2022 නොවැම්බර් 13 වන ඉරිදා

මහනුවරින් ලෝකයටම අවියානා...

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 183

ෙසාඳුරු නිදහසින් ඉගිල්ලෙන, ඔව් නොනැවතී... ඔව් නොනැවතී ඉගිල්ලෙන, නොනැවතීම විදාහල පියාපත් සලමින්ම මලක පෙත්තක්වත් නොතලමින් මල් පැණි තුඩගට අරගන්න නෙක වර්ණ ඇති පියාපත් උරුමයෙන් ලොව හැමතැනම වෙසෙන, ලොව හැමතැනම සරන සුන්දර Hummingbird සංකේතය Aviyana නාමයට ඉහළින් දිදුලමින් බොහෝ දෑ කියන වගය. ඉතින් වචන නැති දිගු සල්ලාපයක් තුළ Aviyana සංකල්පයේ සුගැඹුර සොයා යන්නට නිල්, තැඹිලි, කහ, රතු පියාපත් රැගත් ඒ Hummingbird මට කතා කරයි. ඉතින් ආදරණීය, නිදහස්, සුන්දර Hummingbird ඔබ ළඟ නැවතී අපි කතා කරමු

Hummingbird අනන්ත අහසක, අනන්ත නිදහසක ඔබ සරන්නේ යම් සේද අවියානා වෙත නවමු සුවිසැරියක ආස්වාදය සොයා ලොව නන් දෙසින් දිනෙක සංචාරකයන් පැමිණෙන්නේද එලෙසමය. Hummingbird ඔය දිලිහෙන පියාපත්හි වර්ණයන්ගෙන් දිලෙනා රසවත් ආහාරපාන සප්පායමෙන් උන් ගත සිත දිනෙක සනසනු ඇත. සොබාදහමේ සියලු චමත්කාරයන් විදාහල පියාපත් මත ගැල්වූ වර්ණ පදාසයන්හි සංකේතවත් කර සඟවා ඇති අරුම.. ඔබ නැවුම්.. ඔබ නිදහස්... සීමා මායිම් නැති අනන්තයක විසල් මාත්‍ර සොයා සැරිසරන ඔබ සේමයි ඉතින් අවියානා ඔබත්...

Aviyana - අවියානා... කියන්න මට ඒ නමක් විතරමද ඒ? නැත. Aviyana - අවියානා යන ලතින් වචනයෙන් කුළුගන්වන්නේ සාමය පිළිබඳව සොඳුරු අරුතයි. ඒ අරුතට ආදරයද සම්මිශ්‍රණය කර අවියානා වෙත පැමිණෙන ඔබට ආයුබෝවන් කියන්න 2023 දෙසැම්බරයේ 31 හෝ 2024 ජනේරුවේ 01 වැනිදා සිට අවියානා හිමිකරු, අඹ සෙවණ සමූහයේ අධිපති ආචාර්ය ඉන්දික තිසර හේවාවසම් සහ අරුණි, නයන, එරන්ද, ගිහාන්, ඩිලන්, ධනුෂ්ක, නාරද, තක්ෂිලා ඇතුළු කී නොකී අවියානා පොකුරේ ආදරණීය පිරිවර බලා හිදී. ඔබත් ආසද අනේ මන්දා... මමත් ආසම කහ රෝස මල් සුවඳ අවියානා බිම් තීරයක හිඳ සුවඳ විහිදුවන හැටි දවසක මට දැනෙයි; අක්කර 24 ක සුවිසල් බිම් යායක් පුරාවටම.. මම කැමතිම කහ රෝස මල් අතරට ළා දම් පාට, ළා රෝස පාට, රතු පාට, අනේ තව එක එක පාට රෝස මල්. මම ගණන් නොකළට අවියානා අයිතිකරු ඉන්දික හේවාවසම් කියපු විදිහට රෝස පැළ 15,000 ක් රෝස වර්ග අනූ අටක් එතන... අවියානා රෝස යායක් එහෙම හිතද්දි. සුදු පාට ලිලී මල්, තවත් මල් සුපිපෙන සහ නොපිපෙන නෙක තුරුලතා සේම විසල් මහ ගස් ඒ බිම පුරාම. අපි එහෙ ගියපු දවසේ අපිට ආයුබෝවන් කියන්න ආව විසල් වැස්සක රිද්මය හරිම මනරම්.. අවියානාට එක් කොණකින් රැකවල් සදන නකල්ස් කඳු තීරයත්, තවත් දෙසකින් දිස්වන පිදුරුතලාගල කඳුවැටියත් අපේ ඇස් මායිමෙන් දුරස් කර දසත අතිරූ සේල මිහිදුම් ඔහේ පාවෙවී අපිව අපිටම තුරුල් කළ හැටි... ඒ සීතල හරි මිහිරියි... ඇයි දන්නවද? උණුසුම් රතු වයින් වීදුරුවක, ළා රත්තරන් පාට උණුහුම් මාත්‍රාවක, කිතුලෙන් පෙරාගත් නැවුම් රා වඩියක ළෙන්ගතුකමත් එන්නත් කර පිළිගන්වද්දි හරිම සොඳුරුයි ඒ රාත්‍රිය; උන්මාද සිතුවම් මැවේ බිඳේ මිහිදුම් වලා මැද අතීතයේ, ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී, ගතින් ඉන්නට නැතත් ළං වී සිතින් යන්නට එපා වෙන් වී, සිත්තම් කරමින් මනසේ ඔබ රුව කවදා හෝ යළි දකින තුරා ඇතුළු ගී රිද්මයන් මා නිවාලූ ඒ රාත්‍රිය මනරම්. අඳුර මැද දැල්වුණු ගිනි මැලයේ ගිනි දැල් සේම සිතුම් අස දැල්වෙමින් තාරුකාත් ඇස් වසන තෙක් ගී පැදුරක් සමඟ ගෙවූ ඒ රාත්‍රිය සැබැවින්ම මනරම්; අප ගෙවා ඇති තවත් එවැනිම බොහෝ රාත්‍රින් සේම... ඒ මතකය මිහිරියි වැස්ස සීතල සමඟ මල් සුවඳ අප අනන්තයටම කැටුව ගිය.. ඒ මතකයේ මිහිර අතරින් කන්ද උඩරට මහනුවර පුරවරයේ උඩිස්පත්තුවේ ඉදිවෙමින් පවතින ලංකාවේ පළමු තරු හතේ නවමු හෝටල් ව්‍යාපෘතියේ සුවිශේෂී නිමැවුම් සේම ප්‍රදානයන් ගැන ඔබට කියන්නයි මම හදන්නේ... 

ඉතින් එන්න අහගෙන ඉන්න...

සුවිසල් ගොඩනැගිල්ලක හෝටල් කාමරයකට එහා ගිය අත්දැකීමක් තමයි අවියානා පෞද්ගලික ෂැලේ (Aviyana Private Chalets) ඔයාට අත්විඳින්න දෙන්න හදන්නේ. සල්ලි ඇතිවෙන්න නෙවෙයි ඇතිවෙලා උතුරන්න තියෙන, ඒ සල්ලිවලින් ජීවිතය උපරිමයෙනුත් උපරිමය විඳින්න කැමති සංචාරකයන්ටම වෙන්වෙච්ච ෂැලේ 60 ක් අවියානාට අයත්. ෂැලේ එකක් කියන්නේ සරල අර්ථයෙන් තනි කාමරයට එහා ගිය ඒකකයක්. එක ෂැලේ එකකට උණුසුම් ජලය පිරුණු පිහිනුම් තටාකයක් එක්ක නිදහස් නිදන කාමර, විසිත්ත කාමරයක්, පැන්ට්‍රි එකක්, වාහන අංගනයක් එක්ක තව තව දේවල් එකතු වෙනවා. ආදරෙන් අනුරාගයෙන් ඔහේ පාවෙන මොහොතක කොහොමද උණුසුම් ජල තටාකයක හාදු වැහි එක්ක ජීවිතය විඳින මොහොතක්.. ඉටිපන්දමක් දැල්වූ අඩ අඳුර මැද අනුරාගී කතාබහක්.. අන්න ඒ අත්දැකීමත් එයාලා ඔයාට දෙන්න හදන්නේ. සුවපත් නින්දක්, හිත කැමතිම කෑම බීම සප්පායමක් එක්ක ඔයාලටම වෙන්වෙච්ච ලෝකයක තනිවෙන්න පෞද්ගලික බට්ලර් සේවාවකුත් එක්ක.. ලෝකයේ හොඳම ආහාර ලැයිස්තුවක් සකස් කළොත් ඒ ඔක්කොම කෑම බීම ඔයාට දෙන්න අවියානා ලෑස්තියිලු... ඔයාට පුළුවන් ඔයා කැමති දේ කෝකියෙක්ට කියලා ඔයාගේ රස පදම අනුව උයා පිහාගන්න.. නැත්නම් ඔයාට හිතුණොත් ඔයා ආසා විදිහට උයලා කන්න, එයාට කවන්න, එයාලට කවන්න එහෙමත් පුළුවන්. අවියානා බිමේ අක්කර අටකට වැඩි බිමක කුළුබඩු, කාබනික එළවළු පළතුරු ලොකු වගාවක් තියෙනවා.. කැරට්, ලීක්ස්, ගෝවා ඇතුළු උඩරට පහතරට එළවළු වර්ග, සහල්, නැති දෙයක් නෑ ඒ බිමේ. ලස්සන වේවැල් කූඩයකට ඔයාගේ අතින්ම නෙලාගෙන නැවුම් බව සිඳෙන්නට පෙර උයන් කන්න හිතුණොත්... ශා.. එහෙම නේද? ඒ අස්සේ හිතුණොත් එවෙලෙම අල්ලන මාළුවෙක්ගේ රස බලන්න.. ඒ බිම අසලින් ගලා යන ඔයේ මාළු අල්ලන්නත් පුළුවන් ඔයාට බිලි පිත්ත අතට හුරුනම්.. එයාලා කියනවා කන්ද උඩරට රජකම් කළ රාජසිංහ රජු වෙනුවෙන් සැකසූ ආහාර වේල ප්‍රතිනිර්මාණය කර ඔයාලට පිළිගන්වන්න ඔයා කැමති නම් එයාලා ලෑස්තියිලු... රජ බිමක රජ කෑමක්.. වින්දනීයයි... ඒත් එක්කම ලංකාවේ හෝටලයක ඇති එකම පුස්කොළ පුස්තකාලයේ සැරිසරන්නත් ඔබට පුළුවන්. මේ සියල්ල අතරේ ඔබ වෙනුවෙන්ම සැකසූ කොක්ටේල් වර්ග 19 ක් ඔබට පිළිගන්වන්නත් ඔවුන් සූදානම්. රාවලින්, රත්තරන්වලින්, මැණික්වලින් සැදූ විශේෂිත කොක් ටේල් වර්ග ඒ අතර සුවිශේෂීයි.

නිදහසට වඩා ආදරයට වඩා ජීවිතය සුවපත් කරන තවත් දෙයක් තියෙනවද? ජීවිතය කියන්නේ ගන්න හුස්මක් හුස්මක් ගානේ විඳින්න ඕනෑ දෙයක්.. හුස්මක් වැටෙන නිසා නෙවෙයි, හුස්මක් ගන්න බව දැනෙන්නෙ ජීවත් වෙන තැනකයි ජීවිතය හමුවෙන්නේ... අවියානා හි සෞන්දර්යයත් ජීවිතය විඳින එවන් අවකාශ නිමැවූ අපූරු තෝතැන්නක්. අවියානා බිම පිහිටි මහනුවර උඩිස්පත්තුව අඩි 2600 කට වඩා උස කඳු මුදුනක් මත තමා පිහිටා තියෙන්නේ... මේ කඳු යාය හීල් ඔයට හා ගල් මල් ඔයට මැදිව පිහිටි රමණීය බිම් පෙදෙසක්... ස්වභාවික වායු සමනයක් හීල් ඔයත් ගල් මල් ඔයත් පිසගෙන අහස සිඹින තුරු මත දැවටෙමින් රෝස සුවඳත් අරන් එන සීත සුළඟ ගෙනෙන හැටි අපූරුයි... හැමදේම යා වෙන්නේ සොබාදහමේ නියමයත් එක්ක.. සොබාදහමට අවසඟව නොයන තාක් ජීවිතය හරි ලස්සනයි. එහෙම නේද? ඉතින් ඔව් කියන්න.. ඔව් කියන උත්තරය දෙන ඔයා වෙනුවෙන් තමයි අවියානා මේ නිමැවුම්... සොඳුරු උණුසුමත් අනුරාගී සීතලත් අතර දෝලනය වෙන මේ සොඳුරු මිටියාවත වෙත නුදුරු දිනෙක සපැමිණෙන ඔබ වෙනුවෙන් අඩි 1100 කට වඩා බෑවුමක් සහිත හෙළකට උඩින් ගුවන් පථයක් ඉදිවෙනවා. කටුනායක ගුවන් තොටුපොළේ සිට අවියානා සතු පෞද්ගලික හෙළිකොප්ටරයෙන් ඔයාට එතකොට අවියානා වෙත එන්න ගතවෙන්නේ ඔන්න විනාඩි 30 යි.. එහෙම නැන්නම් අවියානා වෙත එන්නම තැනුණු මඟ දිගේ ඔයාව එක්ක එන්න එයාලගේ V8 සුඛෝපභෝගී රථ පෙළක්ම  ලෑස්තියි ඔන්න.. ලංකාවේ භූ පිහිටීම ගත්තම උඩිස්පත්තුව තියෙන්නේ ලංකාවේ හරි මැදට ආසන්නයේ; තවත් අතෙකින් විශ්ව ශක්තිය එක්තැන් වූ බිමක. තවත් අතෙකින් එතන ඉඳන් මේ පුංචි රට වටේම සංචාරයක යෙදෙන්න එතන කියාපු තැනක්... අවියානා වට කරගත් සතර දෙසට දිවෙන්නේ වර්ග කිලෝමීටර් 350ක නොයිදුල් පරිසර කලාපයක්... ඔබට පුළුවන් ඉතින් ඒ සොඳුරු වන දෙවඟනගේ කන්‍යාභාවයට නොරිදවමින් සොඳුරු ස්පර්ශයෙන් හා ආදරණීය ඇසින් ඇයව හිතේ හැටියට විඳගන්න.

ස්තූතියි ඉන්දික ඔබට ගසක ළපල්ලකටවත් නොරිදවමින් අක්කර 24 ක බිම් යාය පුරා විහිදෙන්න අවියානා ෂැලේ හැටම ඉදි කරන සංකල්පය දිගහැරියට. එක ගසක් හරි සිඳින්න වුණොත් ඒ හිස්තැන පුරවන්නත් එක්ක බ්‍රීත් නමින් වන වගාවක් ආරම්භ කළ සංකල්පයත් ඔහුගේමයි. ඒ පැළ 30,000 ක් දැන් මේ පුංචි රටේ තව තව තැන්වල හොඳින් හුස්ම ගන්නවා. දේශීය සුදු හඳුන් ශාක 21 ක් සහ රත් හඳුන් ශාකයක් මෙන්ම අධික විෂ සහිත බදුල්ල ශාක ද මේ බිමෙහි ඇත්තේ සංචාරකයන් ඒවා දකින්නට ඇති කැමැත්ත නිසාමයි.

අවියානා ඔයාලා වෙනුවෙන් ලබා දෙන්න හිතන අත්දැකීම් අතර ගැඹුරු ප්‍රපාතයක් මත පියවි ලෙසින් ඇවිදින අත්දැකීම විඳින්න හැකි වීදුරු පාලම්, වායු බැලුන්, ගල් මල් ඔයේ හා හීල් ඔයේ රාෆ්ටීන් ඇතුළු ජල ක්‍රීඩා, පුංචි ගෝල්ෆ් පිටියක ගෝල්ෆ් අත්දැකීම් ආදී අත්දැකීම් රැසක් ඇතුළත්. ඒ හැමදේම අවසානයේ ඔයාට සැතපෙන්න සොඳුරු සුවදායී නිදි යහනකුත් එයාලා දෙන්නයි හදන්නෙ. ඔයාට පුළුවන් විවිධ පහසුකම් මට්ටම්වල කාමර වර්ග 16 න් ඔයාලට කැමති කාමර වර්ගයක් තෝරාගන්න. ඒත් එක්ක සුපිරිම තත්ත්වයේ ඇඳ අතිරිලි 16 න් එක වර්ගයක් තෝරාගන්න. ඔයාට හිතුණොත් ඇඳ ඇතිරිල්ලෙ ඉඳන් මට ඕනෙ කවුරුත් මෙතෙක් පාවිච්චි නොකළ අලුත්ම දේවල් කියලා ඔන්න ඔයාට Brand New Package එකක් දෙන්නත් එයාලා ලෑස්තියි. හැමදේම මෙරට සංස්කෘතික වටිනාකම් එක්ක යා කරලා පිළිගන්වද්දි ඔයාට නොවැරදීම පුළුවන් ඉතින් වෙන කිසිදු රටක නොවිඳි ශ්‍රී ලාංකික අත්දැකීමක් එක්ක සියල්ල විඳගන්න. මැණික් වර්ග ඔබ්බවපු රිදී හා රනින් සැරසූ පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු, වීදුරු භාණ්ඩ එක්ක ආනයනය කළ ටයිල් සහ රන් රිදී ආලේප කළ නාන කාමර උපාංග සහිත සුපිරි නාන කාමරයක පහසත්, උසස්ම තත්ත්වයේ ගෘහ භාණ්ඩ සහ මාබල්වලින් සමන්විත අංගනයක සුවයත් ඔබට විඳින්නට හැකියි. එහෙම ලියන මේ මොහොත් මගේ මතකයට එන්නෙ මිහිදුම බලන්න ගිය සඳළු තලයකදි යටි පතුල් ස්පර්ශ කළ කළු, අළු සහ සුදු සුමුදු ගල් අතිරෑ බිම. ගාල්ලෙන්, අනුරාධපුරයෙන් සහ මහියංගණයෙන් තමා ඒ ගල් ගෙනත් තියෙන්නෙ. සියුම් බව විනිවිද ඉසියුම් බව ඉස්මතු වෙන නිමැවුමක් වේද යම් තැනක, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සොඳුරුය. මගේ යටි පතුල් ඒ සීතල, ඒ උණුසුම් ගල් මත ඇතිල්ලෙමින් වින්ඳෙත් ඒ ඉසියුම් පිරිමැදුමයි. 

ලංකාව කියන්නෙ ලෝකයේ හොඳම ගමනාන්ත අතර ඉදිරියෙන්ම ඉන්න රටක්. සංචාරක ආකර්ෂණයෙන් අවාසනාවන්ත ලෙස පසු කළ මෑත කාලීන යුගයේ යම් තරමින් මිදුණත් සම්පූර්ණයෙන් නොමිදුණු පින් බිමක් මේ. කිසිදා ලංකාව අත් නොහැර යන ආදරයකින් රට වෙනුවෙන් ඩොලර් උල්පත් හදන මෙවැනි නිර්මාණශීලී ව්‍යවසායකයන් රටට අවැසිම යුගයක ඉන්දික තිසර හේවාවසම් අවියානා සංකල්පය ඔස්සේ දේශීය ආර්ථිකයට දායාද කරන ශක්තිය අනුපමේය මෙහෙවරක් වෙන්නෙත් ඒ නිසාමයි. දේශීය ආර්ථිකය සවිබල ගැන්වීමේදී සහ රටට ඩොලර් උල්පත් සම්පාදනයේදී සංචාරක කර්මාන්තය අතිශය වැදගත් වන අතර අවියානා වැනි හෝටල් ව්‍යාපෘති 15ක්වත් ලංකාවේ විවිධ සුන්දර ප්‍රදේශවල විහිදී යන ආකාරයට ඉදි කළ හැකි නම් එය ආර්ථිකය බලගන්වන්නට ශක්තිමත් පදනමක්. විශේෂයෙන් ඔහු බැංකුවකට හෝ කිසිවෙකුට රුපියලක්වත් ණය නොවී උපයාගත් ධනය මෙහි ප්‍රාග්ධනය බවට පත් කිරීම සුවිශේෂීයි.

ස්පා සංකල්පයෙන් බොහෝ ඔබ්බට ගිය ආධ්‍යාත්මික සුවයක් ලබන, මඟ හදන සෙනසුනක නිමැවුමක් ද අවියානා සතුයි. බෞද්ධ දර්ශනය වෙත විශේෂයෙන් යුරෝපීයන් දිනෙන් දින ඇදී එන සත්‍යයක් තුළ, ඒ නිරාමිස ආශ්වාදය, තාවකාලික පැවිද්ද, භාවනාව, දේශීය ආයුර්වේදය වැනි සංකල්පවලට සම්මිශ්‍රණය කර ඔබ වෙත තිළිණ කරන්න ඔවුන් පැහැදී ඉන්නේ තවදුරටත් ඔබ නිවාලනු පිණිසමයි. එමෙන්ම කිලෝමීටර් හතරක් දුරින් නකල්ස් සිට අවියානා වෙත ජලය රැගෙන එන්නේ නොඉඳුල් උල්පත් ඇසුරෙන්. පිරිසිදු වාතාශ්‍රය ද ඒ පරිසරයේ විහිද ඇති අතර නාන තටාක පිරිසිදු කරන්නට සැලසුම් කර ඇත්තේ ද රසායන ද්‍රව්‍ය යොදා ගැනීමකින් තොරවයි.

මීට අවුරුදු 12කට පෙරාතුව මිලට ගත් මෙම අක්කර 24 තුළ අවියානා නිර්මාණය වීම පිටුපස නොහිම් දිරියක, නිර්මාණශීලී චින්තනයක, නවමු ව්‍යවසායකත්වයක සොඳුරු පහන් දැල්වී ඇති වග ඔබට මා අමුතුවෙන් කිව යුතු නැහැ. අඹ සෙවණ සමූහයේ අධිපති ආචාර්ය ඉන්දික තිසර හේවාවසම්ගේ පා මේ බිම පුරා සිය දහස් අනන්ත වතාවක් ගැටෙන්න ඇත. අවියානා බිම දක්වා කඳු මාර්ගය දිගේ මිනිසුන්ගේ කර මතින් ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන ආ අවස්ථා එමටය. එකල උඩිස්පත්තුව ප්‍රදේශයේ දඩයක්කරුවන්ගේ ඉලක්ක වූ ගෝනුන්, මුවන් මැරූ දඩයක්කරුවන් ද අද අවියානා බිමේ සේවකයන්ය. ඒ අතින් අවියානා ඒ අහිංසක සත්වයන්ට ජීවිත දානය ද ප්‍රදානය කර ඇත. සැබැවින්ම ගම්වාසීන් රැසක් අද අවියානා තුළ තම ජීවනෝපාය සකස් කරගෙන සිටී. ඉන්දික පවසන පරිදි අවියානා සංකල්පය දිගහරින්නට පෙර ඔහු තම බිරිඳ සමඟ හෝටල් 175 කට ගොස් නැවතී ගත් අත්දැකීම් ඇසුරෙන් සකස් කළ වාර්තා 175 ක් පිළිබඳ අධ්‍යයනය කර ඇත. යොදුන් සිය දහස් ගණනක් අවියානා සිතින් මවමින් ඔහු මේ බිම පුරා ඇවිදින්න ඇත. සැබැවින්ම සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව, යන මඟ දෙපසය. නුදුරු සිහිනයක සැබෑව අත්විඳිමින් ඔහු අද විඳින්නේ ඒ සතුටයි. ඒ සතුටේ සේයාවන් ඔහු සේම ඔහුගේ පිරිවර ද එලෙසින්ම අතිවිඳිති.
අවියානා කළමනාකාරීත්වයට යටත්ව ඔබට ඉහළම ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයකට අනුව විකුණනු ලබන අවියානා ෂැලේ හැටෙන් හතළිහක්ම මේ වෙද්දී ශ්‍රී ලාංකික ආයෝජකයන් වෙත විකිණී හමාරය. විදේශිකයන් හා දේශපාලනඥයන් වෙත විකුණන්නේ නැත යන ස්ථිර නිගමනය පෙරදැරි ක්‍රමවේයක් තුළ ඒවා සිංහල, දෙමළ, මුස්ලිම් කිසිදු ජාති භේදයකින් වියුක්තව ශ්‍රී ලාංකික ආයෝජකයන් වෙත විකිණුනු අතර ඉතිරි ෂැලේ විස්ස ද එම ක්‍රමවේදය තුළම විකුණන්නට ඔහු සූදානම්ය. අවියානා හා ගැටගැසුණු සියල්ල නීතිය හා එකඟව නිරවුල්ව සම්පාදිතය. 

වසරකට අවියානා වෙත සංචාරක නැවතුම් ඇණවුම් 2160 ක් ලැබීම යනු ව්‍යාපෘතියේ සාර්ථකත්වයේ පදනමයි. එය කිසිසේත් අසීරු ඉලක්කයක් නොවන්නේ අවියානා සංකල්පය ලෝ පුරා විහිදී ගිය පසු නිතැතින්ම අවියානා සංචාරක පාරාදීසයක් වන මං සලකුණු මැනවින් දිසි පසුබිමකය. ජීවිතය විඳින්නට, මධුසමය සොබා සෞන්දර්ය ද සමඟ රමණීය රමණයක සොඳුරුතම අත්දැකීමක් ලෙස විඳින්නට මෙහි පැමිණිය හැකි නම් සොබාදහම හා යා වුණු සියල්ල ඔබට එහිදී තිළිණ වනු ඇත. 
ජීවිතය යනු ජීවත් වීම පමණක් නොවේ. ජීවිතය ගවේෂණාත්මක සොඳුරු නිර්මාණශීලී චමත්කාරයන් තුළ ගැඹුරුම හුස්මක් දක්වා සොයා යාමය. සියලු සෞන්දර්යන්ගේ හරය එක්වුණු තැන චමත්කාරය සලකුණු වේ. ජීවිතය යනු එනයින් සංසාර වීදියෙන් වීදියට චමත්කාරය සොයා යා යුතු සොඳුරු ගමනකි. ඒ ගමනේ පරිච්ඡේද සොඳුරු සංචාරක නිමැවුම්වලින් සරසන්නට ඔබට ඇවැසි නම් එන්න 2023 දෙසැම්බර් 31, නැත්නම් තවත් දවසක් එහාට 2024 ජනේරුවේ පළවැනිදා සිට අවියානා වෙත ඇවිත් යන්න. (එන්න ඉස්සර සැරිසරන්න ඇවැසි නම් www.aviyana.lk) 

I සංචාරක සටහන - සංජීවිකා
සේයාරූ - සුමුදු හේවාපතිරණ