2022 ජුලි 31 වන ඉරිදා

ජෝතිපාලගේ කැසට් ගොඩකට තබිලා ගැහුවේ මම - රෝහණ බෝගොඩ

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 95

ගීතය නම් සොඳුරු කලා මාධ්‍ය ඔස්සේ ශ්‍රාවක සිත් ආකර්ෂණය කරගත් ගායක ශිල්පියකු, වාදන ශිල්පියකු, සංගීත අධ්‍යක්ෂවරයකුගේ කතාව අහන්නට අද අපි හදසර My Story වෙන් කරමු. කලා ක්ෂේත්‍රයේ ඉසව් ගණනාවක් තුළ අද වනවිට නම රඳවා සිටින ඔහු තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙසයි. එසේ කියූ විට ඔබට ඔහු කවුදැයි සිහියට නැගෙනු ඇත. අද අප හමුවන ඔහු ගායන ශිල්පී, සංගීතවේදී විශාරද රෝහණ බෝගොඩයි.

මගේ උපන් ගම මාතර තෙලිජ්ජවිල. සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලේ මම අටවැනියා. මගේ දෙමව්පියන් නම් කලාවට සම්බන්ධ නැහැ. හැබැයි අයියලා නම් දෙන්නෙක්ම සංගීත කලාවට ළැදියි. එක්කෙනෙක් චන්ද්‍රපාල බෝගොඩ. මහද කළු වලා මිලිනව ගීතය ඔහුගේ. චන්ද්‍රපාල අයියා මීට වසර දෙකකට පෙර අපෙන් සදහටම සමුගෙන ගියා. විනී ධර්මපාල බෝගොඩ කියන්නෙ සංගීත කලාවට සම්බන්ධ අනෙක් සහෝදරයා. අපේ පවුලේ ගොඩක් අය සංගීතයට ළැදියි. සංගීතවේදීන් වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සම්බන්ධ සංගීත උපදේශකවරුන් එහෙමත් අපේ පවුලේ හිටියා. ඉතින් පුංචි කාලෙ ඉඳන්ම සංගීතයට, මගේ ළැදියාවක් තිබුණා. ඉන්ද්‍රානි බෝගොඩ, චන්ද්‍රදාස බෝගොඩ කියන්නෙ මගේ මහප්පාගේ දරුවන්.
මාතර තෙලිජ්ජවිල උපන් බෝගොඩගේ සනී රෝහණ කුමාර් තම අධ්‍යාපනය හැදෑරුවේ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඔහුගේ පියා වෘත්තියෙන් දේශීය ආදායම් පාලක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරුවා වූ අතර මව රුකියාවක් නොකළාය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ටික කලකදී ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය. 

රෝහණ බෝගොඩ යනු කුඩා කලදී ඉතා කෙළිදෙලෙන් ජීවත් වූවෙකි. යහළුවන් සමඟ කරන කවටකම් විටෙක හාස්‍යයට හා විනෝදයට හේතු වුවද ඇස් රතු වූ අවස්ථා නැතුවාම නොවේ. අපේ බාප්පා පාසලේ සංගීත ගුරුවරයා. මම කරන සමහර දඟ වැඩවලට මට බාප්පාගෙන් හොඳටම ගුටි ලැබුණා. එක දවසක් ගැහැනු ළමයි කට්ටියකට වතුර ගහලා බාප්පා දැක්කා. එදා නම් හම පුපුරන්න ගුටි වැදුණා. තම කුඩා වියේ මතක දිගහරිමින් ඔහු පවසයි.

රෝහණ බෝගොඩ ගුවන්විදුලියේ පිබිදෙන ගායක පරපුර වැඩසටහනට එක්වන්නේ පාසල් යන වයසේදීය. 1973/74 වසරවලදී තමයි මම පිබිදෙන ගායක පරපුර තරගයට එන්නේ. මම ගායනා කරන්නේ ස්වතන්ත්‍ර ගීත. එම තරගයෙන් මා පළමුවැනියා ලෙස ජයග්‍රහණය කරනවා. පසුව ගුවන්විදුලියේ A ශ්‍රේණියේ ගායන ශිල්පියකු ලෙස තේරීපත් වෙනවා. මට සරල ගී වැඩසටහන් එහෙම ලැබුණා. ඒත් ඒ කාලයේදී ගායකයකු ලෙස ඉදිරියට යන්නට තරම් මට උනන්දුවක් තිබුණෙ නැහැ. ඉතින් යෞවනයකු ලෙස ගතවන ඒ කාලයේදී රුකියාවක අවශ්‍යතාවය මට දැනුණා. කවදාකවත් කරන්න හීන නොදැක්ක රැකියාවකට මම යොමු වුණා. ඒ 1975 දී පමණ. පොලිස් දෙපාර්තමේන්තුවට එක්වීමෙන් පසුව පොලිස් තූර්ය වාදක කණ්ඩායමට මම එක් වුණා. විවිධ සංගීත භාණ්ඩ වාදනය කළා. එහෙත් 1978 දී මම එයිනුත් ඉවත් වෙනවා. විශ්‍රාම වැටුපක් පවා හිමි රැකියාවක් අතහැරලා තමයි මම ගුවන්විදුලියේ වාදක මණ්ඩලයට එක් වුණේ. ඒත් අනියම් වාද්‍ය ශිල්පියකු විදිහට.

1978 මාර්තු මාසයේ සිට 2009 වසර වෙනකල්ම මම ගුවන්විදුලි වාදක මණ්ඩලයේ හිටියා. එහි ප්‍රධානියා ලෙසයි මම විශ්‍රාම ලැබුවේ. තබ්ලාව තමා මගේ මූලික වාද්‍ය භාණ්ඩය. ගීත නාටක ඇතුළු විවිධ වැඩසටහන් සඳහා මම ගායනයෙන් එක් වුණා. ඒ වගේම නාලනී රණසිංහ, පුෂ්පාණි ආරියරත්න, මාලනී දමයන්ති ආදී ශිල්පිනියන් සමඟ යුග ගී ගයන්න මම එක්වුණා.

රෝහණ බෝගොඩ ගැයූ මුල්ම ගීතය දිලි දිලි නිවෙනා තරු කැට සුවඳක් නම් ගීතයයි. එය රචනා කළේ ප්‍රවීණ මාධ්‍යවේදී ආරියසිරි විතානගේ මහතාගේ නැගණිය වූ රංජනී විතානගේය. සංගීතය ආචාර්ය වික්ටර් රත්නායකගේය.

නෙතින් නෙත බලාලා
සිතේ දුක නිවා
අදින් පසු අපේ කතා
රකින්නට සෙනේහේ
හඬන්නට එපා
නිමාවක් නොවේවි
ඇරඹුමක්

දයා ද අල්විස් ලියා ස්ටැන්ලි පීරිස් සංගීතවත් කළ එම ගීතය ඔහුගේ ගායන දිවියේ සන්ධිස්ථානයක් විය. ඒ කාලේ ස්වාධීන රෑපවාහිනියේ මධුරසාංග, රෑපවාහිනියේ නන්දන වින්දන ආදී වැඩසටහන්වලට මම මේ ගීත ගායනා කළා. ඔබටයි මේ ආරාධනා, කඳුළක් වැටේ නම් පිසලන්න ආයේ, දිවි කතරට ගංඟාවයි වැනි ගීත ඒ කාලයේ ගොඩක් ජනප්‍රිය වුණා. මම කැසට් පට 5ක් නිකුත් කළා ගංගා, මලක සුවඳ, නව රිද්ම 01 හා 02 වශයෙන්.

වාද්‍ය ශිල්පියකු ලෙසත් අති විශාල ගීත ප්‍රමාණයක් සඳහා මම තබ්ලා වාදනයෙන් එක් වුණා. එම්.කේ. රොක්සාමි, ආර්. මුත්තුසාමි, සරත් ද අල්විස් වැනි සංගීතඥයන්ගේ ගීත චිත්‍රපට සඳහාත් මම වාදනයෙන් එක් වුණා. එච්.ආර්. ජෝතිපාල කැසට් පට 100ක් කළා නම් ඉන් 95කම මම තබ්ලා වාදනය කරලා තියෙනවා. දිලි දිලි දිලිසේවි මා දෑසේ ආලෝකේ, පාළු සුසානේ ප්‍රේම පුරාණේ ආදී ගීත ගණනාවක් තිබෙනවා. ඉස්සර ගීත පටිගත කිරීම්වලදී සංගීතය හා ගායනය පටිගත කිරීම සිදු වුණේ එක වරකදීමයි. එක දවසක් ජාඇල විජය ස්ටූඩියෝවේ අප ගීත පටිගත කිරීමකට ගියා. උදේ ආරම්භ කරලා රාත්‍රියක් ගෙවිලා එළිවෙන තුරු එකම ගීතයක් පමණයි පටිගත කළේ. වාදක මණ්ඩලය 25ක් පමණ වාදනය කරන අතර ගායක ගායිකාවන් ගීය ගයනවා. එකම ශිල්පියකු අතින් හෝ වරදක් වුණොත් නැවත මුල සිට වාදනය කරනවා. ගීත පටිගත කිරීමක් වෙනුවෙන් මුලදී රු. 30ක් 35ක් පමණ ලැබුණා. පසුව තමා රු. 55ක් වගේ වුණේ. බෙග් ගීතිකා, මිහිරුති වසන්ත කාලෙ, ජෝති රාත්‍රිය ආදී විවිධ ඒක පුද්ගල ප්‍රසංගවල මා නිත්‍ය තබ්ලා වාද්‍ය ශිල්පියා ලෙස කටයුතු කළා. ඒ වගේම මහේන්ද්‍ර කපූර්, මුකේෂ් ආදී ශිල්පීන් ශ්‍රී ලංකාවට පැමිණියාමත් මම ඔවුන්ගේ ප්‍රසංග සඳහා වාදනයෙන් එක්වෙලා තියෙනවා. ඒ කාලේ අපි පුදුම විදියට වැඩ කළා. සමහර වෙලාවට ප්‍රසංග පටිගත කිරීම් ආදිය නිමාවෙලා නිවසට එන්නේ උදෑසන 5.30ට පමණ. ඒ සැණින්ම නැවත රුකියාවට යන්න ඕන. හරිම දුෂ්කර කාලයක්. දැන් මතක් වෙද්දි හිතෙනවා ඒ තරම් වැඩ කළේ කොහොමද කියලා. එතරම් කාර්යබහුල කාලයක් ඒ කාලේ.

රෝහණ බෝගොඩ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ටෙලිනාට්‍ය කිහිපයක් සඳහා ද තම දායකත්වය ලබා දී ඇත. දෙවැනි අම්මා, පියාඹන සල්ලි ආදී නාට්‍යයන් ඒ අතර විය. මම ගායනය, වාදනය වගේම හඬකැවීම් සඳහාත් එක්වෙලා තියෙනවා. ඒ මහගෙදර, ප්‍රවීණා, හිම තුහින වගේ අතිශය ජනප්‍රිය වූ නාට්‍යවල. ප්‍රවීණ හි බාලාජි චරිතයට හඬ සැපයුවේ මම. මාමා වලස් මාමා කියන ගායනය නිසා කුඩා දරුවන් අතර මම ගොඩක් ජනප්‍රිය වුණා. ඉස්සර මම පාරෙන් එද්දි අපේ ගෙවල් ළඟ පොඩි අය ඔන්න වලස් මාමා එනවා කියලා කියනවා. ඔහු පවසන්නේ සිනාවෙමිනි. 

අතීතයේ රෑපවාහිනී ප්‍රේක්ෂක ජනාදරයට පත් හර්බට් රංජිත් පීරිස්ගේ හිරුට මුවාවෙන් ටෙලි වෘත්තාන්තයේ (ඉඳිආප්ප ගෙදර කතාව) තේමා ගීතය ගැයුවේ දමයන්ති ජයසූරිය සමඟ රෝහණ බෝගොඩයි. හර්බට් රංජිත් පීරිස් ලියා සරත් වික්‍රම සංගීතවත් කළ ඔබට හොරා ඔබ වෙත සෙනෙහස පා යනු එම ගීතයයි. 

කලා ක්ෂේත්‍රය වූ කලී සතුට මෙන්ම දුක, වේදනාව ද මිශ්‍ර වූ ක්ෂේත්‍රයකි. ඔහු පැවසූ සමහර දේ තුළින් ඒ බව පසක් විය. සමහර සිදුවීම් තියෙනවා බොහෝ සෙයින් හිත කලකිරීමට පත් කළ. ගුරුගෙදර චිත්‍රපටය සමඟ එවන් කතාවක් තිබෙනවා. එහි මා ගැයූ යුග ගීයක් තිබුණා. නමුත් මංගල දර්ශනයේදියි දුටුවෙ මා ගැයූ ගීය වෙනත් ශිල්පියකු ගයන බව. මගේ ගීතය වරින් වර ඇහෙන්න තිබුණා. පසුව ඒ ගායනය වෙනුවෙන් අනෙක් ගායකයාට සම්මානත් ලැබුණා. ඔහු පවසන්නේ හිතේ රුඳුණු වේදනාවකින් ද යුතුවය.

රෝහණ බෝගොඩ යනු අදටත් විවිධ ගායන තරගවල විනිශ්චය මණ්ඩලවල සාමාජිකයෙකි. ඔහු විවාහ වී සිටින්නේ අයිරාංගනී සමඟය. ඔවුන්ට කසුන් චතුරංග නමින් එක් පුතෙකි. විවාහ වූ ඔහු ලද දරුවන් දෙදෙනා නිසා රෝහණ බෝගොඩ දැන් ප්‍රීතිමත් විශ්‍රාම දිවියක සුව විඳින සීයා කෙනෙකි. ඔහු අදටත් ගී තනු නිර්මාණය කරමින් සංගීතවත් කරමින් සංගීත ක්ෂේත්‍රයේ රුඳෙයි. තව චිරාත් කාලයක් රසික සිත් පිනවන්නට ඔහුට ඉඩ ලැබේවායි හදසර My story තුළින් අපි ප්‍රාර්ථනා කරමු.

 මොනිකා සේරසිංහ

සේයාරූ I අන්තර්ජාලයෙන්