2022 ජුලි 24 වන ඉරිදා

බොරු නමකින් තමා එයා මාව හොයගෙන ආවේ......

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 134

දුක් සන්තාපයන් දරාගෙන දිරියෙන් නැගී සිටිමින් සිනහවෙන් ලොව සරසවන කුසුමකි ළඳ. එවන් සොඳුරු ළඳක කියූ සැණින් සිංහල සිනමාවේ තාරකාවක බවට සිහිවනු නොඅනුමානය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත තුළින් වෘත්තාන්ත සිනමාවට පෑයූ ඒ තාරකාව වේදිකාව, පුංචි තිරය ඔස්සේද තම ආලෝකයෙන් චරිත ගණනාවකට ජීවය ලබා දුන්නාය. ඉතින්, අද අප හදසර My Story තුළින් හමුවෙන ඇය, පාලමකුඹුර හේරත් මුදියන්සේලාගේ ශ්‍රියාණි වීරකෝන් කුමාරිහාමි නොඑසේ නම් අප ඉතා ආදරය කරන ශ්‍රියාණි අමරසේන නම් වේ.

පවුලේ එකම දරුවා වූ නිසාම මවගේත් පියාගේත් දැඩි ආදරය සෙනෙහස සමඟ ඉතා සුන්දර ළමා කාලයක් ඇයට හිමිවිය. ඇත්තටම කිව්වොත් මම ගොඩක් වාසනාවන්තයි. මම පවුලේ එකම දරුවා නිසා අම්මාගේ තාත්තගේ සම්පූර්ණ අවධානය, සැලකිල්ල මට ලැබුණා. මගෙ අම්මයි තාත්තයි විවාහවෙලා සෑහෙන කාලයක් දරුවෙක් ලැබෙනකල් බලාපොරොත්තුවෙන් ඉඳලා භාරහාර වෙලා අවුරුදු හතකට පස්සේ තමයි මාව ලැබිලා තියෙන්නේ. මගෙන් පසු වෙනත් දරුවෙක් ලැබුණෙත් නැහැ. අම්මයි තාත්තයි මට ගොඩක් ආදරය කළා. මගේ ළඟින්ම හැම මොහොතකම එයාලා හිටියා. ඒ ආදරය රුකවරණය සැමදා මට ආශීර්වාදයක් වුණා. මගේ උපන්ගම මීතොටමුල්ල. මගේ අම්මා එව්ලින් වීරකෝන්. මගේ තාත්තා පාලමකුඹුර හේරත් මුදියන්සේලාගේ වීරකෝන් බණ්ඩා. මම පාසල් තුනකට ගියා. මුලින්ම ගියේ මීතොට මුල්ල මධ්‍ය විද්‍යාලයට. ඉන්පසු මියුසියස් විද්‍යාලයට සහ ගෝතමී බාලිකා විද්‍යාලයට.
කුඩා කල පටන්ම ශ්‍රියාණි කලාවට ප්‍රිය කළාය. ඈ මුලින්ම පාසලේදී වේදිකාවට එක්වීය. හතර බීරි කතාව, කොහෙද යන්නෙ රුක්මණී ඈ එක්වූ ළමා ගීත නාට්‍යයන්ය. ඈ ගීත ගායනයටද සමත්කම් දැක්වූ අතර එවක ගුවන්විදුලියේ ළමා පිටියෙන් රටම ආදරය කළ සිරි අයියා (නීතිඥ U.S. පෙරේරා) ඇගේ අසල්වැසියකු වූ අතර මවගේ පාර්ශ්වයෙන් ඥාතියකුද විය.

දවසක් මම ගීත ගයනවා අහගෙන හිටිය සිරි අයියා මගෙ අම්මට කිව්වා එමලින් අක්කේ මට මේ පොඩි කෙල්ලව දෙන්නකො මගෙ වැඩසටහනට තියන්න. එතකොට මම කිසිම විදියකින් සංගීතය ඉගෙනගෙන තිබුණේ නැහැ. එතුමා තමයි මට ගීත ගායනය පුරුදු කළේ. තාලය, රිද්මය එතැනින් හසුවුණාම මට සංගීතය ගැන ලොකු ඇල්මක් ඇතිවුණා. පාසලේදීත් මම හරිම උනන්දුවෙන් කලා කටයුතුවලට එක්වුණා. මම චිත්‍ර කලාවත් ප්‍රගුණ කළා. ඉතිහාසය, භූගෝල විද්‍යාව වගේ විෂයන්ටත් මම හරිම කැමත්තෙන් හිටියේ. පොඩි කාලේ ගෙදරදිත් මම අම්මගේ සාරි එහෙම ඇඳන් සෙල්ලම් කළා ඕනෑම කුඩා ගැහැනු දරුවෙක් වගේ. ඉතින් මේ අතරේදී මගෙ අම්මා තේරුම් ගත්තා මම නර්තනයට ඉතාම කැමැතියි කියලා. අම්මා මාව ප්‍රවීණ නර්තනාචාර්ය බැසිල් මිහිරිපැන්න මහතා ළඟට මාව යොමුකළා. මා සහ මගේ තව මිතුරියක් මගේ තාත්තා තමයි එතුමාගේ නර්තන පංතියට අපිව අරගෙන ගියේ. එතුමාගෙන් මම නර්තනය හැදෑරුවේ ඉතාම ආශාවෙන්. එය හරිම සුන්දර කාලයක්.

ශ්‍රියාණි අමරසේන කලාවට පිවිසෙන කාලයේදී ගැහැනු ළමයින් එයට යොමුවීම සමාජයේ එතරම්ම පිළිගැනීමට ලක් නොවුණකි. එහෙත් කලාවට ඉතා ප්‍රිය වූ ඇගේ මව්පියන් ඇයට අවශ්‍ය රුකවරණය ලබාදෙමින් ඇයට ඒ සඳහා තම ආශීර්වාදය ලබාදුන් අතර එය යුවතියක් ලෙස ඈ ලද භාග්‍යයකි.

මගේ අම්මා ගමේ විවිධ සමිති සමාගම්වලට සම්බන්ධ වී සිටියා. ඇය ගෘහණියක් වුණත් ඇයට සමාජය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ වගේම මම ගොඩක් කැමැත්තෙන් කළ දෙයක් තමයි පොත් කියවීම. මගේ අම්මගෙ ගෙදර පොත් ගොඩාක් තිබුණා. ඉස්සර ගෙවල්වල ලොකු පොත් පෙට්ටිනෙ තිබුණේ. ඉතින් එහෙ ගොඩක් පොත් තිබුණා. සමහර පොත් මම ගොඩක් සැරයක් කියෙව්වා. ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන්ගේ පොත් ඒ අතරින් විශේෂයි. විජයබා කොල්ලය, කැළෑ හඳ, දෛවයෝගය වගේ ඒවා. ඒ පොත් සිනමාවට එක්වෙද්දී මට හරිම සතුටුයි. ඉතින් මෙහෙම කාලයක් යද්දී මම වේදිකාවට එක්වෙනවා රංගනයෙන්. අශෝක පීරිස්ගේ තම්මැන්නා නාට්‍යයෙන්. ධම්ම ජාගොඩ, වික්ටර් මිගෙල්, ජී.ජේ. පෙරේරා ආදීන් සමඟ. ඉන්පසු තමයි දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා නාට්‍යයෙන් මම ප්‍රේක්ෂක ජනයා අතරට එන්නේ. එය ඉතා ජනප්‍රියත්වයට පත්වුණා. දර්ශන වාර විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය වුණා.

ගම දුව ලෙස ඈ කළ රංගනය වේදිකාවේ ඈ වෙත සුවිශේෂ ස්ථානයක් හිමිකර දෙන විට ඇය තම සැබෑ ජීවිතයේ සුවිශේෂ ස්ථානයක් මෙරට පුවත්පත් කලාවේ දැවැන්තයකු වෙනුවෙන් වෙන් කළාය. ඔහු ප්‍රවීණ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේනයන්ය. මෙතෙක් ශ්‍රියාණි කුමාරිහාමි වූ ඇය ශ්‍රියාණි අමරසේන නම් වූවාය. ඇගේ විවාහය සිදුවූයේද ඉතා අපූරු ආකාරයකටය. පුවත්පත් මංගල දැන්වීමක් මගින් තම දියණිය පිළිබඳ ඇගේ මව තොරතුරු ඉදිරිපත් කළ අතර මෙය දුටු තරුණයකු තම මිතුරකුද සමඟ ඇගේ අත පතා ශ්‍රියාණිගේ නිවසට ආවේය. නිවසේදී ඔවුන් හා කතාබස් කොට පිටව ගිය මෙම තරුණයා ඇයට කැමති වග සටහන් කොට ලිපියක් නිවසට යොමු කළේය. පුවත්පත් දැන්වීම දැක ශ්‍රියාණිගේ නිවසට ගිය මෙම තරුණයන් පෙනී සිටින්නේ සැබෑ නම්වලින් නොවේ. එහෙත් තරුණයා ලිපිය මගින් ඊට සමාව ඉල්ලා තම සැබෑ නමද සඳහන් කොට විස්තර ලියා එව්වේය. එවක විසිතුර පුවත්පතේ කර්තෘවරයා වූ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ආතර් යූ. අමරසේන නම් එම තරුණයාය.

විවාහයෙන් වසර එකහමාරක් පමණ යනකල් මම කලා නිර්මාණවලට එකතු වුණේ නැහැ. ඉන්පසු තමයි ලෙස්ටර් මහත්මයාගේ ගොළු හදවත චම්පා චරිතයෙන් මම සිනමාවට එක්වුණේ. 1968 වසරෙන් ඇරඹි ඇගේ සිනමා රංගන ජීවිතය තුළ මුල් කාලයේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ආදී දැවැන්තයන් හමුවීම ඇයගේ රංගන ජීවිතය සාර්ථකත්වයට හේතු විය. 1971 වසරේ තිරගත වූ සීයෝ නෝට්ටුව ඇගේ මුල්ම ගීතමය ජවනිකාව ඇතුළත් වූ චිත්‍රපටයයි.

දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආදර පවනේ සුසුම් කුසුම්වැල්
මා යන මඟට හැලේ
ආචාර්ය නන්දා මාලනී ගැයූ මෙය එම ගීතයයි.

ඇගේ බාහිර ස්වරෑපය වූ කලී අවිහිංසක සරල සුන්දරත්වයෙන් පිරුණකි. එනිසාමදෝ ඇයට සිනමාව තුළ හිමිවූයේද එවන් චරිතමය. පෙම්වතිය, බිරිඳ, මව ලෙස ඈ මැවූ චරිත තවමත් ප්‍රේක්ෂකයාට අමතක නැත.

මම සිනමාවට එන්නෙ විවාහක ගැහැනියක හා මවක වුණාට පසුව. එනිසාම මා චරිත තෝරා ගනිද්දී ගොඩක් සැලකිලිමත් වුණා. ඒ වගේම මට චරිත ලබාදෙන විට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් වුණත් මගේ පෙනුම පිළිබඳව සිතන්නට ඇති. නමුත් මම කැමතියි චරිත ස්වභාවය අනුව විවිධ පරාසයන්වල චරිත කරන්න. සරුංගලයේ මගේ චරිතයට මම හරි කැමතියි. ඉතා කටකාර ගැහැනියක්. මගේ සාමාන්‍ය ස්වරෑපයට හාත්පසින්ම වෙනස්. ඒ වගේම ආශා දෑසින් චිත්‍රපයේ තමයි මම මුලින්ම මල් ගස් වටේ නටමින් යන චරිතයක් කළේ. එයත් වෙනසක්.

ඇය පවසන්නේ සිනහවෙමිනි. සිංහල සිනමාව තුළ දශක ගණනාවක් පුරා යුග ගණනක් මවන්නට ඇය රංගන ශිල්පිනියක ලෙස තම රංගන දායකත්වය ලබා දුන්නාය. ඔස්වල්ඩ් ජයසිංහ, සේනාධීර රෑපසිංහ, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, තිස්ස විජේසුරේන්ද්‍ර,  ටෝනි රණසිංහ, විජය කුමාරණතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ඩග්ලස් රණසිංහ ආදී තිරයේ කාලයෙන් කාලයට ජනප්‍රිය පෙම්වතුන් වූ රංගවේදීන් සෑම කෙනෙකු සමගම පාහේ ඇය රංගනයෙන් එක්වූවාය. කල්‍යාණි ගංගා (කල්‍යාණි), දෑස නිසා (සුන්දරී), අහසින් පොළොවට (විනීතා), සරුංගලය (සෝමා), විරාගය (සරෝජනී) ආදී චරිත ඒ අතර වේ. ඇයට 1972 වසරේදී පැවැත්වූ තෙවන දීපශිඛා සම්මාන උළෙලේදී ජනප්‍රිය සහය නිළියට හිමි සම්මානය හිමිවිය. ඉන්පසු OCIC, සරසවිය ඇතුළු සිනමා සම්මාන උළෙල රුසකදීම වරින්වර ඇය සම්මානයට පාත්‍ර වූවාය. 

මා රංගනයෙන් එක්වූ චරිත අතරේ මහගෙදර චිත්‍රපටයේ නිල් අහස් තලේ අගේ ගීතමය ජවනිකාවට මම හරිම කැමතියි. තිස්ස අබේසේකරයන් අධ්‍යක්ෂණය කළ එහි විජය කුමාරණතුංග, තිස්ස අබේසේකර, සෝමලතා සුබසිංහ හා ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වුණා. මම පියානෝව වයමින් නිල් අහස් තලේ ගීතයට ගයමින් එක්වෙන අයුරින් තමයි එහි නිරෑපණයේ යෙදුණේ. එම ගීතය අදටත් හරිම ජනප්‍රියයයි.

සිනමාව සේව ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටද රංගනයෙන් සේම නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් එක්වූවාය.

රෑපවාහිනියේ ආගමනයත් සමඟ මම ටෙලිනාට්‍ය රංගනයටත් එක්වුණා. බර්ට්‍රම් නිහාල් මහතාගේ ආශීර්වාද කියන නත්තල වෙනුවෙන් කළ ඒකාංගික නාට්‍යයකින් තමා ටෙලිනාට්‍යය රංගනයට පත්වුණේ. සුබ ප්‍රාර්ථනා, පස්සෙ ගෙනා මනමාලි, එක මවකගෙ දරුවෝ ආදී නිර්මාණ ඒ අතර තියෙනවා. විශාල ටෙලිනාට්‍යය ප්‍රමාණයක් නම් නෙමෙයි. ඒත් එයිනුත් හොඳ ප්‍රතිචාර ලැබුණා.

ශ්‍රියාණි අමරසේන යනු චිත්‍රපට නිෂ්පාදිකාවකද වන්නීය. දෑසේ මල් පිපිලා, තරණය ඇය නිෂ්පාදනය කළ මෙතෙක් තිරගත වූ චිත්‍රපටය. ඉදිරියේදී ඇය රුවන් ජයසිංහ සමඟ සම නිෂ්පාදනයෙන් නිෂ්පාදනය කළ යාත්‍රා චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇත. එමෙන්ම ඇය රිදි තැල්ල චිත්‍රපටයෙන් චිත්‍රපට තිර රචනයටද එක්වූවාය. තවද දත් කැකුළු පාලා, මැගී, ඉරබටු තරුව, ගිම්හානේ වසන්තය, පෙරළිය, පුෂ්පරාග වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනයද සිදු කළාය.

දශක ගණනක් රංගනයේ යෙදුණු මෙම ප්‍රවීණ රංගවේදිනියගෙන් තවමත් රඟපෑමට නොලද එහෙත් ඉදිරියේදී රඟපාන්නට කැමති චරිත තිබේදැයි අසන්නට සිතුනේ ඇය තවමත් රංගනයෙහි නියැලෙන නිසාමය.

මගේ ප්‍රියතම රංගන ශිල්පිනියන් අතරේ සොෆියා ලොරේන්, වෛජයන්ති මාලා, මීනා කුමාරි වැනි ශිල්පිනියන් සිටිනවා. සොෆියා රඟපෑවා Yesterday, Today, Tomorrow කියන චිත්‍රපටය. එහි ඇය කළ විශිෂ්ඨ රංගනයට මම හරිම කැමැතියි. එහෙත් අපේ රට තුළ එවන් නිර්මාණ කෙරෙන්නෙ අඩුවෙන්. කළත් ඒවා කළ යුතුත් අපිමයි. ඒ වගේම දැන් අපේ රට තුළ පවතින තත්ත්වයත් එක්ක නිර්මාණ කරන්න ටිකක් තවම අපහසුයි. ඉදිරියේදී මේ සියල්ල යහපත් වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

ශ්‍රියානි අමරසේන, විජය කුමාරණතුංග සමඟ දිනකර පායා නමින් කැසට් පටයක් එළි දැක්වූවාය. බුද්ධි කීර්තිසේන එය නිෂ්පාදනය කළේය. එයින් ඇය නිළියක සේම ගායිකාවකද බවට පත්වූවාය. ශ්‍රියානි - ආතර් කැදැල්ලේ දරුවන් දෙදෙනෙකි. දියණිය ඉනෝකාද කලක් රංගනයට එක්ව සිටියාය. පුතා චන්දනය. මනාෂා අංජලී ශ්‍රියානි - ආතර් යුවළගේ මිණිබිරියයි.

සරල සොඳුරු ගති ස්වභාවයන් ඔස්සේ මෙරට ගැහැනියගේ විවිධ පරාසයන් චරිතාංග තිරය මත චිත්‍රණය කළ ප්‍රවීණ රංගවේදිනියක වන ශ්‍රියාණි අමරසේන හට හදසර අප නිරෝගී සුව දීර්ඝායුෂ පතමු.

 මොනිකා සේරසිංහ

සේයාරූ I අන්තර්ජාලයෙන්