2022 ජුලි 17 වන ඉරිදා

මී වදයක් නිසා හොඳටම බය වුණා

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 162

මංජුලා... ඔයාගේ චූටි දුවගෙයි, පුතාගෙයි නම් කියමුකෝ...?

අපේ චූටි දුවගේ නම බිනෝලි එහන්සා. පුතාගේ නම ඕලිත සන්තුල්. ඕලිත කියන නම පුතාට දැම්මේ ''ඕලු'' කියන නම මතක් වෙන්නයි. දැන් චූටි දුවට වයස අවුරුදු හතරයි. පුතාට දැන් අවුරුදු හතයි.

චූටි දුව දැන් දඟයිද...?

චූටි දුව එයාගේ අයියා තරම්ම දඟ නැහැ. සුකුමාල කෙළිලොල් චූටි ගැහැනු ළමයෙක්ගේ ගති චූටි දුවට තියෙනවා. එයා හරි හුරතල්. නර්තනයට වගේම සංගීතයටත් ගොඩාක් කැමතියි. දැන්නම් ඔය ෆැෂන්වලටත් ටික ටික කැමති බව නම් පේනවා. එයා හරි හුරතල්. පුතයි දුවයි එක්ක ගතකරන ජීවිතේ දැන් වෙනමම ලෝකයක්.

චූටි දුව දැන් වැඩියෙන්ම සෙල්ලම් කරන්න කැමති මංජුලාට හිතෙන විදිහට මොනවාද?

චූටි දුව බෝනික්කන්ටත් හරි ආසයි. ලස්සන ලස්සන ඇඳුම් අඳින්න ආසයි. මාත් එක්ක නටන්න නම් නිතරම ආසයි. සින්දුවක් දාලා මාවත් අල්ලගෙන එයා නටනවා. ඒ ලෝකය හරි ෂෝක්.

දෙන්නගේම උපන්දිනය එකම දවසේ සමරනවා. පසුගිය දවසක ඒ උපන්දිනය සැමරුවා නේද?

ඔව්නේ. පුතා චූටි දුවට වඩා අවුරුදු තුනක් වැඩිමල්. ඒ දෙන්න අතරේ පරතරය හරියටම අවුරුදු තුනයි. පුතා ඉපදුනේ 2015 අවුරුද්දේ. අවුරුදු තුනකට පස්සේ දුවෙක්ව මට ඕන වුණා. ''මට දුවෙක්ම ඕනේ'' කියන විශ්වාසය මගේ හිතේ තදින්ම තිබුණා. ඒ වෙනුවෙන් මම බෝධි පූජා තිබ්බා. විශේෂයෙන් කිරි වෙහෙර මම ගොඩාක් විශ්වාස කරන, වැඳුම් පිදුම් කරන තැනක්. ඒ නිසා පුතාට අවුරුදු තුනේදී මට දුවෙක් ඕනේ කියලා මම කිරිවෙහෙරට බාරහාර වුණා. පාන්දර හතරට කිරි ආහාර අරගෙන මම එතැනදී බාරවුණා. අවුරුදු තුනකට පස්සේ පුතාගේ උපන්දිනය දවසේම චූටි දුවත් ඉපදුණා. දුව ඉපදුණේ පිටරටයි. ඒ නිසා පැය ගණනක වෙනසක් තිබුණට වෛද්‍යවරුන් දුව ඉපදෙන දිනය දීලා තිබුණේ පුතාගේ උපන්දිනය දවසෙමයි. ඒ නිසා දැන් හැම අවුරුද්දෙම දෙන්නගේම උපන්දිනය අපි එකට සමරනවා.

චූටි නංගියෙක් ආවට පස්සේ ඕලිතගේ ප්‍රතිචාර කොහොමද?

එයා හරිම ආසාවෙන් හිටියේ. චූටි දූ ඉපදිලා නංගි බබාව අයියගේ අතට දෙද්දී එයා ගොඩාක් සතුටු වුණා. චූටි දුව රෝසම රෝස පාට සුදු බබෙක් නිසා එයා හරිම ආසාවෙන් හිටියේ. දූ චූටි කාලේදීම අපි පුතාට දූ ගැන කියලා දුන්නා. අපි වැඩිපුර අවධානය දුන්නේ පුතාටයි. ඒ නිසා අලුතින් ඉපදුණ චූටි දූ ගැන පුතාට ඉරිසියාවක් නම් දැනුණේ නැහැ. එයා හරිම ආදරෙන් නංගිව බලා ගන්නවා. අදටත් එහෙමයි.

මංජුලා පුතෙක්වයි, දුවෙක්වයි පැතුවේ විවාහ වෙන්නත් කලින්මයි... එහෙම නේද?

ඔව්නේ... මම පන්සලකට ගිහින් පුතෙකුයි, දුවෙකුයි තමයි පැතුවේ. ඒක මම විවාහ වෙන්නත් කලින් ඉඳන්ම පතපු පාර්ථනාවක්. විවාහ වෙන්න කලින් දවසක මම පන්සලකට ගිය වෙලාවක පන්සලේ භාවනා කරමින් හිටපු කෙනෙක් මට කතා කරලා ඔයාට බොහොම පිංවන්ත දරුවන් අනාගතයේදී ලැබෙනවා. ඒ නිසා පන්සල් ගියාම නිතරම පිංවන්ත දරුවන් දෙන්නෙක් ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. ඒ නිසා ඒක ඇත්තක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. පුතා ලැබෙන්න ඉඳිද්දී ගෙදර මී වදයක් බැන්දා. පුතා ලැබෙන්නට දින දීලා තිබුණ දවසට කලින් දවසේ අපි වෛද්‍යතුමා මුණගැහෙන්න යද්දීත් අපේ වාහනයේත් මී වදයක් බැඳලා තිබුණා. ඩොක්ටර් ගාවට ගිහින් එද්දී පිටිපස්සේ රතුපාට ලයිට් එක මීවදය නිසා කළුම කළු පාට වෙලා තිබුණා. අපි වාහනය පැද්දෙත් හරිම බයෙන්. ඇත්තටම ඒ දෙන්නා දෙමව්පියන්ට ආදරෙයි. හරිම හොඳ දරුවන් දෙන්නෙක්.

චූටි දුවගේ වැඩවලට පුතාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

දෙන්නට දෙන්න හරි ආදරෙයි. පොඩි කාලේ ඉඳන්ම නංගිගේ වැඩවලට අයියගෙන් ලොකු සහයෝගයක් ලැබුණා... අදටත් එහෙමයි. දෙන්නා එකතුවෙලා සෙල්ලම් කරනවා. ඒ දෙන්නට සෙල්ලම් කරන්න වෙනම ''සෙල්ලම් කාමරයක්'' තිබෙනවා. ඒ නිසා නංගිව පරිස්සම් කරගෙන අයියා නංගිත් එක්ක සෙල්ලම් කරනවා.

මංජුලාව රූපවාහිනියෙන් දකිද්දී චූටි දුවගෙයි, පුතාගෙයි ප්‍රතිචාරය කොහොමද?

දැන් ඒ දෙන්නටම මම රූපවාහිනියෙන් දකිද්දී හොඳටම තේරෙනවා. පුතා මාත් එක්ක පැනඩෝල් වෙළඳ දැන්වීමකටත් ඉන්නවා. ඒ නිසා පුතාටත් හරි ආසයි. මම රූපවාහිනියේ වැඩසටහනකට ගියත් ඒක ඉවර වෙනකම් දෙන්න ටී.වී. එකෙන් බලනවා.

දැන් චූටි දූ පෙර පාසල් යනවා. මුලදී අයියා විතරක් පාසල් යද්දී නංගිට දුක හිතුණේ නැද්ද? පාළුවක් දැකුනේ නැද්ද?

පුතා දැන් ඉගෙන ගන්නේ තුන වසරේ. දුව පෙර පාසල් යනවා. ඒ නිසා දෙන්නවම මම ඒ දේවල්වලට එක්කගෙන යනවා. පුතා විතරක් ඉස්කෝලේ යන කාලේදී නම් දුවට පාළුවක් දැනුණා. අයියා ගෙදර එනකම්ම එයා බලාගෙන හිටියා. පුතාගේ පොත් අත ගෑවා. පැන්සල්, පාට පැන්සල් වලින් අකුරු ලිව්වා. දැන්නම් එයාටත් වෙනම හැමදෙයක්ම තියෙන නිසා දැන් එයාටත් හරි සතුටුයි.

මංජුලාගේ ගෙදර හුරතලේට ඇතිකරන ''පෝජෝ'' බලුපැටියා පුතා එක්ක වගේම දුව එක්කත් හරි යාළුද?

අම්මෝ ඔව්. පෝජෝ දැන් ටිකක් වයසයි වුණාට පුතායි, දුවයි එක්ක හරි යාළුයි. ඒ දෙන්නත් පෝජෝට හරි ආදරෙයි. හැමදාම උදේට යෝගට් එකක් කවනවා. දවසක් චූටි දුවට ඉස්කෝලෙන් පවුලේ පින්තූරයක් අඳින්න දීලා. අපි හතර දෙනා ළඟින් කහ පාට බෝලයකුත් ඇඳලා තිබුණ. ''මේ මොකක්ද දූ'' කියලා මම අහද්දී ඒ අපේ ''පෝජෝ'' කියල දූ කිව්වා. එයත් අපේ පවුලේ කෙනෙක් කියලයි දූ කියන්නේ.

දැන් පවතින තත්ත්වයත් එක්ක දරුවන්ගේ අනාගතය ගැන මංජුලාගේ බලාපොරොත්තු මොනවාද?

අද රටේ පවතින අස්ථාවර තත්ත්වයත් එක්ක ලොකු දුකක් තියෙනවා. අපේ දරුවන් දෙන්නා ගැන වගේම මේ රටේ හැම දරුවකුගේම අනාගතය ගැන හිතද්දී ලොකු ඔළුව කැක්කුමක් දැනෙන්නේ. රටේ අනාගත පරපුරම ලොකු ගැටලුවක ඉන්නේ. මේ දේවල් ඉක්මණින් විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

පසුගියදා දරුවන් දෙන්නගේ උපන්දිනය සැමරුවා නේද?

ඔව්... එයාලා තාම පොඩි නිසා හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අපි පොඩි උත්සවයක් නම් ගත්තා. හැබැයි උත්සව වගේම හැම වසරේදීම අපි අපිට පුළුවන් විදිහට පිං දහම් කටයුතුත් කරනවා. මේ අවුරුද්දේ බෙල්ලන්විල රජ මහ විහාරයට දරුවන් දෙන්න නමින් මල් ආසන දෙකක් බෝධීන් වහන්සේට පූජා කළා. ඒ වාගේම ළමා නිවාසයකට දරුවන්ට ආහාර, පාන, අත්‍යවශ්‍ය ඇඳුම් පැළඳුම් තෑගි දුන්නා. වියළි ආහාර බෙදලා දුන්නා. ඒ දේවල් ලබලා දීමෙන් දරුවන් දෙන්නා ගොඩක් සතුටු වුණා.

I දිශානි