම තටාකය. ඒ ගීතය තරම්, සංගීතය තරම් චමත්කාරයක් මේ විශ්වයේ මම තවත් අත් නොවිඳින හින්දා.. ගීතයට වෙන්වුණ ලක්හඬේ ඒ ගීතවත් ඉඩ හසර පියමං කර යද්දි මුණගැසෙන කාලේ හන්දිය, සින්දු විසේ, හැඟුම් වරුසාව, සිංහරාව, වෙඩිල්ල, රුයේ ඇසෙන ගී, ජෝති රාත්‍රිය වගේ තවත් හිත නැවතෙන තැන් බොහෝමැයි.. ඒ හැම ආදරණීය නවාතැනකම සහෘද ශ්‍රාවක සිත නතර කර ගනිමින් ආ සොඳුරු සුවිසැරියේ 26 වැනි උපන් දිනය සමරන්න ලක්හඬ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න, වත්මන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කපිල තිලකසිරි, සහකාර කළමනාකරණ වැසටහන් මයුරි ලියනගේ, විධායක සන්නිවේදක නුවන් උදාර කරුණාරත්න, ඉන්ද්‍රසිරි සුරවීර ප්‍රමුඛ ලක්හඬ ගුවන්විදුලියේ මධුසංඛ මහමිතව, මොනිකා සේරසිංහ, චාමිකා මනෝජිනී ඇතුළු නිවේදක නිවේදිකාවන් මෙන්ම කාර්ය මණ්ඩලයත්, කලාකරුවෝත් එක්වී සිටියා.

නොවැම්බරයේ 15 වැනිදා ලක්හඬ උපන් දිනය දා වසර දෙකක කාලයක් සඳහා උසස් පෙළ සිසුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 800 ක වටිනාකමකින් යුත් ශිල්පාභිෂේක ශිෂ්‍යත්ව පිරිනැමීමේ ව්‍යාපෘතියක ඇරඹුමත්, ලක්හඬ Classic වෙබ් රේඩියෝව නිල වශයෙන් ආරම්භ කිරීමත් විශේෂයි. ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහෝදර ලක්හඬ කුමරිය 26 වැනි උපන් දිනය සැමරීම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ හිත නැවතුන තැන වැඩසටහනකුත් ඒ උපන් දිනය වෙනුවෙන් වෙන්වුණා. 19 වැනි සෙනසුරාදා දහවල් 12.30 ට හිත නැවතුන තැන ඉඩ හසර ලක්හඬ උපන් දිනය වෙනුවෙන් වෙන්කරමින් ඉමාල් විජේකෝන්, පැතුම් චානක, ඕෂධ ප්‍රියංකර, කසිඳු උදාර, සඳුන් විමලරත්න, ඉඳුනිල් අතපත්තු - හිත නැවතුන තැන නිෂ්පාදන කණ්ඩායම ඇතුළු සියලු දෙනා පෙන්වාලූ සහෝදරත්වයේ ආදරය හරි ලස්සනයි...

සතුට රැඳී ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය. ඉතින් සතුටින් ස්නේහයෙන් සුබ ගමනක් යන්නට ලක්හඬ ඔබට අපේ ආශීර්වාදය!

I සංජු
I සේයාරූ: ඕෂධ ප්‍රියංකර හා දුලින නදිල්