2022 ජුනි 12 වන ඉරිදා

මම එකපාරක්වත් මගේ තාත්තා දැකලා නැහැ....

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 171

අපි ඔයාට ඉසුරින්දි කියන්නද.. යෙහෙනි කියන්නද?

දැන් බොහෝ අය ඉසුරින්දිට වඩා යෙහෙනිව හඳුනනවා. හැබැයි මම ඉසුරින්දි කියනවට කැමතියි. මගේ නම ඉසුරින්දි පියසේකර. එහෙම හිටපු ඉසුරින්දිව යෙහෙනි බවට පත්වුණේ මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියන, ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන කියා දෙන්න ආදරේ තරම්^ ටෙලිනාට්‍ය හරහායි. ඒ නාට්‍යයේ නළු නිළියන් තෝරාගනිද්දි ධනුෂ්ක අයියා කරපු ආරාධනාවකින් මාත් ඒකට ඉදිරිපත් වුණා. එහෙම ලැබුණු අවස්ථාවකින් තමයි ඉසුරින්දි යෙහෙනි වුණේ.

මේ ඉසුරින්දිගේ පළමු ටෙලිනාට්‍ය රංගනයද?

ඔව්.. මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය තමයි කියා දෙන්න ආදරේ තරම්^ ටෙලිනාට්‍ය. හැබැයි මට අවුරුදු දහයෙදි මම ළමා නිවේදිකාවක් සහ ළමා ගායිකාවක් ලෙසින් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ සිරස රෑපවාහිනී නාලිකාව හරහායි. පසු කාලීනව මම ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් මාධ්‍ය ආයතන කිහිපයකම වැඩ කළා. පසුව මම ප්‍රවෘත්ති වාර්තාකාරිණියක් සහ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට නැවතත් සිරස ආයතනයට සම්බන්ධ වුණා. මේ වනවිට නම් මම නිවේදිකාවක් විදිහට කටයුතු කරන්නෙ නැහැ.

යෙහෙනි ඔයාගේ සැබෑ ජීවිතයට සමීප චරිතයක්ද?

ඔව්.. ඇත්තටම යෙහෙනි මගේ ඇත්ත ජීවිතයට ටිකක් සමීපයි. මගේ යාළුවෝ ඒක සනාථ කරාවි. යෙහෙනි වගේ බොරු කියලා කෙනෙක්ගේ ආදරයක් අහිමි කරන්න උත්සාහ කරන්නෙ නම් නැහැ. හැබැයි යාළුවෙක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මම දෙපාරක් හිතන්නෙ නැහැ.

ඉසුරින්දිට ටෙලිනාට්‍යයේ වැඩිපුරම රඟපාන්න ලැබෙන්නෙ මේ රටේ දක්ෂ, සම්මානනීය නිළියක් වන ශලනි තාරකා සමඟයි. ඇගෙන් ඉසුරින්දිට ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම ශලනි අක්කා මට මගේම සහෝදරියක්. ශලනි අක්කා මගේ වයසේම කෙනෙක්. ඒ නිසා මට මගේ අක්කාව දැනෙනවා වගේමයි ශලනි අක්කවත් දැනෙන්නෙ. කැමරාව මට නුපුරුදු දෙයක් නොවුණාට රංගනය මට අලුත් දෙයක්. මම පාසල් මට්ටමේ තරගවලින් හොඳම වේදිකා නාට්‍ය නිළිය ලෙස දෙවතාවක් සම්මාන ලබා තියෙනවා. හැබැයි ටෙලිනාට්‍ය රංගනය මට ඒ වෙද්දි අලුත් දෙයක්. පළමු දවසේ රංගනයට යද්දි මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මම දෙබස් කියන්න යන විදිහ, මම කැමරාවට මුහුණ දෙන්නෙ කොහොමද ආදී බොහෝ දේවල් මට ශලනි අක්කා කියලා දුන්නා. දෙබස් කියද්දී වරදිද්දී ශලනි අක්කා මට ගොඩක් උදව් කළා. අදටත් එහෙමයි. මම බොහෝ දේවල් ශලනි අක්කගෙන් ඉගෙන ගන්නවා. ධනුෂ්ක අයියා ඇතුළු ටෙලිනාට්‍යයේ ඉන්න හැමෝම මට උදව් කරනවා. යෙහෙනි කියන චරිතයට මිනිසුන් ආදරේ කරනවා නම්, ඒ චරිතය යම්කිසි සාර්ථකත්වයක් ලබා තියෙනවා නම් ඒ හැම ප්‍රශංසාවක්ම මේ නාට්‍යයේ මට තේ එක හදලා දෙන කෙනාට පවා අයිතියි.

ඉසුරින්දිගේ පවුලේ ඉන්නේ කවුද?

මගේ ගම රත්නපුර. මම ඉගෙන ගත්තේ රත්නපුර පර්ගසන් උසස් විදුහලේ. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කා සහ මමයි. මගේ තාත්තා අද ජීවතුන් අතර නැහැ. ඒත් අදටත් මගේ තාත්තා හිතින් හැමදාමත් අපි එක්ක ඉන්නවා කියලයි මට හිතෙන්නෙ. මගේ තාත්තා රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවෙක්. %ජය සිකුරු^ මෙහෙයුමේදි තාත්තා රට වෙනුවෙන් දිවි පිදුවා. ඇත්තටම කිව්වොත් තාත්තා මාවවත්, මම තාත්තාවත් දැකලා නැහැ. තාත්තා නැතිවුණේ මම ඉපදුණු අවුරුද්දේම අප්‍රේල් මාසේදියි. ඒ අවුරුද්දෙම ජූලි මාසේ මම ඉපදුණේ. ඉතින් මම තාත්තාව කවදාවත් දැකලා නහැ. හැබැයි ඒ අඩුව කවදාවත් මගේ අම්මා මටවත් අක්කටවත් දැනෙන්න දුන්නෙ නැහැ. මගේ අම්මා තමයි මගේ අම්මා වගේම මගේ තාත්තා වුණේ. අම්මා, තාත්තා සහ මම එදා ඉඳන් එකටම හිටපු තුන්දෙනෙක්. අක්කා දැන් විවාහකයි. මේ වෙද්දි අම්මයි මමයි කොළඹ පදිංචිවෙලා ඉන්නෙ.

ඉසුරින්දි රංගනයට අමතරව රැකියාවක නිරත වෙනවද?

ඔව්.. මම මේ වෙද්දි Mas Holding ආයතනයේ විධායක ශ්‍රේණියේ රුකියාවක් කරනවා. ඒ ආයතතනයෙන් මට විශාල සහයෝගයක් මගේ රංගන කටයුතුවලට ලැබෙනවා. පැය විසිහරතම වුණත් වැඩ කරන්න අපි බැඳිලයි ඉන්නෙ. රෑගත කිරීම්වලට යද්දි මගේ කාර්යාලයේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ හැමදේටම ගොඩක් ස්තූති කරන්න ඕනෙ.

යෙහෙනි ආදරේ කරන අය බොහොමයි. ඉසුරින්දිගේ හිත නතරවුණු කෙනෙක් ඉන්නවද?

නැහැ. මේ වෙද්දි මම පෙම්වතියක් නෙමෙයි.

අද වෙද්දි ඉසුරින්දි රංගනය සම්බන්ධව යම් හැදෑරීමක් කරනවද?

ඔව්.. විෂයක් විදිහට රංගනය මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනතුරු ඉගෙනගෙන තිබුණේ නැහැ. පොඩි කාලෙදි මම සංගීතය සහ නර්තනය හැදෑරුවා. සංගීතය විශාරද විභාගය දක්වා වයලීන් සහ ගායනය හදාරලා තියෙනවා. මම අවුරුදු පහළොවේදි විශාරද විභාගය සමත් වුණා. මේ වෙද්දි මම විණාවි ඇකඩමියේ රංගනය හදාරනවා. ධනුෂ්ක රත්නායක අයියා තමයි ඒ ඇකඩමියේ මූලිකත්වය ගෙන කරගෙන යන්නේ. විණාවි ඇකඩමියෙන් රංගනය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණා.

 දිශානි ජයමාලි

සේයාරුව - සුමුදු හේවාපතිරණ