2022 අගෝස්තු 07 වන ඉරිදා

මගේ වගේ කොණ්ඩයක් දැක්කත් අන්න අප්පච්චිලු... - ශ්‍රී ආර්ය දසිස්

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 145

කැළුම් ශ්‍රී .... අපිට ඔයාගේ චූටි පුතාගේ නම කියන්න.

අපෙ චූටි පුතාගේ නම ශ්‍රී ආර්ය දසිස්. දැන් එයාට වයස අවුරුද්දයි මාස අටයි. ඇත්තම කිව්වොත් චූටි පුතා හරිම දඟ පැටියෙක්. මම පොඩි කාලේදීටත් එච්චර දඟට ඉඳලා නැහැ. චූටි පුතා හරිම ක්‍රියාශීලියි. වැඩි වෙලාවක් එක තැන ඉන්නේ නැහැ. එයා හරි හුරතල් දරුවෙක්.

චූටි පුතා වැඩිපුරම ගෙදර ඉන්නේ කැළුම්ගේ බිරිඳ එක්කයි. කැළුම් ගෙදර ඉන්න වෙලාවට පුතාගේ තියෙන ප්‍රතිචාර කොහොමද?

චූටි පුතා වැඩිපුරම ගෙදර ඉන්නේ දුලී එක්කයි. මගේ ගෙදර ඉන්න වෙලාවට නම් දුලීට වැඩි ගොඩයි. පුතා ක්‍රිකට් සෙල්ලම් කරන්න හරි ආසයි. එයාට ක්‍රිකට් සෙල්ලම් කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි බැට් එක උස්සගෙන එහාට මෙහාට දුවනවා. එහෙම දුවද්දී ළඟ පාතක තියෙන බඩු ඔක්කොටම බැට් එකෙන් ගහනවා. දුලී පිළිවෙළට තියලා තියෙන බඩු හැඩි කරද්දී අපි දෙන්නම එයාගෙන් බැණුම් අහන වෙලාවලුත් තිබෙනවා. ඒ නිසා ගෙදර මම ඉන්න වෙලාවට සෙල්ලම් කරන ගමන් පුතා හැඩිකරන බඩු ආයෙත් හරියට පිළිවෙළට තියන එක තමයි මම වැඩිපුරම කරන්නේ.

කැළුම්ව රූපවාහිනියෙන් දකිද්දී ආර්ය ඔයාට හඳුනාගන්නවාද?

ඔව්... එයා මාව හඳුනනවා. මම දවස් තුන හතර රූගත කිරීම්වලට ගියාම දුලී මට වීඩියෝ කරලා එක එක දේවල් එවනවා. මාව රූපවාහිනියෙන් දකිද්දී පුතා දුවල ගිහින් රූපවාහිනිය ඉඹිනවා. ''අන්න අප්පච්චි'' කියලා මට කතා කරනවා. සමහර වෙලාවට මගේ වගේ කොණ්ඩයක් වෙන කෙනෙකුගේ දකිද්දී පවා ''අප්පච්චි'' කියලා කියනවාලු. ටික වෙලාවකින් ඒ මම නෙමෙයි කියලා දැනගත්තට පස්සේ එතනින් එහාට යනවාලු.

කැළුම් වගේම දුලී නර්තනයට දක්ෂ කෙනෙක්. චූටි පුතාත් නර්තනයට ආස වගෙයි පේන්නේ...?

ඔව්. දුලී කාලයක් නර්තන ඉගැන්වීම් කළා. පුතා නිසා ඒ පන්ති එයා නතර කළා. මාත් නර්තනයට ආසයි. පුතාත් දැන් නටන්න හරි ආසයි. එයා පොඩිම කාලේ ඉඳන්ම සංගීතයත් ඇහුණ ගමන් නටනවා. විවාහ උත්සවවලට පවා ගියාම ඒ සංගීතයට පුතා නටනවා. පොඩි කාලේ ඉඳන්ම අපි පුතාට කෑම කැව්වේ සිංදු අහන්න දීලයි. සිංදු අහ අහා අදටත් එයා කෑම කනවා. පුතා කේක්, චීස් කන්න හරි ආසයි. අපි පුතාට බත් බ්ලෙන්ඩර් කරලයි දෙන්නේ. එයා බත් හපලා කනවාට වඩා බත් කන්න දුන්නහම මුළු ගෙදරම ඉවරයි. බත් ටිකෙන් වැඩි කොටසක් බිම. ඒ නිසා අපි බත් බ්ලෙන්ඩර් කරලයි පුතාට කවන්නේ.

සෙල්ලම් බඩුවලින් පුතා වැඩිපුරම ආස මොනවටද?

මොන සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නත් ඒක අතේ තියෙන්නේ බොහෝම පොඩි කාලයයි. හැබැයි බෝල, බැට්වලට නම් එයා පුදුම ආසයි. ඒ නිසා එයාට ගෙදර වැඩිපුරම තිබෙන්නෙත් බෝලයි, බැට් තමයි. එයා මම නැතිව දුලී එක්ක ඉන්න වෙලාවටත් දුලීත් එක්කත් සෙල්ලම් කරනවා. වැඩිපුර ටී.වී. බලන්නේ නැහැ. හැබැයි එයා ''ඇල්වින්'' කාටුන් එකට නම් හරිම ආසයි.

පුතා නිසා හිත කලබල වුණ දවසක් මතක් කළොත්?

අම්මෝ.... එහෙම අමතක වෙන්නේ නැති දවසක් නම් තියෙනවා. අපේ ඔළුව පීරණ බ්‍රෂ් එකක් තියෙනවා. ඒකේ කෙඳි වෙනුවට ටිකක් ගණකම ඇති ඉඳිකට්ටක් වගේ කෙඳි වර්ගයක් තමයි තියෙන්නේ. ඒවාවල අගිස්සේ පොඩි බෝලයක් තිබෙනවා. දවසක් පුතාව හෝදලා ඇඳුමක් අන්දන ගමන් ඇඳේ පුතා ඒ බ්‍රෂ් එකත් අතේ තියාගෙන හිටියා. එතකොට එයාගේ වයස මාස නවයක් විතර ඇති. ඇඳුම් අන්දලා ඉවරවෙලා දුලී බ්‍රෂ් එක අතට අරන් බලද්දී ඒකේ එක දිග කෙන්දක් බ්‍රෂ් එකේ නැහැ. අපි දෙන්නා හොඳටම බය වුණා. අපි කට ඇරලා බලද්දී පුතා ඒ කෑල්ල කටේ තියාගෙන හිටියා. හොඳ වෙලාවට ඒක ගිලිලා නැහැ. ඒක අඟලක වගේ දිග කූරක්. එදා නම් අපි දෙන්නම හොඳටම බයවුණා.

අද දුලී, චූටි පුතා එක්ක ගත කරන මේ ජීවිතේ ගැන කැළුම්ට මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. රූගත කිරීම්වලට දවස දෙක තුන එළියට ගිහින් ගෙදර එද්දී තියෙන ලොකුම සහනය දුලී සහ චූටි පුතයි. මගේ ජීවිතේ අංක එක තමයි මේ බැඳීම්. අපි හරිම සතුටින් ජීවිත් වෙනවා. මේ ගෙවන ජීවිතයට මම හරි ආදරෙයි.

 දිශානි