2022 නොවැම්බර් 20 වන ඉරිදා

සම්මානනීය නිළි චන්දි රසිකාට ඔබේ උදවු අවශ්‍යම මොහොතක් මේ !

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 221

චන්දි රසිකා සිංහල සිනමාවේ සිටිනා ප්‍රවීණ, සම්මානනීය කලාකාරිණියකි. නමුත් අද වනවිට ඇය ගෙවන්නේ ඉතා අසරණ ජීවිතයකි. පසුගිය කාලයේදී ඇයත් ඇගේ සහෝදරියත් අසනීප වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන ඇති අතර චන්දි මේ වනවිට නුගේගොඩ පැඟිරිවත්ත නිවසේ ජීවත් වන්නීය. අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ "අරැණට පෙර" චිත්‍රපටය හරහා ඇය විදෙස් සම්මාන පවා හිමිකරගත් නිළියකි.

කුඩා කල සිටම චිත්‍රපට බැලීමේ කැමැත්තක් තිබූ චන්දි නැරඹූ පළමු චිත්‍රපටය වූයේ මාලිනී ෆොන්සේකා රඟපෑ "සුහද පැතුම" චිත්‍රපටයයි. එය ඇය නරඹා ඇත්තේ තම දෙමව්පියන්ට හොර රහසේය. තම මිතුරියක සමඟ සිනමා ශාලාවේ හොර රහසේ බැලූ සුහද පැතුම චිත්‍රපටයේ මාලිනී රඟපෑ දර්ශන ඇය තම නිවසට පැමිණ තනිවම කණ්ණාඩිය ඉදිරියේ රඟදැක්වූ හැටි චන්දිට අදටත් මතකය. නුගේගොඩ සමුද්‍රදේවී බාලිකාවේ ඉගෙනුම ලැබූ චන්දිට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි.

කුඩා කල පටන්ම සිනමාවට ඇළුම් කළ චන්දි රසිකා සිනමාවට සම්බන්ධ වූයේ වයස අවුරැදු දාහතරේදීය. චිත්‍රපට කිහිපයකට ඇය රඟපෑවද ඒ කිසිදු චිත්‍රපටයක ඇයට දෙබස් කියන්නට අවස්ථාව ලැබුණේ නැත. පාසල් සිසුවියක ලෙසින් ඇයට ඉතා කුඩා දර්ශන රාමුවල රඟපාන්නට අවස්ථාව ලැබී ඇති අතර සිනමාවට තිබුණ ආසාව නිසාම ඇය ඒවාට අකමැත්තෙන් තොරව සම්බන්ධ වූවාය. ඇයට දෙබස් සහිතව රඟපාන්නට ලැබුණු මුල්ම චිත්‍රපටය වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ "සතර පෙර නිමිති" චිත්‍රපටයෙනි.

1985 වසරේදී අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ "අරුණට පෙර" චිත්‍රපටයෙන් "හොඳම නිළිය" සම්මානය දිනාගැනීමට චන්දි රසිකාට අවස්ථාව ලැබුණි. අරුණට පෙර චිත්‍රපටය දෙස් විදෙස් සම්මාන රැසක් ලබාගත් චිත්‍රපටයකි. එතැන් සිට චන්දි රසිකා සිනමාවටත් පුංචි තිරයටත් නැතිවම බැරි කලාකාරිණියක වූවාය. කලකට පසුව අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගත වුණු "ඇගේ වෛරය" චිත්‍රපටය හරහා රංගනයෙන් දායක වුණ චන්දි රසිකා මුළු සිනමා ලෝලීන්ටම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුණි. ඇතැමුන් ඇගේ රංගනයන් සම්බන්ධෆයන් අගේ කරද්දී බොහෝ දෙනා ඇගේ රංගනයන් විවේචනය කළහ. ඒ හේතුවෙන් ඇගේ රංගන ජීවිතයේ බොහෝ අවස්ථාවන් ඇයට ඇහිරී ගියේය. ඇතැමුන් ඇය "කාමුක නිළියක්" ලෙසින්ද සිනමාවේදී හැඳින්වූහ. ඒ හේතුවෙන් චන්දි රසිකා සිනමාවට සමුදෙන්නට තීරණය කළාය. සිනමාවට සමුදුන්නද ඇය පුංචි තිරයේත් නිර්මාණ කිහිපයකට දායක වුණු කලාකාරිණියකි.

රංගන ජීවිතයෙන් මඳකට සමුගත් චන්දි රසිකා ව්‍යාපාරයක් ආරම්භ කළාය. ඇය කඩල, මුරුක්කු පැකට් කර අලෙවි කළාය. තම නිවසේ ෂෝටීස් සාදා කඩවලට දැම්මාය. එයින් තමන් ජීවත්වීමට හැකිවන ලෙසින් මුදලක් ලැබුණි. නමුත් ඇගේ පැවැති කොන්ද වේදනාව එන්න එන්නම වැඩි විය. අද වනවිට ඇය දරුණු කොන්ද වේදනාවකින් පීඩා විඳී. වරින්වර රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට ඇයට සිදුව ඇත. ඒ හේතුවෙන් තම ව්‍යාපාරික කටයුත්ත පවා කරගෙන යාමට ඇයට නොහැකි වී ඇත. අද ඇය පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය. සිනමාවේ කලක් රැඳී සිටි සම්මානනීය නිළියක් වූ චන්දි රසිකාට ඔබේ සවිය, ඔබේ පිහිට අවැසි මොහොතයි මේ....

- දිශානි