2017 මැයි 20 වන සෙනසුරාදා

ඔයා කවුද කියලා ඉස්සරලා කියන්නකෝ

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

ඇගේ ළා නිල් පැහැති පුංචි කාරය දෙපස ජෑම් ගස් සිටවූ පටු වංගු සහිත මාර්ගය දිගේ ඇදී යන අයුරු මම බලාගෙන සිටියේ අලස හැඟීමකින්. වලාකුළු අඳුරු අළු පැහැයකින් බර වී තිබුණා. මගේ ඇස් ඉල්ලුවේ මහා වැස්සක්. සියලු දුක්ඛ සමුදායන් සෝදා හල හැකි තරමේ මහා වැස්සක්. බැල්කනියේ කණුවකට හේත්තු වී මම ටික වෙලාවක් ඒ අඳුරු පැහැ අහස දෙස බලා සිටියා. මගේ මතකයට ආවේ පල්ලිය. ඒ පරිසරයේ තිබුණේ කවදාවත් මගේ මතකයෙන් මකා දැමිය නොහැකි ආදරණීය බවක්.

කාමරයට ගිය මම සැහැල්ලු ඇඳුමකින් සැරසී මගේ අත් බෑගය අතට අරගෙන එළියට බැස්සා. මට යන්න ඕනෑ වුණේ පල්ලියට. මගේ ජීවිතයේ හුඟක් තීරණ ගත් තැන එතන. හුඟක් හමුවීම් වෙන්වීම් සිදුවුණු තැන එතන. ආත්මීය බැඳීමකින් මම රැඳුණු තැන එතන. මිනිසුන්ගේ බැඳීම් ඇතිවෙන්නෙත් නැතිවෙන්නෙත් දෙවියන් වහන්සේගේ කැමැත්ත මතමද කියන එක අදටත් මට ප්‍රශ්නයක්. බැඳීම් ඉහිර යාමේ පළමු වේදනාව මම වින්දේ වයස අවුරුදු හතරක් තරම් වයසේදී. ඒත් ජීවිතය කියන්නෙ ආපස්සට කියවිය යුතු පොතක් නෙවෙයි. ඉදිරියට මිස. මම බලාන උන්නෙ ඈතින් පෙනෙන කඳු තීරය දිහා. ඒ කඳු තීරය මට පෙනුණේ තද නිල් පැහැයකින්. අඳුරු අහසේ ශෝකාත්මක පැහැය විනිවිද ඒ නිල්වන් කඳු තීරයේ චමත්කාරය මගේ හදවතට දැනෙමින් තිබුණා. පල්ලියට යාබද සුදුවැලි විසුල මාවත මාවත කෙළවර පිහිටි ගංගාව මගේ මතකයට ආවේ සුන්දර අතීත මතකයක් විදිහට. ඒ එක මතකයක්වත් සිතේ සීමාවෙන් පිටමං කරන්න බැරි තරමට මම ඒ අතීතය හා බැදී සිටින බව මට දැනුණේ ජීවිතයේ හුඟාක් සංවේදී සංසිද්ධීන්වලදී.
සිස්ටර් සේරාව හම්බවෙන්න පුළුවන්ද?
මා පල්ලියේ සිටියදී නොසිටි යුවතියක් මා පල්ලියට යද්දීම මට මුණගැහුණා 
සිස්ටර් සේරා මේ වෙලාවේ පල්ලියේ නෑ 
කොහෙද ගිහින් තියෙන්නෙ දුරකටද?
ඔයා කවුද කියලා ඉස්සරලා කියන්නකෝ 
ඇය වඩාත් අවධානයෙන් මදෙස බලමින් විමසුවා 
මම පුංචි කාලයේ ඉඳන්ම ජීවත් වුණේ මේ පල්ලියේ. මම ඉගෙන ගත්තේ කසාද බැන්දේ, ආයෙත් ගිහින් ආයෙත් ඇවිත් නැවතුණේ මේ පල්ලියේ 
ඔයාගේ නම... 
දුල්යානා... 
ඇය මදෙස බැලුවේ මහත් පුදුමයෙන් මෙන් දෑස් විසල් කරගෙන 
ඔයාද දුල්යානා කියන්නේ? 
ඔව්... ඇයි? 
සිස්ටර් සේරා මට ඔයා ගැන හුඟක් දේවල් කීවා 
මම ආවේ සිස්ටර් සේරාව හම්බවෙන්න 
සිස්ටර් සේරා පල්ලියේ සොහොන් බිමට ගියා දුල්යානා 
ඇයි ඒ? 
ඔයා කැමතිනම් එතෙන්ට ගිහින් සිස්ටර් සේරාව මුණගැහෙන්න 
සිස්ටර් සේරා මට කොයි විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා මම දන්නෙ නෑ... 
හ්ම්... සමහරවිට බණියි... ඒත් ඉවසලා ඉන්න... කොහොමත් ආයේ කවදාවත් ඔයාට මේ පල්ලියේ නවතින්නන්ම් ලැබෙන එකක් නෑ... 
ඇයි ඔයා එහෙම කියන්නේ? 
සිස්ටර් සේරා ඔයා ගැන මට කියලා අන්තිමට කීවේ ඒ ටික 
කමක් නෑ... මට සිස්ටර් සේරා හම්බවෙන්න ඕනෑ... 
අපි යමු සොහොන් බිමට 
දුල්යානා... 
ඇයි? 
ඔයා දන්නවද සිස්ටර් සේරා සොහොන් බිමට ගියේ ඇයි කියලා 
මම කොහොමද දන්නෙ? 
ඔයා හුඟක් ආදරය කරපු කෙනෙක් වෙනුවෙන් මල් තියන්න 
මම ආදරය කරපු කෙනෙක්.. මම ඇහුවේ පුදුමයෙන් වගේ 
ඔව්... දුල්යානා ඔයා හුඟක් ආදරය කරපු කෙනෙක්
කවුද ඒ කෙනා... ඉක්මණින් මැරෙන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේ හිටියේ නෑ...
අපිට එන්න වගේම යන්නත් නිශ්චිත වෙලාවක් නෑ... ඒ හැමදේම දෙවියන් වහන්සේගේ කැමැත්ත
ඒත්... මගේ ජීවිතේ මට හිටියේ මම විතරයි. මේ පල්ලියෙන් යද්දී මම ආදරය කරපු හැමෝම මට නැති වුණා. හැමෝම මාව අත්හැරියා... සිස්ටර් සේරා අංජලි මේ හැමෝම මාව අත්හැරියා... ඒ හැමෝටම මම ආදරය කළේ තනියෙන්...
තනියෙන් වුණත් ඔයා ආදරේ කරපු කෙනෙක් මේ පල්ලියේ හිටියා...
කියන්න කරුණාකරලා ඔයා කා ගැනද මේ කියන්නේ?