2022 නොවැම්බර් 27 වන ඉරිදා

රුමේනියා වීදි පුරා ගිටාරයෙන් රටා මවන සන්දීප්

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 193


අපි ඔබත් එක්ක බෙදාගන්න ලෑස්ති වෙන්නේ සීත යුරෝපයේ ඈත කෙළවරක රුමේනියානු දේශයේ වීදිවල මියුරු හඬින් බටහිර ගී ගයන තරුණයෙක් පිළිබඳ කතාවක්. ඔහු තරමක් වෙනස් විදිහට හිතන තරුණයෙක්. ලාංකිකයෙක්. නමින් සිසින්ද සන්දීප්. මේ සින්දීප්ගෙ කතාව.

රැකියාවක් හොයාගෙන රුමේනියාවට ගිය සිසින්ද ඉඩ පාඩුවක් ලැබෙන හවස් වරුවල, නිවාඩු දවස්වල මේ අපූරු කටයුත්ත කරනවා. සිසින්ද ගයන්නෙ බටහිර ගීත. ඉඳලා හිටලා සිංහල ගීතයක් එහෙමත් ගයනවා. ප්‍රතිචාර නම් බොහොමයි. වීදි සංගීත ශිල්පියෙක් විදිහට රුමේනියානු රජයේ පිළිගත් බලපත්‍රයකුත් මේ අපූරු තරුණයාට තියෙනවා.

කවුද මේ තරුණයා... ඇයි ඔහු යුරෝපයට ගිහිල්ලා මේ වගේ වැඩක් කරන්නෙ. ඔබට එහෙම ප්‍රශ්න ඇති. අපි මේ උත්තර දෙන්න සූදානම් වෙන්නෙ ඒ ප්‍රශ්නවලට.

සිසින්දගෙ ගම අලුත්ගම. බෙන්තර ගඟ අද්දර තමයි සිසින්දගෙ නිවහන පිහිටලා තියෙන්නේ. අලුත්ගම මහා විද්‍යාලයෙන් තමා සිසින්ද අධ්‍යාපන ලැබුවේ. පුංචි කාලේ ඉඳන්ම ඔහු තුළ සංගීතය පිළිබඳ  පුදුමාකාර උනන්දුවක් වගේම හැකියාවකුත් තිබුණා.

පාසල් කාලේම කණ්ඩායම් සංගීතයට අත්පොත් තියපු සිසින්ද සංදීප් ක්‍රමයෙන් මේ අපූරු කලාවේ සතර කොණ හොයාගෙන යන්න උත්සාහ කළා. බොක්ස් ගිටාරය තමා ඔහුගේ තනිකම මැකුවේ. මේ කාලේ තමන්ගේම කියලා ගීත නිර්මාණ කිහිපයකුත් එළිදක්වන්න සිසින්දට පුළුවන් වුණා. 

ගම් පළාතේ සංචාරක කර්මාන්තය යහමින් තිබුණු නිසා හෝටල් ආශ්‍රිතව සංගීතය සපයන්න සිසින්ද ඇතුළු මිත්‍රයන්ට හැකියාව ලැබුණා. මෙන්න මේ කාලෙත් පළවෙනි වතාවට යුරෝපයේ සංචාරය කරන්න අපේ අපූරු තරුණයාට අවස්ථාවක් සැලසෙනවා. විදී සංගීතය සහ වීදි කලාව පිළිබඳ ලොකු ඇල්මක් ආදරයක් සිසින්දගෙ හිතේ ඇතිවෙන්නෙ මෙන්න මේ කාලේ.

මේ වැඩේ ලංකාවේදී අත්හදා බලන්න සිසින්ද තීරණය කරනවා. කොහොම හරි වීදියක මුල්ලක ඔහේ සින්දු කියන්න නෙවෙයි ඔහු උත්සාහ දරන්නෙ. ලෝක මට්ටමින් යම් ප්‍රමිතියක් ආරක්ෂා කරගෙන Street Music කරන්න තමා ඔහුගේ මේ උත්සාහය.

එක්තරා අවස්ථාවක සිසින්ද සන්දීප්  ජනතා පරමාධිපත්‍යයෙන් තරු තෝරන තරගයකටත් යනවා. ඔහු තමාව හඳුන්වා දෙන්නේ වීදී සංගීත ශිල්පියෙක් විදිහට. ගයනවාට අමතරව මඟතොටේ ගී ගැන මිනිසුන් වෙනුවෙන් පිළිගැනීමක් ලබා දෙන්න කියලා රෑපවාහිනී මාධ්‍යයෙන් ඔහු රටට කියනවා. තරු සටනින් සිසින්දට නික්ම යන්න වෙන්නෙ ජනතා පරමාධිපත්‍යයට එහා ගියපු මාධ්‍ය ආධිපත්‍යය පිළිබඳ හේතුවක් නිසා.

කොහොම වුණත් ලංකාවේ වීදි සංගීතය ප්‍රමිතිගතව ඉස්සරහට ඇදගෙන යන උත්සාහය මේ අපූරු තරුණයා අතහරින්නෙ නෑ. කොළඹ සුපිරි වෙළෙඳ සංකීර්ණවල, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට සිසින්ද ගී ගයනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත බොහෝ දෙනාගේ ආදරය ගෞරවය මේ අපූරු තරුණයාට ලැබෙනවා.

ඒත් නීතිය වගේම කොළඹ නගර සභාවත් මේ කටයුත්තට එච්චර කැමති වුණේ නෑ. නගරය හැඩ කරන මේ කලාවට ඔවුන් නිතරම අකුල් හෙළනවා. ලංකාවේදී ඔහු මුහුණ දුන්න දුෂ්කරතා මෙතෙකැයි කියලා කියන්න බෑ. 

සිසින්ද වීදි සංගීතය තෝරාගත්තේ සංගීත සුපිරි තරු ගමන් කරන මාවත්වල ඔහුට යන්න බැරිකමක් තිබුණ නිසා නම් නෙවෙයි. ඔහු වීදියේ මිනිසුන්ට සජීවීව ගයන්න, එතැන තියෙන අමුතුම නිදහස භුක්ති විදින්න, මහ පාරේ යන අයගේ ප්‍රතිචාර ලබන්න කැමති වුණා. හරියටම කිව්වොත් ඒක සිසින්දගෙ Fashion එක වුණා.

මේ වැඩේට බලපත්‍රයක් දෙන්න කියලා ඉල්ලීම් කරන ලංකාවේ බලධාරීන්, නිලධාරීන් ළඟටත් සිසින්ද ගියේ ඒ නිසාමයි. ඒත් හැමතැනම තිබුණේ ප්‍රතික්ෂේප වීම්. කලාවෙන් නගරය තවත් හැඩවෙනවා කියලා කිව්වට අපේ රටේ කවුරුත් ඒක පිළිගත්තෙ නෑ. මඟතොටේදී හමුවෙන විශේෂ චරිත ලොකු ලොකු තැන්වල ගී ගයන්න ඇරුයුම් කළත් මේ අපූරු තරුණයාට තිබුණා වීදි සංගීතය පිළිබඳ හීනයක්. යුරෝපයේ වගේ අපේ රටේ Street Music වලට පණ දෙන්න ඔහුට ඕනෑ වුණා.

බොහෝ වැටීම් නැගිටීම් මතින් ගමන් කරපු සිසින්ද සංදීප්, රුමේනියාවට රුකියාවක් හොයාගෙන යන්න තීරණය කරන්නේ ගොඩක් දේවල් සිද්ධ වුණාට පස්සෙ. නමුත් මේ අපූරු තරුණයා රුමේනියාවට යන්නෙ ඔහුගේ සදාදරණීය සංගීතයත්, ගිටාරයත් අරගෙන.  

අවසානයේදී ඔහුගේ සිතුම් පැතුම් පැල කරන්න පුළුවන් සාරවත් පොළොවක් ඔහුට හම්බවෙනවා. රැකියාව අතර ඉඩකඩ ලැබෙන හැම ඇසිල්ලෙම මේ අපූරු තරුණයා නතර වෙන්නේ වීදියෙ. අවසානයේ රුමේනියානු රජයේ වීදි කලාකරුවන්ට ලබාදෙන බලපත්‍රයත් දින කිහිපයක් ඇතුළත ලබාගන්න ඔහුට පුළුවන් වෙනවා.

දැන් රුමේනියාවේ ඔහු ජීවත්වෙන පළාතේ යම් පමණකට මේ අපූරු සංගීත ශිල්පියා ජනප්‍රියයි. ඔහුට ආදරය කරන මිනිස්සු ඉන්නවා. මඟතොට යන අය සිසින්ද සමඟ එකතුවෙලා ගයනවා. නර්තනයේ යෙදෙනවා. තවත් වීදී කලාකරුවන් ඇවිල්ලා සාමූහික සංදර්ශන පවත්වනවා. තවත් කෙනෙක් මොහොතකට සිසින්දගෙ ගිටාරය ඉල්ලගෙන වයමින් ගයනවා.

ඉඳහිට මුහුණුපොතේ සජීවීව මේ දේවල් තමන්ට ආදරය කරන අයට බලාගන්න සිසින්ද බෙදාහරිනවා.

පිළිවෙළට ලස්සනට යුරෝපීය විදිහට ඇඳලා Stand මයික් එකක් බබල් එකක් තියාගෙන ගී ගයන මේ අපූරු තරුණයා පිළිබඳ අපිට ඇතිවෙන්නේ ආඩම්බරකාර හැඟීමක්. එතෙර රටකදී වුණත් අද ඔහු දිනලා.

සිසින්දගෙ ඊළඟ හීනේ ජාත්‍යන්තරය සංගීත ශිල්පියෙක් වෙන එක. බටහිර ගීත නිර්මාණ කිහිපයක් සිසින්ද මේ වෙනකොටත් නිර්මාණය කරලා තියෙනවා. ඒ හීනෙ වෙනුවෙන් ඔහු මේ දවස්වල මහන්සි වෙනවා.

මේ සීත කාලය වුණත් තවමත් ඔහු ගයනවා. ඔහුගේ අත්දැකීම් නම් බොහොමයි. සියල්ල මෙහි බෙදාගන්න ඉඩ නැති නිසා අදට අපි නවතිනවා. අපූරු මිනිසෙක් වෙන්න. සිහින හමාගෙන යන්න.. කොහේ හෝ සරු පොළොවක් හමුවේවි.

I නිසල්