2022 නොවැම්බර් 13 වන ඉරිදා

නවාතැන ජීවන මගේ ඔබේ සෙවණැල්ලයි...

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 156

නුඹ නැති අංශුමාත්‍රයක් මම ජීවිතයේ කොතැනක හෝ ඇත්දැයි  සොයමි. එහෙත් නුඹෙන් තොර කිසිවක් නැති වග මට දැනේ.... නුඹ අනන්තයක් වී ජීවිතයේ හැම තැනම.... හැම පිටුවකම..... හැම පරිච්ඡේදයකම ගැවසෙන හැටි... නුඹෙන් තොර හුස්මක් වැටෙන තැන් හමුවුවද නුඹෙන් තොර හුස්මක් ගන්න කිසිදු තැනක් ජීවිතයේ හමු නොවෙන හැටි.... හැම මොහොතකම නුඹ නැතුව නුඹ එක්ක මම..... ඉතින්....

මගේ මැණික....
ඔබෙන් තොර වූ ලෝකයක් සිතා ගන්නට බෑ.......

ඒ දවස ජීවිතයේ හරි ආදරණීය මතකයක්... ජීවිතයේ හරි අහම්බයක්.... නොදුටු නුඹේ කටහඬ මම අහපු පළමු තත්ත්පරය මාව ප්‍රකම්පනයෙන් මුසපත් කළෙත් මේ වගේම සීතල නොවැම්බරයක... ඔයාට මතකද මගේ මැණික.... අදට අවුරුද්දකුත් දවස් දහයකට ඉස්සර නොවැම්බර් හතර වැනිදාවක හරියටම දවල් 12.25ට.... ඒ කටහඬ මගේ ආත්මයම සෙනෙහස් ඕවිල්ලක නලවන සංසාර යාඥාවක සංසාර ගීතිකාව වෙයි කියලා මම හිතුවෙ නෑ... එහෙත් මම විශ්වාස කරන එකම දෙවියන් වහන්සේ මේ ස්වභාවධර්මය මට දුන්න ලස්සන තෑග්ගක් විදිහට මගේ හදවත මටත් වඩා නුඹට ආදරය කරන්න පටන් ගත්තා.... ඒ ඇරඹුම මගේ අතින් ලියැවෙන කවියක් වගේ....

ආ දුර කොතෙක්ද නොදනිමි කියන්න සංසාරේ මහ දුරක් නිසා....

අනේ නුඹ මතකයේ හැම ද්වාරයක්ම ඇරගෙන මගේ හද සෙනසුනට සුවඳ කුසුමක් ලෙසින් පැමිණෙද්දී මට මතක් වෙන්නෙ නොරිකො සං........මළගිය ඇත්තො, මළවුන්ගෙ අවුරුදු දා කියවද්දී මට හිතුණා ඇයි දෙවෙන්දරෝ සං ඔයා නොරිකොට නොකියම යන්න ගියේ කියලා... සමුනොදී සමුගන්න තැන් වගේම හමුනොවී පෙම් කරන තැනුත් ජීවිතයේ තියෙනවා... අපි දෙන්නා වගේ...... නොරිකොට දිග ආදර කතාවක් අවසානයේ යන්න වුණේ දෙවෙන්දරෝ ඇරලවන්න එයාගෙ අන්තිම ගමනේ තනි නොතනියට.... ඔයා කවදා හරි මම මේ ලෝකයෙන් යනකම් මේ ලෝකයෙන් යන්න එපා.... මම හැමදාම ඔයාට එහෙම කීවේ මුළු ලෝකයම අහිමි වුණත් දරාගන්න මගේ හදවතට නුඹ නැති එක මොහොතක් දරාගන්න බැරි හින්දා.... ආදරය එහෙමයි මගේ මැණික සංසාරෙම හමුවුණත් ඒ හමුවෙන තෙක් හෝ වෙන්වීම් දරාගන්න බෑ... එදා නොරිකො වෙනුවෙන් මගේ සුසුම් අවසානයේ එකතු වුණේ කවියකට

තුත්තිරි මලක් තරම්වත් නොපිපිච්ච
සීත මිටියාවත් අතර
ඇවිදගෙන යද්දී
දුකම විතරක් අයිති කරගෙන
මේ තරම් නම් කඳුළු කුමටද
මම ඇහුවා
කවුරුත්ම නැතිකමට මගෙන්ම....
වැහිළිහිණියෝ මේ මහ වැහි මට කුමට

සඳ රාහු ගිලගත්ත මේ පාළු රෑ
නුඹේ මළගම අසල හිඳ ඉකිලමින්
නෙතු දොවා පව් සමා කරලන
උන්මාද පෙම්වතිය මම
දෙවෙන්දරෝ සං
නැද්ද අද නුඹ මගේ තනියට 

කඩා වැටුණු රන් සමනල තටුවක
හැඩ රුව විඳගන්න බැරි කමට
ජීවිතය පසෙකලා මරණයම ඉල්ලාන
සෙත් කවියෙ ඵල වැරෑ වස් කවිය මම
උදෑසනක් නැති අලුත්ම හෙටකදී
කතා බහක් නැති සල්ලාපයකට
සොහොනද්දර හිඳ
තවමත් නුඹටම
සිහිනයෙන් අඬගසන.....

ඉතින් මගේ මැණික..... ජීවිතයේ හැම ඇසිල්ලක්ම.... ජීවිතයේ හැම පෙරවදනක්ම නුඹම වෙද්දී මගේ ජීවිතයේ පසුවදන ලියන්නත් මා යනෙන තුරු නුඹට ඉන්න යැයි කියන්න මට හිතුණා...

ගතින් ඉන්නට නැතත් ළංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොර වූ ලෝකයක්
සිතා ගන්නට බෑ.......

ජීවිතයේ ගිම් නිවන්නට අවැසි මොහොතක නුඹේ යස උරහිස මත මම සිහිනයෙන් සේ හිස තබමි. නුඹේ සංසාර වාරුවේ හුරු සුවඳ ඉඳින් මට දැනේ. උරහිස යහනේ වාරු වී දෙඇස් ඔසවා නුඹේ දිගු දෑස් දෙස බලාගෙන ලෝකයම කියවමි. නුඹ කියන නොකියන සියල්ල ඒ දෑස් තුළ මම කියවන වදන් වියමනකි. වරෙක මම නුඹේ උණුසුම් පිරිමි පපුවේ හිස හොවා වැතිරෙමි. නුඹේ හදවත ගැහෙන රිද්මය පවා ඇසෙන ගැඹුරක් සොයා එවන් මොහොතක මම සුයාමයක චමත්කාරයන් නුඹෙන් විඳගමි......

එහෙත් ඒ සිහිනයෙන් ඇස් හරින මොහොතක නුඹ මා අස නැත...
මගේ සඳ නුඹ.... නුඹ මගේ සිත් අහස මත සළකුණක්වත් නොතබාම ඒ අහස හැර ගොසිනි....
එහෙත් නුඹේ දෙනෙතින් ලෝකයක් දකින කියවන මට
නුඹේ වදනින් ලෝකයක් අසන කියවන මට
නුඹේ සෙවැණැල්ල ළඟ ළපල්ලක් සේ සැනහෙන මට

ඔබෙන් තොර වූ ලෝකයක් සිතා ගන්නට බෑ.....
ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ

ඔබේ සෙවණැල්ලයි.....

නුඹ මවෙත තිළිණ කරලූයේ ජීවිතයට ආදරයක් නොව ජීවිතයට ජීවිතයක් යැයි මට සිතේ. නුඹ මවෙත රුගෙන ආවේ ජීවිතය වෙනුවෙන් ප්‍රේමයක් නොව ජීවිතය වෙනුවෙන් ප්‍රාණයක් යැයි මට හැඟේ..... නුඹ මවෙත දන් දුන්නේ එක් හුස්මක් නොව සදාතන සංසාර හුස්මක් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් යැයි මට හැඟේ.... සංසාර පාරමිතාවක සොඳුරුතම පැතුම ඉඳින් නුඹම මිස වෙන කවුද?

ඔබේ ඇසුරින් යළි උපන්නෙමි
ඔබේ දැකුමින් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ
ඔබේ හසරුල්ලයි.....

මගේ මැණික
සංසාරය පුරාවට සංසාරයක් තරමටම
මම මටත් වැඩියෙන්
මම නුඹට ආදරෙයි....

නවාතැන ජීවන මගේ
ඔබේ හසරැල්ලයි

(ගී පද නිමැවුම : කුලරත්න ආරියවංශ
ගී තනු නිමැවුම : රෝහණ වීරසිංහ
ගැයුම : චන්ද්‍රලේඛා පෙරේරා)

I සංජු