2022 නොවැම්බර් 13 වන ඉරිදා

සිංහල මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරය ගැන මට හරි පුදුමයි

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 143

රංගනයට එකතුවෙන කෙනෙක් ටැටූ ගහන්න හොඳ නෑ........
ටැටූ දෙකක් ගහගත්ත එක මම කරගත්තු ලොකුම වැරැද්දක්

නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් වුණු දර්ශන් දැන් 'දීපවාලි රෑ' ගීතයෙන් ගායකයෙක් වෙලා. ඇත්තටම මොකද හිතෙන්නෙ?

මගේ ජීවිතේ ලොකු ලොකු හීන, බලාපොරොත්තු තිබුණෙ නැහැ. මගේ ළඟ රැකියාවක් ගැන ඉලක්කයක් තිබුණෙ නැහැ. සමහරුන්ට බැංකු ක්ෂේත්‍රයට යන්න, දොස්තරවරු වෙන්න ඉලක්කයක් තිබුණට මට එහෙම තිබුණෙ නැහැ. ඉගෙන ගන්න කාලෙදි අධ්‍යාපනයට මම එච්චර දක්ෂ කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඒ කාලේ මට එහෙම ඉලක්කයකට යන්න බැරි වුණා. මට මොනවා හරි කරලා සල්ලි හම්බ කරන්න ඕනෙ කියලා විතරයි හිතුණෙ. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ගුවන් මැදිරි කාර්යයන් (Cabin crew) ඉගෙන ගත්තා. ඒකට ගියොත් ගොඩක් රටවල සංචාරය කරන්න පුළුවන් නිසා මම ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. ඒ සම්බන්ධයෙන් රුකියාවක් බලාපොරොත්තුවෙන් ඉඳිද්දි තමයි මුලින්ම මට රූපවාහිනී නිවේදකයෙක් විදිහට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. ගුවන් සමාගමකට සම්බන්ධ වනතුරු මේ රැකියාව කරනවා කියලා හිතපු මම නිවේදකයෙක් වුණා. ඊට පස්සෙ තමයි රංගනයට එකතු වුණේ. එහෙම ඉඳිද්දි නිරූපණ ක්ෂේත්‍රයට, රූප රචනාවලට සම්බන්ධ වුණා. මේ කිසිම වැඩක් මම ඉල්ලලා ලැබුණු දේවල් නෙමෙයි. 'දීපවාලි රෑ හීනයත්' මට ලැබුණු හරි අපූරු අවස්ථාවක්.

'දීපවාලි රෑ' ගීතය ගායනය වගේම එයට රංගනයේ යෙදෙන්නෙත් දර්ශන්?

ඔව්.. ටොරානා ආයතනය මට කතා කරලා "ඔයත් එක්ක එකතුවෙලා රෑප රචනාවක් කරන්න ඕන" කියලා කිව්වා. ඇත්තටම හැමදාම වගේ මම මේකෙ රඟපාන්න යනවා කියලයි හිතුවෙ. එතනට ගියාට පස්සෙ තමයි "ඔයා තමයි මේක ගායනා කරන්නෙ" කියලා කිව්වා. ඒක මට පුදුමයක්. මේක මගේ පළවෙනි ගීතයයි. මටම පුදුමයි අද වෙද්දි මේ දවස් කිහිපයට මේ ගීතය ගොඩක් දෙනා බලලා තියෙනවා. එහෙම වෙයි කියලා මම හිතුවෙ නැහැ. මේ ගීතය ගායනය වගේම මම රංගනයෙන් යෙදෙනවා. 'දීපවාලි රෑ' මාව පුදුම කළා. දමිළ කෙනෙක් විදිහට සිංහල මිනිසුන්ගෙන් ලැබෙන මේ ආදරය ගැන කියන්න මට තේරෙන්නෙ නැහැ. "මූ මොකක්ද සිංහලෙන් කියලා කරන්න යන්නෙ" කියලා හිතපු අයට මම ගොඩක් හොඳ උත්තරයක් දුන්නා කියලා හිතනවා. සිංහල වුණත් දමිළ වුණත් හරි දේ කළොත් අපිට ඕනම තැනකට යන්න පුළුවන් කියලයි අද මට හිතෙන්නෙ.

මේ සිංහල ගීතයක්. ගායනා කරන්න ලේසි වුණාද?

නැහැ.. දමිළ කෙනෙක් වුණු මට සිංහල ගීතයක් ගායනා කිරීම ලොකු අභියෝගයක් වුණා. සිංහල සින්දු අහන එක මට අලුත් දෙයක් නෙමෙයි. හැබැයි සිංහල දෙබස් කියන එක මට ටිකක් අමාරුයි. පුංචි කාලේ ඉඳන් මම සිංහල සින්දු ඇහුවා. චාමික සිරිමාන්නගේ 'අපි වෙන්වෙන තරමට' ගීතය තමයි මගේ ආසම ගීතය. ඒක කියලම මට දැන් හොඳට කට පාඩම්. යාළුවෝ එක්ක සින්දු කියද්දිත් මම ඒ ගීතය ගායනා කරනවා. ඒ වගේම මම ෂෙහාන් අයියගේ සින්දුවලටත් හරි ආසයි. ඒවා ටික ටික ගායනා කරනවා. ඒ නිසා සින්දුවක් කියන එක ලොකු අමාරු දෙයක් වුණේ නැහැ. හැබැයි හරියට වචන උච්චාරණය කරන එක ලේසි වුණේ නැහැ. මේ ගීතය පද රචනා කළේ නිලාර් එන්. කාසිම්. ඔහු මට ළඟම ඉඳගෙන වචන උච්චාරණය කරන හැටි කියලා දුන්නා. ඒ අතරින් වචන දෙක තුනක් නම් කියාගන්න අමාරු වුණා. 

අද වෙද්දි ඔබට වැඩිපුරම ඉන්නෙ සිංහල රසික රසිකාවියන්?

ඔව්.. ඒක මාරයි. මාව මෙච්චර ජනප්‍රිය වෙයි කියලවත් මට මෙච්චර ආදරයක් ලැබෙයි කියලවත් මම හිතුවෙ නැහැ. මට යම් තැනකට එන්න පුළුවන් වෙයි කියලා හිතුවට මේ තරම් ආදරයක් මම බලාපොරොත්තු වුණේ නැහැ. හැබැයි හැම දෙයක්ම කරද්දි මම ඒකෙ ඍණාත්මක පැත්තත් හිතුවා. "මෙහෙම වුණොත් මොකද වෙන්නෙ" කියලා හිතද්දි එතනදි වෙන හොඳ පොඩි දේත් මට ලොකු දෙයක් වුණා. මේ ක්ෂේත්‍රයට එද්දි අනිත් කලාකරුවන් වගේ මට මේකෙ රැඳෙන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් තිබුණෙ නැහැ. හැබැයි ඉස්සර හම්බ කළාට වඩා දැන් ටිකක් හරි වැඩියෙන් හම්බ කරන්න පුළුවන් වෙයි කියලා නම් හිතුවා. ඉතින් දමිළ වගේම සිංහල රසික රසිකාවියන්ට මම ගොඩක් ස්තූති කරනවා. ඒ අයට මම හරි ආදරෙයි.

පසුගිය දවස්වල දර්ශන් ඉන්දියාවේ යන්න හිතාගෙන හිටියා. ඒ ගමනට මොකද වුණේ?

පසුගිය කාලෙදි විකාශය වුණු 'ශක්ති' ටෙලිනාට්‍යයේ විතරයි මම රඟපෑවේ. ඊට අමතරව ඉඳලා හිටලා නිරූපණ කටයුතුවලට, රූප රචනාවලට සම්බන්ධ වුණා. හැබැයි මට කාලය තිබුණා. ඒ කාලය අපරාදේ කියලයි මට හිතුණෙ. ඒ නිසයි මම ඉන්දියාවට යන්න හිතුවෙ. හැබැයි ඒ තීරණය ගත්තට පස්සෙ මට නිර්මාණ කිහිපයකටම කතා කළා. ඒ නිසා ඉන්දියාවට යන්න තිබුණු ගමන කල් ගියා. ඊට අමතරව ප්‍රංශයේ ජීවත් වෙන ලංකාවේ කෙනෙක් නිෂ්පාදනය කරන ප්‍රංශ චිත්‍රපට උළෙලකට ඉදිරිපත් කරන්න සූදානම් වන සිංහල චිත්‍රපටයකටත් මට අවස්ථාවක් ලැබුණා. ඒකත් වෙනස්ම අත්දැකීමක් වේවි. දෙසැම්බර් මාසෙදි එහි රෑගත කිරීම් පටන් ගන්නවා. හැබැයි තාම ස්ථිර නැහැ. ඒක අතහැරුණොත් වෙන මොකක් හරි චරිතයකට දායක වෙනවා.

ඔබ රඟපාන දමිළ චිත්‍රපටයක් සිංහල රසික රසිකාවියන් නරඹනවා දකින හීනයකුත් තියෙනවා කියලයි ආරංචිය?

ඔව්.. මට ඉන්දියාවෙදි දමිළ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඒක මගේ සිංහල රසික රසිකාවියන් දකිනවා බලන්න මම හරි ආසයි. ඉන්දියාවේ සිනමාවේ දමිළ අය ඉන්න තැන් විතරයි මම බලන්නෙ. ඒ අය සිංහල මිනිසුන් දමිළ චිත්‍රපට බලනවා කියලා දන්නෙ නැහැ. ඒ නිසා මම ඉන්න දමිළ චිත්‍රපටයක් මගේ සිංහල රසික රසිකාවියන් බලන්න යන දවසක් දකින්න මම හරි ආසයි. බලමු.. ඉතින් ඒ හීනය සැබෑ කර ගන්න පුළුවන් වෙයිද කියලා.

දර්ශන්... දැන් ටැටූ කීයක් තියෙනවද?

ටැටූ දෙකක් තියෙනවා. ඒ දෙකම නළුවෙක් වෙන්න කලින් කරපුවා. මේ ටැටූ දෙක තමයි නළුවෙක් විදිහට මම කරපු ලොකුම වැරැද්ද. රඟපාන්න යද්දි දැන් ටැටූ එක ලොකු අවුලක්. ඒ නිසා රංගනයට එකතුවෙන කෙනෙක් ටැටූ ගහන එක හොඳ නැහැ.

ඔබ මේ වෙනකොට පෙම්වතෙක්ද?

නැහැ.. දැන් මම පෙම්වතෙක් නෙමෙයි. මට පෙම්වතියක් හිටියා. එයා දමිළ ගැහැනු ළමයෙක්. මම මේ ක්ෂේත්‍රයට එන්න කලින් සිංහල ගැහැනු ළමයෙක් හිටියා. ඇයත් රඟපාන කෙනෙක්. හැබැයි එයාවත් මමවත් ඒ ගැන කාටවත් කියන්නෙ නැහැ

I දිශානි ජයමාලි
සේයාරූ- සුමුදු හේවාපතිරණ