2022 ජුලි 10 වන ඉරිදා

එක ආදරයක් නැති වුණාට හැමදාම එහෙම වෙන්නෙ නැහැ

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 421

ඇය යන්න ගියා මා හැරදා

කාලයක ඉඳලාම මම ලොකු වේදනාවකින් පීඩා විඳිනවා. ඒ යාළු වී සිටි පෙම්වතියගේ ප්‍රශ්නයක්. ඇය මා අතහැර දාලා මගේ හොඳම යාළුවත් එක්ක ගියා. ගෙදර කාත් එක්කවත් මම වැඩිය කතා කරන්නෙත් නැහැ. ගෙදර කිසිම දෙයක් මම දන්නෙත් නැහැ. ඒ අය මගෙන් ඈත්වෙලා කියල හිතෙනවා. සමහර වෙලාවට මම අම්මට පවා බැනල තියෙනවා. මට ඕනෑ මගේ කාමරේට වෙලා තනියම ඉන්නයි. ඒත් අපේ ගෙදර අය සමාජශීලියි. ගෙදරට නෑදෑයන් පවා බොහෝවිට එනවා. මේ අය එක්කවත් මා කතා කරන්න කැමැති නැහැ. සමහර වෙලාවට ගෙදරින් යන්නත් හිතිලා තියෙනවා. ඒත් මම තවමත් දුක දරාගෙන ජීවත් වෙනවා. මගේ ප්‍රශ්න කියන්න මට කවුරුවත් නැහැ. මට දැන් කාවවත් විශ්වාසත් නැහැ. මට තවම වයස අවුරුදු 22යි. මගේ අනාගතය විනාශ කරගන්න මට වුවමනාවක් නැහැ. මට ඕනෑ ජීවත් වෙන්නයි. ඒත් මගේ දුක කියන්න කවුරුවත් මට නැහැ. වෛද්‍යතුමනි, මට උපදෙසක් දෙන්න.  

ක්‍රිෂාන් - මහරගම

උපදෙස:

ආදර සම්බධතාවක් බිඳ වැටුණාට පසු සහකරු හෝ සහකාරිය පිළිබඳව ලොකු වේදනාවක් දැනෙයි. ඒ ගැන මතක් වෙද්දී ලොකු හිස් බවක් දැනෙයි. ජීවිතයේ සියලුම දේ නැතිවුණා සේ දැනෙයි. මෙවැනි අවස්ථාවලදී අපේක්ෂා භංගත්වයට පත්වීමට පුළුවන. එවැනි ආදරයක් අනාගතයේදී ලබා ගන්න බැහැ කියා දැඩි ලෙස වේදනාවට පත්වීමටද පුළුවන. ඉදිරි කාලය ගතකරන්නේ කොහොමද? නැවත ආදරයක් ලබා ගන්නෙ කොහොමද? කියන එක හිතන්න පුළුවන්. අනාගතය ගැන විවිධ අවස්ථා තිබුණත් ඒවා පේන්නෙ නැහැ. අනාගතයට යන්න තියන පාරවල් වැහිල තියෙන්නේ. එතකොට හැමදෙයක්ම අසුබවාදීවයි දකින්නේ. දෙදෙනා  කලින් ආගිය තැන්, දුරකතන සංවාද, ඒවා නිතර නිතර මතක් වෙයි. මෙම තත්ත්වය නිසාම නින්ද නොයාම, නිතර තරහ යාම, වෙනත් අය ඇසුරු කිරීම ප්‍රතික්ෂේප කිරීම වගේ දේවල් දැකීමට පුළුවන්. මෙම තත්ත්වය දිගින් දිගටම තිබෙනවා නම් එය අපි හඳුන්වන්නේ අසාමාන්‍ය වියෝ දුක නමිනුයි. ආදරය නැතුව යාම හෝ කෙනකු මියයාම නිසා මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. නමුත් මෙය අසාමාන්‍ය වෙන්නේ සති හයකට වඩා දීර්ඝකාලීනව පවතිනවා නම්. පළමුවෙන්ම යථාර්ථය තේරුම් ගැනීම අවශ්‍යයි. ආදරය නැවත පටන් ගත්තොත් එය පවත්වාගන්න පුළුවන්ද? එය නැතිවීමට හේතු මොනවාද? යන දේවල්වලට අවධානය යොමු කළ යුතුයි. වෙනස් කරගත හැකි තත්ත්වයක් තිබෙනවා නම් එය වෙනස් කරගෙන නැවත ආදරය පටන් ගන්න පුළුවන්. එසේ නැතිනම් යථාර්ථය තේරුම්ගන්න ඕනෑ. එය නොමැතිව ජීවිතය හදාගන්න එක ඉතාම වැදගත්. ආදරයක් නොමැති වූ පලියට මුළු ජීවිත කාලයටම ආදරය නැති වෙන්නේ නැහැ. තමන්ට ආදරය කරන අය උදව් කරන අය ගැන සැලකිලිමත් වෙන්න. ඒ අයගේ ආදරය ලබා ගන්න ඕනෑ. අනාගතයේදී නැවත ආදරයක් ලබා ගැනීමට ක්‍රමයෙන් පියවර ගන්න ඕනෑ. අධ්‍යාපනය, රැකියා කටයුතු නැවත මුල් පරිදිම ආරම්භ කිරීම වැදගත්. දිගින් දිගටම මෙය පැවතුණොත් විෂාදය වැනි තත්ත්වයට පත්වෙන්න පවා හැකියාවක් තිබෙනවා. එහෙයින් එය පාලනය කරගන්න නොහැකි නම් මනෝ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම සුදුසුයි. 

සර්පයන් දැක්කාම බය හිතෙනවා

මම පෞද්ගලික අංශයේ රුකියාවක් කරන 30 හැවිරිදි තරුණයෙක් වෙමි. සර්පයන් දැක්කාම මට මහත් බියක් දැනෙයි. මා කුඩා කල සිටම සර්පයන්ට බයයි. තවමත් එහෙමමයි. විෂ සර්පයන් වගේම ගැරඬියකු දුටුවත් බියවෙයි. හිත සසල වෙයි. කලබල වෙයි. කිසිවක් කිරීමට සිතාගත නොහැකියි. මා රුකියාව ඉවර වී නිවෙසට යන්නේ රූ වෙලාය. ගෙදර යන අතරමගදී නිතරම සිතෙන්නේ සර්පයන් ඇති කියාය. සර්පයන්ට ඇති බය මට නැති කරගන්න ඕනෑ. වෛද්‍යතුමනි, මෙය රෝගී තත්ත්වයක්ද? ප්‍රතිකාර තිබෙනවාද?

මංජුල - හොරණ 

උපදෙස:

විවිධ සතුන්ට, විවිධ ස්ථානවලට බියක් ඇතිවීම ඇතැම්විට රෝගී තත්ත්වයක් වශයෙන් හඳුනාගන්න පුළුවන්. මෙය අපි විශේෂ භීතිකාව ලෙස හඳුන්වයි. ඇතැම්හු කුරුමිනියන් කැරපොත්තන් වැනි බියකරු නොවන සතුන්ටත් බියක් දක්වති. ඈත ඉන්නා සර්පයෙක් දැකීම හෝ සර්පයකුගේ රූපයක් දැකීම බිය වීමට කාරණයක් නොවේ. මෙවැනි අවස්ථාවලදී රෝගීන් අධික ලෙස බිය වී හෘද ස්පන්දනය වැඩිවීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම, දහඩිය දැමීම වෙව්ලීම සහ කෑ ගසා එතැනින් පලායාම වැනි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. මේ තත්ත්වයන් දිගින් දිගටම පැවතුණොත් එය සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතුවලට බාධාවක්. එහෙයින් මේ සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ගැනීමට හැකිනම් හොඳයි.

බලාගෙන ඉඳිද්දී අත වෙව්ලනවා

මම 36 හැවිරිදි රජයේ සේවකයෙක් වෙමි. රැකියාවට ඇවිත් දැන් අවුරුදු පහක් පමණ වෙනවා. කවුරුහරි බලාගෙන ඉන්නකොට මට කිසිම වැඩක් කරගන්න බැහැ. මේ තත්ත්වය කලින් ඉඳලම සාමාන්‍යයෙන් තිබුණත් දැන් එය ගොඩක්ම වැඩියි. මා වැඩ කරනකොට කවුරුහරි බලාගෙන ඉන්නවා නම් අත වෙවුලනවා. මේ නිසා බොහෝ අවස්ථාවලදී ලැජ්ජාවට පත්වෙලා තියෙනවා. සමහරු විහිළු කරනවා. එහෙම විහිළු කළාම මේ තත්ත්වය තවත් වැඩියි. කොච්චර උත්සාහ කළත් මට මෙය පාලනය කරගන්න අමාරුයි. වෛද්‍යතුමනි, උපදෙසක් ලබාදෙන්නේ නම් මැනවි. 

සම්පත් - අතුරුගිරිය

උපදෙස:

තවත් කෙනෙකු ඉදිරියේ ලිවීමට, අත්සන් කිරීමට නොහැකිවීමද එක්තරා භීතිකාවකි. මෙය සමාජ භීතිකාවේම අනුකොටසක් ලෙස හැඳින්විය හැකියි. කෙනකු ඉදිරියේදී යමක් ලියනකොට සමහරවිට ලියන දේ වරදීවි, එය වෙන කෙනකු දකීවි කියා බයක් ඇතිවෙයි. මෙවැනි වේලාවන්හිදී දහඩිය දැමීම, හුස්ම ගැනීමේ අපහසුතා වගේම අත් වෙව්ලීම වගේ ලක්ෂණ දකින්න පුළුවන්. මෙහිදී පැවසීමට ඇත්තේ මෙවැනි තත්ත්වවලට ඖෂධ ප්‍රතිකාර සහ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් එම රෝගී තත්ත්වය සමනය කරගැනීමට හැකි බවයි.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන