2022 නොවැම්බර් 06 වන ඉරිදා

දඩාං ගාලා කනේ පාරක් - දුලීකා මාරපන

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 148

දඩාං ගාලා කනේ පාරක් 

• යමං ගෙදර මම අද උඹට ගහනවා

දුලීකා අද වෙද්දි සම්මානනීය නිළියක්. හැබැයි ජීවිතේ මුල්ම වතාවට රංගනය වෙනුවෙන් ලැබුණු සම්මානය අතට ගන්නත් කලින්ම දුලීකාට හරි අපූරු අමතක නොවන සප්‍රයිස් එකක් නම් ලැබිලා තියෙනවා.

"මගේ අම්මා මම රඟපානවට කැමති වුණේ නැහැ. එයාට මම ගායිකාවක් වෙන්න, චිත්‍ර ශිල්පිනියක් වෙන්නයි ඕන වුණේ. මම විශ්වවිද්‍යාලයට එද්දිම මාව රඟපාන්න යන්නෙ නැහැ කියලා පොරොන්දු කරවලයි එව්වෙ. නමුත් බලාපොරොත්තු නොවුණු විදිහට මම විශ්වවිද්‍යාලයේදි නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික විෂයක් විදිහට තෝරාගත්තා. කුසුම්සිරි ලියනආරච්චි කියන මගේ යාළුවා කරපු නාට්‍යයකට එයා මාවත් සම්බන්ධ කර ගත්තා. හැබැයි 'හොඳම නිළිය' සම්මානය මට ලැබේවි කියලා මම හිතුවෙවත් නැහැ. නමුත් රාජ්‍ය සම්මාන උළෙලෙදි හොඳම නිළිය සම්මානය ලැබුණා. සම්මාන උළෙලට යන්න විදිහක් නැතිවෙද්දි "විශ්වවිද්‍යාලයේ ඔක්කොම යනවා. අම්මත් මාත් එක්ක යමු" කියලා මම අම්මවත් සම්මාන උළෙලට එක්කගෙන ගියා."


ඔන්න ඉතින් සම්මාන උළෙල ආරම්භ වුණා. සම්මානත් බෙදමින් තිබුණා. "මෙවර හොඳම නිළිය සම්මානය හිමිවන්නේ දුලීකා මාරපනට" කියලා නිවේදකයා කියද්දි දුලීකාට උතුර දකුණ මාරු වුණා. ඒ වනතුරු දුලීකා සම්මානයක් නම් බලාපොරොත්තුවෙන් හිටියෙ නැහැ. ඒ වෙලාවෙ එකපාරටම අම්මා කනට එල්ල කරපු කම්මුල් පහර දුලීකාට අද වගේ මතකයිලු.

කරුමය, පින කියන දෙකම නිසා මට ඒ සම්මානය ලැබුණා. මගේ නම කියද්දි අපේ අම්මා 'දඩාං' ගාලා කම්මුලට පාරක් ගැහුවා. කන, කම්මුල රතු වෙද්දි මම හිනා වෙවී වේදිකාවට නැගලා සම්මානය ගත්තා. "යමං ගෙදර.. මම අද උඹට ගහනවා" කියලා කියපු අම්මා මාස තුනක් විතර යනතුරු දුලීකාට විශ්වවිද්‍යාලයට එන්න දුන්නෙ නැහැලු.

• මම රඟපාන නාට්‍යයක් කවදාවත් මම බලන්නෙ නෑ...

දුලීකා පුංචි තිරයට ආවේ 'සඳ අමාවකයි' ටෙලිනාට්‍යයේ අන්ධ සඳමාලි ගුරුවරියගේ චරිතයෙන්. ඒ නාට්‍ය වගේම ඒ චරිතයත් ගොඩක් ජනප්‍රිය වුණා. ජීවිතේ මුල්ම වතාවට තමන්ව පුංචි තිරයේ චරිතයකින් දකින්න ලැබීමත් හරිම අපූරු අත්දැකීමක්. හැබැයි දුලීකා කියන්නෙ නම් තමන් අදටත් එයින් වෙනස් අත්දැකීමක් ලබනවා කියලයි.

"මම කරපු නිර්මාණයක් නැවත වතාවක් බලන්න අමාරු ගතියක් මට තියෙනවා. අදටත් මොනිටරෙන්වත් මම ආපහු වතාවත් බලන්නෙ නැහැ. අධ්‍යක්ෂවරයා බලන්න කිව්වත් මම බලන්න ටිකක් මැලි වෙනවා. ඒ බලද්දි මට දහඩිය දානවා. පොඩි ලජ්ජාවක් දැනෙනවා. සඳමාලි චරිතයත් මම ඇහෙන් කොණෙන් වගේ මොනිටරයෙන් බැලුවා මට මතකයි. ඒ නිසාම මට රඟපාන්න ආසාවක් ඇතිවුණා. මම ගැන මට විශ්වාසයක් ඇතිවුණා. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. කවුරු මොනවා කිව්වත් අදටත් මම රඟපාන නාට්‍යයක් මට බලන්න බැහැ. ගෙදර අය බලද්දි ඒ වෙලාවට මම නැඟිටලා යනවා."

• වැඩි කතා නැහැ.. වැඩ විතරයි

අද දුලීකා රංගන ශිල්පිනියක් වුණත් ඊට පෙර සිටම වෙළෙඳ දැන්වීම් කලාවටත් අපූරු මුහුණක්. ඇය දායක වුණු පර්ල්වයිට් වෙළෙඳ දැන්වීම ඒ කාලේ හරි ජනප්‍රියයි. අම්මාගෙන් ගුටි කාලා සම්මානය අතට ගත්ත දුලීකාට වෙළෙඳ දැන්වීම් කලාවට දොරටුත් විවර වුණා.

"සම්මානය ගනිද්දි ගත්ත පින්තූරයක් පත්තරයක පළ වුණා. ඒක දැකපු ටී.වී.ටී ආයතනය මට වෙළෙඳ දැන්වීම් කලාවට පිවිසෙන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වෙළෙඳ දැන්වීම අධ්‍යක්ෂණය කළේ ජයන්ත චන්ද්‍රසිරි මහතායි. සුභානි සෙනරත් යාපා ඒක සම්බන්ධීකරණය කළා. ඒ වෙද්දි මම ජයන්ත චන්ද්‍රසිරි මහතාව ලොකුවට දැනගෙන හිටියේ නැහැ. ඒකට හේතුව මම ගෙදර ඉන්න කාලෙදි රූපවාහිනිය බලපු කෙනෙක් නෙමෙයි. ඒ කාලේ අපේ ගෙදර විදුලිය තිබුණෙත් නැහැ. මම චිත්‍රපට බලන්න ආසයි. හැබැයි මම රූපවාහිනී ප්‍රේක්ෂිකාවක් වුණේ නැහැ. ඒ වෙළෙඳ දැන්වීමට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. යන යන තැන මාව බොහෝ අය හඳුනා ගත්තා."

"වැඩි කතා නැහැ.. වැඩ විතරයි" කියලා ගස්සලා ගිය පළමු වෙළෙඳ දැන්වීමෙන්ම දුලීකා ආදරණීය චරිතයක් වුණා.  

තාම එක පාරක්වත් ආදරෙයි කියලා නෑ..

• මමයි ඇහුවෙ අයියේ අපි කසාද බඳිමුද කියලා

දුලීකාගේ ආදරණීය සැමියා කවුරුත් හඳුනන රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක් වෙන සුජීව ප්‍රියාල්. හැබැයි දුලීකා නම් කියන්නෙ තාමත් දෙන්නට දෙන්නා ආදරය ප්‍රකාශ කරලා නැහැ කියලයි. ඒ කියන්නෙ තාමත් ඒ සප්‍රයිස් එක නම් දෙන්නටම ලැබිලා නැහැ.

"සුජීව අයියට මාව 'සක්මන් ඡායා' ටෙලිනාට්‍යයෙන් තමයි මුලින්ම මුණගැහුණෙ. අපි කතාබහ කළා. ගොඩක් හිතවත් වුණා. ඔය අතරෙදි මුලින්ම මමයි "අපි කසාද බඳිමුද?" කියලා අයියගෙන් ඇහුවෙ. එයා "කැමතියි" කියලා කියපු දවසෙ අපි කසාද බැන්දා."

• 'සරාගී' වෙනම වැඩක්...

ඔන්න දැන් දුලීකා ගායිකාවක්. ඇගේ අලුත්ම ගීතය දැන් ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන්. ජීවිතේ අලුත් පිටුවක් පෙරලූ දුලීකාගේ ඒ අත්දැකීමත් හරි සොඳුරුයි.

"මම ගීත ගායනයට හරි ආසයි. මම රංගන ශිල්පිනියක් වෙන්න කලින් විශ්වවිද්‍යාලයෙදි ගායිකාවක්, චිත්‍ර ශිල්පිනියක් වුණා. ටෙලිනාට්‍යවල, සිනමාපටවල මම තේමා ගීත ගායනා කළා. ඒ අනුව මේ වෙද්දි මම ගීත දාහතක් පමණ ගායනා කරලා තියෙනවා. මම ගායනා කළ ඇතැම් ගීත සම්මාන උළෙලවලට නිර්දේශ වුණා. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. නමුත් මීට කලකට පෙර මට මගේ කටහඬ නැතිවුණා. ඒ නිසා මට කවදාවත් සින්දු කියන්න බැරිවෙයි කියලයි හිතුවෙ. නැවත කටහඬ ලැබුණාම මම ගොඩක් සතුටු වුණා. හැබැයි දැන් කටහඬේ බොහොම බර හඬක් තියෙන්නෙ. ඒ නිසා මේ කටහඬෙන් මම ප්‍රයෝජනයක් ගන්න හිතුවා. ඒ වෙනුවෙන් මාව ගොඩක් දිරිමත් කළේ මේ ගීතය පද රචනා කළ සංජය වෙදආරච්චියි. ඔහු මෙන්ම සුජීව අයියත් ආදරයෙන් මතක් කරනවා. මේ ගීතය සංගීතවත් කළේ තුසිත් සිම්සන්. රෑප රචනාව සංදේශ් බණ්ඩාරගෙයි. අම්මා, ආත්තම්මා, නැන්දා, පුංචිඅම්මා වගේ හැම චරිතයක්ම කළ මට මාව පෙන්වන්න මේ ගීතය හොඳ අවස්ථාවක් වුණා. 'සරාගී' කියන්නෙ වෙනස්ම ගීතයක්."

I දිශානි ජයමාලි