2022 ජුලි 03 වන ඉරිදා

කූඹින්ටත් වෙඩි තිබ්බා!

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 109

ක්‍රීම්කැකර් එකක් කකා ඉස්තෝප්පුවට ගොඩවෙද්දී එකපාරටම යාළු හිතමිත්‍රාදියෝ වගයක් මතක් වුණා. ඉබේටම වගේ පදික වේදිකාව දිගේ ගේ වටේ රවුමක් ගියා. ම්..ම්... ඉතින් එයාලා හම්බ වුණා. අපි හම්බවෙලා කතාබහ කර කර ඉන්න අතරේ තමා හිතුනේ, ඔයාලටත් මේ කතාව කියන්න ඕනෑ කියලා.

කූඹියෝ, කඩියෝ, දිමියෝ තමා මගේ මිත්‍රයෝ. මම එයාලට හිටපු ගමන් දන්සල් දෙනවා. දාන දෙනවා. මහා භෝජන සංග්‍රහ පවත්වනවා. ඒක ටිකක් තේරුම් පිස්සු වැඩක් වගේ පෙනෙයි. පුංචි කාලේ නම් ඕව කළාට කමක් නෑ. එහෙම හිතෙන්න පුළුවන්. ඒත් මේ වැඩේට ලොකු හේතුවක් තියෙනවා. ඒක ටිකක් විතර දිග කතාවක්. මතක මඟ දිගේ ගොඩාක් දුර ඇවිදගෙන යන්න ඕනෑ, ඒ කතාව කියන්න. ඉස්පාසුවේ හාන්සි පුටුවකට ගොඩ වුණේ ඒ දුර ගමන යන්න හිතාගෙන.

ඇත්තටම ඒක මම අකමැති මතකයක්. ඒ කාලේ අපි අතරේ තිබුණේ මිත්‍ර සමාගමක් නෙවෙයි. ලොකු හතුරුකමක්. මතකය හරිහැටි පැහැදිලි නෑ. වයස යාන්තම් අවුරුදු හතරක් පහක් හයක් වගේ වෙන්න ඇති. අපි එතකොට ජීවත් වුණේ මහ ගෙදර. ඇත්තටම මට තිබුණේ එයාලා ගැන කුතුහලයක් වෙන්න ඕනෑ. හැබැයි මගේ කුතුහලය එයාලාට නම් බලපෑවේ බොහොම නරක විදිහට. මම කූඹි ජනපද විනාශ කරන ගලිවරයෙක් වුණා.

මහගෙදර ලොකු අන්දර වැටක් තිබුණේ. ඒ නිසා පොඩ්ඩෙක්ව මිදුලට, පාරට පේන්නේ නෑ. රතු සිමෙන්ති දාපු තීරුවේ සමහර තැන් කැඩිලා. ඒ වගේම බිත්තිය අයිනට වෙන්න තැන් තැන්වල කූඹි ගුල් සෑහෙන්න. නිවාඩු පාඩුවේ මම මේ කූඹි දිහා බලාගෙන ඉන්නවා, හැබැයි කාටත් හොර රහසේ. අර කූඹි දෙන්නෙක් එකිනෙකා මුණගැහිලා මොනවද කතා කරන්නේ. අච්චර ලොකු බිස්කට් කෑල්ලක් කූඹියෙක් කොහොම තනියම උස්සන්නේ. මෙයාලා පේළිය දිගේ කොහෙටද මේ යන්නේ. කූඹි ගුලක් ඇතුළෙ මොනවාද තියෙන්නෙ. මට තිබුණ කූඹි ගැන සෑහෙන්න ප්‍රශ්න තොගයක්.

ඒ ප්‍රශ්න එක්කම තමයි අපේ හතුරුකම් පටන් ගත්තේ. මට හම්බ වුණා ඒ කාලේ වතුර විදින තුවක්කුවක්. ඒක මරු ආයුධය. මම ඒ තුවක්කුවෙන් කූඹි ගුල්වලට පහර දෙන්න පටන් ගත්තා. මගේම ප්‍රබන්ධ කතාවලට සමහර ජවනිකා වෙනුවෙන්. යුද්ධය කියලා කියන්නේ ඒ දවස්වල අපේ ඔළුවට තදින්ම කාවැදී තිබුණු දෙයක්. සමහරක් විට ඒක ඒක හේතුවක් වෙන්න ඇති මේ වැඩේට. මෙසේ එක පහරදීමකින් කූඹි සිය දහස් ගණනක් ගුල්වලින් එළියට එනවා. එයාලා පේලි හැදිලා වෙන තැනක් හොයාගෙන යනවා. බෝම්බයක් පිපිරුණාම වගේ විශාල කලබලයක් ඇති වෙන්නේ. එදා මම ආස කළේ කලබලේ දිහා බලාගෙන ඉන්න.

එදා මට දැණුනේ සතුටක්ද දුකක්ද කියලා කියන්න අද මට නම් තේරෙන්නේ නෑ. කළු කූඹින්ගේ තරමක් ඇඟපත තියෙන තද ඇටයෝ වගේ කට්ටියක් ඉන්නවා මම දැක්කා. ටික දවසක් යද්දි මං දැනගත්තා, එයාලාලූ මේකේ ඉන්න යුධ භටයෝ. එයාලට රුජනක් ඉන්නවලු. ගබඩා තියෙනවලු. මම එහෙන් මෙහෙන් හොයලා සීයගෙන්, අම්මගෙන් අහලා දැනගත්තු දේවල් හින්දා තවාත් කුතුහලය වැඩි වුණා. ඒ නිසාම මේ හොර වැඩේ පුරුද්දක් වුණා. කොහොම හරි ඔය විදියට කාලය ගතවෙලා ගියා. සමහර දවස්වලට මම කූඹින්ට කෑම බීම එහෙමත් දුන්නා. හතුරුකමුත් කළා. හැබැයි පස්සෙ කාලෙක මේ සෙල්ලම මට අමතකම වෙලා ගියා. ඒ ඉතින් වයසේ හැටි.

ඉතින් ඔහොම කාලයක් ගතවෙලා යද්දී... මට අහන්න ලැබුණු කතා දෙකක් නිසා. පුංචි කාලේ කරපු ඒ නරක වැඩේ ගැන, මගේ හිත ඇතුළ ලොකු වරදකාරී හැඟීමක් ඇතිවෙන්න පටන් ගත්තා. ඒක ටිකක් බරපතළ හැඟීමක්. තාමත් සියුම් වේදනාවක් හිටපු ගමන් ඒ ගැන දැනෙනවා. කොහොම ඒ පළවෙනි කතාව එක්තරා ඉස්කෝල මහත්තයෙක් ඉස්කෝලේ යද්දී කූඹි පෙළක් පාර හරහා යනවා දැකලා බයික් එක මඟ නවත්තලා පයින් ගිය කතාවක්. මම හිතන්නේ එක ප්‍රසිද්ධ චරිතයක් ගැන කියවුණ කතාවක්, පහේ හයේ පංතිවල අහපු. අනිත් කතාව සාමනේර හාමුදුරුවෝ කෙනෙක් ගැන කතාවක්. අදත් මම සමහරුන්ට කියනවා.

ම්ම්... ඉන්න ඔයාලටත් කෙටියෙන් කියන්නම්...

මෙහෙමයි, ඉස්සර එක පන්සලක හිටියා හිටියා ලොකු හාමුදුරුවෝ කෙනෙකුයි පොඩි උන්නාන්සේ කෙනෙකුයි. ලොකු හාමුදුරුවොම කේන්දර බලන ජ්‍යොතිෂය සම්බන්ධ ගොඩක් දක්ෂ උන්නාන්සේ කෙනෙක්ලු. ඉතින් පොඩි උන්නාන්සේගේ කේන්දරය බලද්දී ලොකු උන්නාන්සේ දැක්කාලු කොහෙත්ම පන්නන්න බැරි මාරක අපලයක්. මේ සාස්තරය කෙළ පැමිණි කෙනෙක් හින්දා සාමණේර හාමුදුරුවන්ගේ ආයුෂ දිනය ලොකු හාමුදුරුවෝ දැනගත්ත. ඉතින් ලොකු උන්නාන්සේ කල්පනා කරා, මේ පොඩි හාමුදුරුවෝ තමන්ගෙ දෙමාපියොත් බැහැදැකල නිවසෙදීම අපවත්වෙන එක හොඳයි කියලා.

ඉතින් අදාළ දිනට කල් ඇතුවම ලොකු උන්නාන්සේ, තමන්ගේ දෙමාපියෝ බැහැ දැකලා එන්න කියලා මේ පුංචි සාමනේර හාමුදුරුවන්ව ගම රට බලා පිටත් කළා. ඉතින් අද වගේ නෙවෙයි ඒ කාලේ දින ගාණක් පයින්ම යන්න ඕනෑ ගම් රටවල්වලට. පොඩි හාමුදුරුවෝ ගමන පිටත් වුණා. මේ අතරේ ලොකු කම්පාවකින් ලොකු හාමුදුරුවෝ බලාගෙන හිටියා පොඩි උන්නාන්සේ ගමේදී අපවත්වුණ පණිවිඩය එනකන්. සාමණේර උන්නාන්සේ අපවත් වෙන්න තිබුණු දිනය පහුවුණා. ඒත් පණිවිඩකාරයෙක් නම් ආවෙ නෑ. දින සති ගෙවිලා ගියා. ඔන්න එක්තරා දවසක උදෑසනක පොඩි උන්නාන්සේ ආයෙම පන්සලට ආවා.

ලොකු හාමුදුරුවන්ට බොහෝම පුදුමයි. ඒ වගේම සතුටුයි. ඒත් උන්නාන්සේගේ ශාස්ත්‍රය බොරුවෙලා. පොඩි හාමුදුරුවෝ පණපිටින්. හැබැයි මේකට හේතුව හොයාගන්න ලොකු හාමුදුරුවන්ට ඕන වුණා. ඉතිං උන්නාන්සේ පොඩි උන්නාන්සේ කැඳවලා ආගිය මඟතොට විත්ති ඇහුවා. විශේෂයක් නෑ. එන යන ගමනේදී මොනවා හරි විශේෂ දෙයක් වුණාද කියලා පෙරුත්ත කර කර අහද්දී තමා පොඩි හාමුදුරුවෝ අපූරු කතාවක් කිව්වේ.

දුර බැහැර ගෙවාගෙන ගෙදර යන ගමනේදී ඒදණ්ඩක් ළඟදී පොඩි හාමුදුරුවෝ දැකලා තියෙනවා වතුරට වැටුණු දිමි ගොට්ටක්. මේ දිමියෝ දැකලා පහළවුණ කරුණා සිත නිසා පොඩි උන්නාන්සේ මෙතන නැවතිලා. චූටි කෝටු කෑල්ලක් අරගෙන දිමියෝ එකිනෙකා බේරගෙන. සෑහෙන්න වෙලාවක් උන්නාන්සේ මෙතන ගත කරලා තියෙනවා. මේ දිමියො සිය ගාණම බේරගෙන තමයි උන්නාන්සේ දෙමාපියෝ බැහැදකින්න ගිහිල්ලා තියෙන්නෙ.

ඉතින් ලොකු හාමුදුරුවෝ තේරුම් ගත්තා සිද්ධවෙලා තියෙන දේ. අර පොඩි හාමුදුරුවන්ගේ ජන්ම පත්‍රය තිබුණු පන්නන්න බැරි මාරක අපලය පන්නපු හේතුව ජීවිත දානයේ මහත්ඵල මහානිසංසය. සිය ගණනක් ජීවිත බේරගත්තු කුසලයෙන් ඒ මාරක අපලය දුරුවුණා. ඇත්තටම ප්‍රතිවිපාක දෙන්න තිබුණු ඒ කර්මය අහෝසි කර්මයක් බවට පත්වෙලා ගිහිල්ලා. ඒ ගැන නම් බුදු දහමට අනුව පහදන්න පුළුවන්.

ම්ම්ම්.. ඔන්න මම ඒ කතාවක් කිව්වා. ඕක බණ කතාවක්. කොහොම හරි ඔය කතාව නිසා තමයි මම තේරුම් ගත්තේ පුංචි කාලෙ මම කරලා තියෙන්න වැරුද්දේ තරම. චේතනාව තමයි කර්මය වෙන්නේ කියලා හිතුවත් සැනසීමක් ලැබුණේ නෑ. කූඹියෙක්, දිමියෙක්, කඩියෙක්, මදුරුවෙක්, මැස්සෙක්ගේ වුණත් ජීවිතේ බේරගන්න මොහොතක් කැප කරන්න ඉබේටම වගේ පුරුද්ද වුණා.

හැබැයි කූඹි, කඩි, දිමියෝ දිහා බලන් ඉන්න පුරුද්ද නම් නැති වුණේ නෑ කවදාවත්. හැබැයි එයාලට කෑම බීම අරගෙන ගිහිල්ලා එයාලා එක්ක පැය බාගයක් පැයක් ගත කරන පුරුද්දක් තමා අලුතින් ඇති වුණේ. දැන් මේ පුරුද්දටත් අවුරුදු ගාණක් වෙනවා. පස්සේ කාලේ මම කූඹින්ට කන්න දීලා අම්මට ගිහිල්ලා කියනවා මම සිය ගණනකට ලොකු දානයක් දුන්නා කියලා. විස්තරයක් අම්මත් හිනාවෙලා සතුටු වෙනවා.

ම්ම්ම්... අදත් ක්‍රීම්කැකර් බිස්කට් එකක පංගුවක් අපි බෙදාගෙන කෑවා. හැමදාම නැතත් මාසෙකට දෙතුන් විඩක් හරි තාමත් අපි මුණ ගැහෙනවා. සමහරු මාළු ටැංකි දිහා බලාගෙන සතුටු වෙන්න පුරුදු වෙලා. සමහරු කුරුල්ලෝ කූඩු කරලා බලාගෙන ඉඳලා සතුටුවෙනවා. තවත් සමහරු ඒ කිසිම දෙයක් කරන්නේ නැතුව මහා වනාන්තරවල නිශ්ශබ්දව සත්තු දිහා බලාගෙන සතුටු වෙනවා. ඔයාලත් දැකලා ඇති අහලා ඇති ඒ ගැන. ඉතින් පුදුම වෙන්න එපා ඒ වගේ දෙයක් තමයි මේකත්. මමත් කූඹි දිහා බලාගෙන සතුටු වෙනවා. ඒක මානසික සුවයක්.

I නිසල්