2022 නොවැම්බර් 13 වන ඉරිදා

එන්න ’’On line’’ පෙම් කරන්න

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 87

මොනවද මේ Dating App? ඔන්න මචෝ මේ දවස්වල වැඩියෙන්ම කතාකරන සීන්කෝන් එකක් ගැන තමයි අද කතාව. පහුගිය දවසක අපේ රටේ කෙනෙක් නිසා Dating Apps කියන සීන් එක අපිට නිතර නිතර ඇහෙන්න පටන් ගත්තා. ඇත්තටම මේක ලෝක මට්ටමෙන් බැලුවොත් නම් පට්ට Y Trend එකක්. ඒත් අපේ රටේ බහුතරයක් දෙනා නම් මේ සීන් එක ගැන එච්චර දන්නෙ නෑ මචෝ.

අපේ රටේ කෙනෙක් සම්බන්ධ අර කිව්ව සීන්කෝන් එක පට්ට Viral වුණානෙ සුදෝ. නිසාම තමා Dating App ගැන වගේම, ඒ සීන් එකට සම්බන්ධයි කියන Tinder කියන ඇප් එක ගැනත් අපි කතා කරන්න හිතුවෙ. අනාගතයේ ලංකාවත් මේ Dating Apps වලට හුරු වුණොත් පුදුම වෙන්න එපා. මොකද දැනටමත් කන් කොන්වල සීන්කෝන් එක තියෙනවා වස්තු.

ඉතින් ඇත්තටම මේ සීන්කෝන් ගැන කල් තියා හොඳ නරක තේරුම් ගන්න ඕනෑ. ඒකයි මචෝ චුට්ටක් විතර විස්තර දැනගන්න එක වටිනවනෙ. ඒකයි දැනට අපි ලාවට මේ ගැන ගලපන්නෙ. ඉස්සරහට වැඩි විස්තර දෙන්නම්.

සරලවම කිව්වොත් කිව්වොත් මාර්ගගත (On line) ප්‍රේම සම්බන්ධතාවක් නිර්මාණය කර ගැනීම තමා මේ Dating Apps වලින් කරන්නේ. මේ ජාතියේ Application, website සෑහෙන්න ප්‍රමාණයක් දැන් අන්තර්ජාලයේ තියෙනවා. තවත් ටිකක් තේරෙන්න කිව්වොත් මේක පත්තරේ හරියට මංගල දැන්වීම් තීරය වගේ සීන් එකක් සුදෝ.

මතකද සුන්දරා, ඉස්සර කපු මහත්තයාගේ රාජකාරිය. පස්සෙ ඒක පත්තරෙන් කරන්න පටන් ගත්තානෙ. ඊටපස්සේ ඔන්න මංගල සේවා සපයන Companies එහෙමත් නිර්මාණ වුණා. ඒ සියලු විකාශනයන්ගේ අවසාන ප්‍රතිඵලය තමයි සයිබර් ලෝකේ Dating Apps සීන් එක.

හැබැයි මෙතන තියෙන වෙනස තමා මේ හරහා නිර්මාණය කරගන්නේ කසාදයක් නෙවෙයි ප්‍රේම සම්බන්ධයක්. ඒක කරගන්නෙත් දෙමව්පියෝ නෙවෙයි තම තමන්. සමහරක්විට සම්බන්දෙ විවාහයකින් කෙළවර වෙන්න පුළුවන්. ඒවා ඉතින් ෂුවර් නෑ මචෝ හරියටම. මොකද මේ සීන් එක අයිති වෙන්නේ වෙනම cultural level එකකට.

ඉස්සර පත්තරවල වගේ නෙවෙයි දැන් මේ Apps වල තියෙනවා පහසුකම් ගොඩක්. තමන්ගේ විස්තර කැමැති අකමැති දේවල් මේ Application වලට දාන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ එහෙමත් එකතු කරන්න පුළුවන් සුන්දරා. මේ සීන් එකත් එක්ක බැඳිලා තියෙන GPS තාක්ෂණය හරහා ඔයාට පුළුවන් ඔයාගේ අවට ඉන්න අයව අඳුරගන්න. මේ වගේ තවත් එක එක විදියේ අවස්ථා මේ සීන්කෝන් එකේ තියෙනවා සුදෝ.

ඔයාට පුළුවන් මෙතැනදී කැමැති කෙනෙක් එක්ක චැට් කරන්න. එහෙම චැට් කරලා දැන හඳුනගෙන පස්සෙ හමුවීමක් යොදාගන්න. ඔන්න සුදාලාට හිතෙයි social media ඇතුළෙත් මේ වැඩේම කරන්න පුළුවන් නේද කියලා. ඔහු පුළුවන් මචෝ. හැබැයි social media වලයි Dating Apps වලයි purpose එක දෙකක්. Dating App ඇතුළට එන හැමෝම ඒ අවශ්‍යතාවය තියෙන අය. ඒ නිසා අදාළ තැනින් අදාළ වැඩේ කරගන්න එක තමා පහසු.

ඇත්තටම මචෝ මේ කාලේ මිනිස්සුන්ට තමන්ට කියලා ප්‍රේම සම්බන්ධතාවයක්වත් නිර්මාණය කරගන්න පහසු නෑ. කාලය සහ මුදල් මිනිස්සුන්ව සීමාසහිත කරලා. ඒ නිසාම මේ Dating Apps සීන් එක ලෝකය පුරා දැන් නැගලා යනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බහුතර පෙම් හමු සිදුවන්නේ Dating Apps හරි Web හරි භාවිත කරලා කියලා සමීක්ෂණ වාර්තා හෙළිකරනවා. 2040 වෙනකොට මේ ප්‍රමාණය සීයට 70කට වැඩිවෙයි කියලා තමා එයාලා කියන්නෙ. ඇමෙරිකාව තමා මේ සීන්කෝන් නිජබිම. ඒ වගේම අදටත් ක්ෂේම භූමිය.

අපි මුලින්ම කියපු  ලංකාවේ කෙනෙක්ගේ නම ඈඳුනු සිදුවීමේදී Dating app එක තමා Tinder කියලා කියන්නෙ. Tinder කියන Application එක තමා මේ Smart ලෝකේ Dating සීන් එක මෙච්චර ලොකුවට ව්‍යාප්ත වෙන්න හේතුව. 2012 විතර තමා මේ ඇප් එක කරළියට එන්නේ මචෝ. දෙදහසේ මුල් අවුරුදු කිහිපය ඉඳලම Dating Webs ගැන ඇමරිකාවේ ලොකු උනන්දුවක් තිබ්බත් Tinder තමා Application එකක් විදිහට Dating සීන එක Global කරේ. සමහරුන්ට Tinder කියලා කියන්නේ ඇබ්බැහි වීමක්.

ඔයා Tinder ගිහිල්ලා. පරිශීලයෙක් වුණොත් මචෝ ඔයා එකතුකරලා තියෙන රුචි අරුචිකම් අනුව ඔයාට ගැලපෙන අයව ජංගමයගේ තිරේ මතුවෙනවා. ඔයා ඒ කෙනෙක්ට කැමති නම් ''දකුණට ස්වයිප් කරන්න'' ඕනෑ. අකමැති නම් ''වමට ස්වයිප් කරන්න'' පුළුවන්. ඔයාගේ කැමැත්තක් තියෙන කෙනා ළඟට ගියාම එයාගේ වගේ පුංචි Bio එකතුත් පෙන්නනවා. ඔයා ඉන්න ලොකේෂන් එක අනුව අවට ඉන්න අයව Search කරන්න Tinder වල පුළුවන්. කොහොමත් එයාලා තෝරලා බේරලා තමයි අපිට කට්ටියව පෙන්නන්න. ඉතින් පස්සේ ඕනෑනම් මැසේජ් කරන්න පටන් ගන්න පුළුවන් මචෝ.

ඔන්න මචෝ අමුතු කතාවක් තියෙනවා කියන්න. විවාහය ප්‍රේමය ලිංගිකත්වය කියලා කියන්නෙ එකිනෙකට සම්බන්ධ වෙච්ච දේවල් විදියට තමයි අපේ රටේ සංස්කෘතිය ඇතුළෙ අපි දකින්නෙ. ඒත් බටහිර සංස්කෘතිය ඇතුළේ මේ තුන තුන් විදියකට මිනිස්සු කියවා ගන්නවා. මේ Dating apps ඇතුළේ ගොඩක් වෙලාවට විවාහ සම්බන්ධතාවලට වඩා වැඩියෙන් ඇති වෙන්නේ ආදර සම්බන්ධතා. ඒ ආදර සම්බන්ධතා විවාහයකින් කෙළවර වෙනවාද නැද්ද කියන එක බටහිර අයට එච්චර අදාළ දෙයක් නෙමෙයි. අනිත් අතට මේක ඇතුළෙ ලිංගිකත්වය කියලා කියන්නේ එයාලට සාමාන්‍ය දෙයක් මචෝ.

හොඳ හෝ නරක මෙන්න මේ ආකල්පය නිසාම මේ Tinder ඇතුළු ගොඩක් Dating apps වල ලිංගිකත්වය සොයායන අය විශාල වශයෙන් වාර්තා වෙනවා. සුදාලට කියන්න ලිංගික සම්බන්ධතා වෙනුවෙන්ම විතරක නිර්මාණය වුණ Apps, Web විශාල ප්‍රමාණයකුත් දැකගන්න පුළුවන්.

ලංකාවේ මේ කිසිම දෙයක් නැහැ. ලංකාව හරි පිරිසුදු තැනක් කියලා නම් අපිට කියන්න බෑ මචෝ. මේ Apps, Web ලංකාවෙත් පාවිච්චි නොවෙනවා නෙවෙයි. සංචාරක කර්මාන්තය තියෙන ප්‍රදේශවල ලංකාවට එන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් විදියට Tinder භාවිත කරන තරුණ අය ඉන්නවා මචෝ. ඒත් ඒ දේවල් ගොඩක් දෙනෙක් දන්නේ නෑ.

මේ ගැන එකී මෙකී නොකී තවත් ගොඩක් දේවල් තියෙනවා සුන්දරා. Tinder ගැන තවත් දවසක Y Trend එකක් අපි අරගෙන එන්නම්. Dating Apps, Web ගැනත් තව සීන්කෝන් තියෙනවා ඔයාලට කියන්න. ඒකටත් වෙනම දවසක් දා ගමු. පහුගිය දවස්වල අහන්න ලැබුණු සීන් එකට අදාළව Dating Apps ගැනයි Tinder ගැනයි පුංචි හරි අවබෝධයක් සුදාලාට ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් ලබන සතියේ හම්බවෙමු.

I නිසල්