2022 නොවැම්බර් 20 වන ඉරිදා

මල්ලි නැතත් තෑග්ගක් දෙනවා

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 78


පියුමි ශ්‍රීනායකගේ මල්ලි හදිසි රිය අනතුරකින් මිය ගියා. ඒ සමුගැනීම පියුමිට දරාගන්න හරිම අමාරුයි. අදටත් පියුමි එයාගේ මල්ලි ගැන මතක් කරද්දී ඇස්වලට කඳුළු පුරෝගන්නවා. මල්ලි ජීවතුන් අතර ඉඳිද්දී මල්ලිගේ හැම උපන්දිනයකටම පියුමි තෑගි අරගෙන දීලා තිබුණා. අක්කාගෙන් අපූරු තෑගි ගන්න ඉස්සර ඒ මල්ලිත් හරිම ආසයිලු.

''මගේ උපන්දිනයට වගේම මල්ලිත් උපන්දිනයට මට එයා කැමැති තෑගි අරගෙන දුන්නා. අම්මගේ තාත්තාගේ උපන්දිනවලට මම හැම අවුරුද්දේම උදෙන්ම කතා කරලා සුභ පතනවා. මල්ලි ජීවත්වෙලා ඉඳිද්දී සමහරදාට ''මේ පාර තෑගි නැද්ද?'' කියලා බොරුවට මගෙන් අහනවා. ඉතින් මල්ලි නැතිවුණාට පස්සේ එයාගේ උපන්දිනයට මම එයා වෙනුවෙන් කාට හෝ තෑග්ගක් අරගෙන දෙනවා.''

• කඩල ගොට්ටක් අයිස් ක්‍රීම් එකක් අරන් දුන්නා

''මගේ අම්මයි තාත්තයි කලාවට හරි කැමැති දෙන්නෙක්. මට තාම මතකයි ඉස්සර මම පොඩි කාලේ මගේ අම්මයි තාත්තයි මාවත් එක්කරගෙන චිත්‍රපට බලන්න ගියා. ඒ ගිහින් එද්දී මට කඩල ගොට්ටක්, අයිස් ක්‍රීම් එකක් අරගෙන දෙන්න ඒ දෙන්නා අමතක කළේ නැහැ. ඒ නිසාම මම රංගනය සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. ඔය අතරේ තමයි මට ''චැනල් C'' ආයතනයේ නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.''

නිවේදිකාවක් විදිහට එහෙම සම්බන්ධ වුණු පියුමි ටික කාලයකින් මියුසික් වීඩියෝවලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා. හැබැයි පියුමිත් මුල්ම ටෙලිනාට්‍ය රංගනය වුණේ නම් ''අරුමවන්තී'' නිවේදිකාවක් විදිහට, මියුසික් වීඩියෝවලට සම්බන්ධව හිටපු පියුමි ''අරුමවන්තී'' ටෙලිනාට්‍යය අරුමයක් වුණේ නැහැ. හැබැයි දෙබස් කියද්දී, රංගනයෙන් දායක වෙද්දී ටිකක් නුහුරු නුපුරුදු වුණා කියලයි පියුමි කියන්නේ.

• බිම දාගෙන කොල්ලෙක්ට ගැහුවා

පියුමි ඉගෙන ගත්තේ මහබාගේ කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ. ඒක මිශ්‍ර පාසලක්. ඉස්සර පියුමි පුදුම දඟ ළමයෙක්. පිරිමි ළමයින්ව බය කරගෙන තමයි පාසලේ ඉඳලා තියෙන්නේ. හරිම චණ්ඩියි. හැබැයි දවසක් මේ චණ්ඩි කෙල්ලට වැරදිලා.

''ඉස්සර ඉස්කෝලේදී මම හරි දඟයි. කොල්ලෝ එක්ක ගහ ගන්නවා. පිරිමි ළමයින්ව බය කරගෙනයි හිටියේ. දවසක් මම පිරිමි ළමයෙක්ට ගැහුවා. ඒ පිරිමි ළමයත් මට ගහගෙන ගහගෙන ගියා. මට හිතාගන්නවත් බැහැ. එදා ඉඳන් මම කොල්ලන්ට නම් ගහන්න ගියේ නැහැ. එතකොට මම පහ වසරේ පන්තියේ. ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.''

• දුෂේනිගෙන් පියුමිට කනේ පහරක්

ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ''පාර දිගේ'' ටෙලිනාට්‍යය මේ දිනවල හරි ජනප්‍රියයි. ඒ ටෙලිනාට්‍යෙය් ''රුක්ෂානා'' චරිතය රඟපාන්නේ පියුමියි. ටෙලිනාට්‍යය ජනප්‍රිය වුණාට රුක්ෂානාට නම් ප්‍රේක්ෂකයින් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

මේ දවස්වල මම රඟපාන ''රුක්ෂානා'' නිසා මම බැණුම්මයි අහන්නේ. ගොඩක් දෙනෙක් මට ''හොඳ වැඩේ'' කියලයි කියන්නේ. මම ඒකේදී දුෂේනිගෙන් ගුටි කන කොටසට You tube එකෙත් Trending වුණා. ගුටි කෑවත් ඒ ගැන මට ගොඩාක් සතුටුයි. එදා නම් මම ඇත්තටම ගුටි කෑවා. පුහුණුවීම් කරලා රෑගත කිරීම් කරපු පළමු සැරේම දුෂේනි මට ඉස්සරට ඇවිත් හයියෙන් කම්මුලට ගැහුවා. මගේ කන එක විනාඩියක් ''කීන්'' ගාන ස්දදය මට ඇහුණා. දුෂේනිටත් දුක හිතුණා. ඊටපස්සේ මගේ අත පයට ගහන එක එයා හරි හෙමිහිට ගැහුවේ. සිවා අයියාට ඒක මදි. ඒ නිසා ආයෙත් දෙවැනි පාරටත් කනට ගැහුවා. දුෂේනි ඒ පාර හරි හෙමිහිටයි කනට ගැහුවේ. ඒකත් මදිවුණා. තුන්වෙනි පාර ආයෙත් දුෂේනි අත දිග හැරලා කනට ගැහුවා. දුෂේනි පව්. එයාට එදා හරියට දුක හිතුණා. මගේ මූණ නිල්වෙලා අයිස් පවා තිබ්බා. ඒ හැම වෙලාවෙම දුෂේනි ළඟට වෙලා හිටියා. එයා හරි අහිංසකයි. මට වඩා එයාට ඒ කම්මුල් පාර රිදිලා.

• සනත්ගෙන් පියුමිට ඉල්ලුමක්...

සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකකම ප්‍රධාන චරිතය රඟපෑවේ පියුමියි. මුලින්ම ''ගැහුනු'' චිත්‍රපටයේත් දෙවැනියට අධ්‍යක්ෂණය කළ ''ගඟුලක ගිනියම'' චිත්‍රපටයෙන් සම්බන්ධ වුණ පියුමිට ප්‍රවීණයන් එක්ක එකට වැඩකිරීමෙන් ලොකු අත්දැකීමක් ජීවිතයට එකතු වුණා.

''මම පුංචි කාලේ සනත් අයියා තමයි මම ආසම කරපු නළුවා වුණේ. ඉස්සර සනත් අයියා මාරම ලස්සනයිනේ. ගැහැනු චිත්‍රපටයට මාව එකතු කරගත්තේ සුජිත් නිශාන්ත කියන අයියයි. සනත් අයියා වගේ ප්‍රවීණයෙක්ගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීමම මගේ ජීවිතයට පුදුමයක්. ''ගඟුලක ගිනියම'' චිත්‍රපටයේ මම ක්ලීටස් මෙන්ඩිස් අයියාගේ බිරිඳ විදිහටයි රඟපෑවේ. ක්ලීටස් අයියා සනත් අයියා මට නිර්මාණයේදී බොහෝ දේවල් කියලා දුන්නා.

I දිශානි